සුබ පැතුමක් සමඟ පින්තූර රාමුවක්

පෙබරවාරි 6, 2019

සුපෙම්වතුන්ගේ දිනය සමරන්නට ඇත්තේ තවත් දින කීපයක් පමණයි. ඒ නිසාම මේ දිනවල සුබපැතුම්පත්, විවිධ තෑගි භාණ්ඩවලින් වෙළඳපොළේ අඩුවක් නැහැ. ඒවායෙහි මිලත් ඒ වගේම තමයි.

ඉතිං ඔබ නිර්මාණශිලී දෑතක් ඇති ආදරවන්තියක් නම් ඔබේ පෙම්වතා වෙනුවෙන් තිළිණ කරන්ටන මෙවැනි නිර්මාණයක් අපූරුයි නේද? මෙහි ඇති යුවළ වෙනුවට ඔබ දෙදෙනාගේ ඡායාරූපයක් එකතුකරගන්නත් එහිදී ඔබට අවස්ථාව උදා වෙනවා.

ආදරවන්තයන්ගේ දිනයට සුබපැතුම්පතක්

අවශ්‍ය ද්‍රව්‍ය

රතු පැහැති බෝඩ් එකක්

ගැළපෙන වර්ණයකින් රැපිං පේපර්

බයින්ඩර් ගම්

සැරසීම සඳහා කුඩා නිර්මාණ

 

නිර්මාණය කිරීම

මෙය තරමක් වෙනස් ආකාරයකට සැකසූ විශාල කාඩ්පතකි. ඒ සඳහා රූපසටහනේ දී ඇති ප්‍රමාණ අනුව රතු පැහැති බෝඩ් එකකින් කාඩ්පත කපා ගන්න.

ඉන්පසු කපාගත් කාඩ්පත රූප සටහනේ පෙනෙන ආකාරයට ඛ අකුරේ හැඩයට නවා ගන්න. දැන් ඒ මත ගැළපෙන ආකාරයට රැපිං පේපර් කොටස් කපා අලවාගන්න.

එහි උඩට විසිතුරු කුඩාමල්, ඩයිකට් මල්, පබළු සහ බෝ එකක් අලවා කාඩ්පත නිර්මාණය කරගන්න.

පින්තූර රඳවනයක්

අවශ්‍ය ද්‍රව්‍ය

ඝනකම් බෝඩ් කොටස් 2 ක්

පැඩිං

දිලිසෙන කඩදාසියක් හෝ නෙට් කොටසක්

ඒ ෆෝ කොළ කීපයක්

ඡායාරූපයක්

නිර්මාණය කිරීම

මෙහිදී පළමුව ඝනකම් බෝඩ් කොටසින් එක් කොටසක් ගෙන එහි වටේට අඟල් 1 1/2 ප්‍රමාණයක් තබා මැද කොටස කපා ඉවත් කරගන්න. දැන් අඟල් 1 1/2 ක ප්‍රමාණයට පැඩිං කොටසක් සහ නෙට් රෙදි කොටසක් ද ඒ ආකාරයටම කපා ගන්න.

ඉන්පසු පින්තූර රඳවනයේ ඉදිරි කොටස සඳහා මැද කොටස කපා ඉවත්කරන ලද බෝඩ් එක මත පැඩිං තබා අලවාගන්න. ඊට උඩින් නෙට් හෝ දිලිසෙන කඩදාසිය තබා අලවන්න.

පසුව පිටුපසට ගත් බෝඩ් එක, ඡායාරූපය සහ ඉදිරිපස කොටස එකින් එක තබමින් අලවාගන්න. මෙය රතු ඒ4 කොළවලින් සාදාගත් මල්වලින් අලංකාර කර තිබේ. ඒ සඳහා ප්‍රමාණයන් දෙකකට මල් පෙති කපා ඒවා එකින් එක අලවා රෝස මල නිර්මාණය කරගන්න. ඒ අතරට ගෝල්ඩ් වර්ණයෙන් කපාගත් කොළ සහ පබළු අලවන්න.