උපන් දිනයට සුබපැතුම්පත්

ජනවාරි 13, 2021

ලැබුවා වූ නව වසරේ දී උපන් දිනය සරමන්නට සූදානම්වන ඔබේ ආදරණීයයන් බොහොමයක් ඇති. ඔවුන් වෙනුවෙන් තිළිණ කළ හැකි ලස්සන සුබපැතුම් පත් දෙකකි මේ. එම්බෝසිං කලාවෙන් නිර්මාණය කරන ලද මෙවැනි කාඩ්පතක් ඔබේ අතින්ම නිර්මාණය කර ආදරණීයයන් වෙනුවෙන් තිළිණ කළ හැකිනම් එහි වටිනාකම ඉහළයි.

රතු කහ රෝසමලින්

හැඩවූ කාඩපත

අවශ්‍ය ද්‍රව්‍ය

නිල් ඒ4 බෝඩ් එකක්

සුදු ඒ4 බෝඩ් කොටසක්

වර්ණ ගන්වන ලද බෝඩ් කොටසක්

ඩයික්ට්ස්, ගම්, එම්බෝස් කිරීම සඳහා

ෆෝල්ඩර් එක

රෝලිං පින් එක

ඕවල් හැඩයේ ඩයිකට්ස්

රතු, කහ ඒ4 කොළ 2 ක්

ක්විලිං ටූල් එක

නිර්මාණය කිරීම

පළමුව නිල් ඒ4 බෝඩ් එක ගෙන දෙකට නමා ගන්න. සුදු ඒ4 කොටස ගෙන දශමයක් පමණ වට ප්‍රමාණය අඩුවෙන් කපා නිල් බෝඩ් එක මත අවුට් ලයින් එකක් සිටින සේ අලවා ගන්න. වර්ණ ගන්වන ලද බෝඩ් කොටස ගෙන එය එම්බෝසිං ෆෝල්ඩර් එක මැදින් තබා මැෂින් එක මඟින් යවාගන්න. එවිට එය එම්බෝස් වී එයි. මෙය මැෂින් එකක් නැති කෙනකුට ෆෝල්ඩර් එකට බෝඩ් කොට උස තබා රෝලිං පින් එකක් මඟින් හොඳීන් තදවන සේ එහා මෙහා කරගන්න. එවිට මෙය එම්බෝස් වෙයි. එසේ එම්බෝස් කරගත් ඕවල් හැඩයේ කොටස සුදු බෝඩ් එක මත හරි මැදින් අලවාගන්න. පසුව රතු හා කහ රෝස මල් සාදාගැනීම සඳහා අරය අඟල් 2ක් පමණ වන රවුම් කීපයක් කපා එය ක්විලිං ටූල් එක ආධාරයෙන් ටූල් කර රෝස මල් ටික සාදාගන්න. ලොකු රෝස මල සඳහා ප්‍රමාණ 2 කින් පෙති පහේ මල් කපාගන්න. පසුව එම මල් පෙති ටූල් කර පොඩි පෙත්ත පොහොට්ටුවක් ආකාරයට සිටින සේ අලවා නැවතත් අනෙක් පෙති ද අලවා මල සම්පූර්ණ කරගන්න. පසුව ඡායාරූපයේ පෙනෙන පරිදි ලොකු රෝස මල අලවා එහි දෙපසට අනෙක් පොඩි රෝස මල් අලවා පෙනෙන පරිදි ඩයිකට්ස් කොළ අතු ටික අලවන්න. උඩට සමනලයෙක් අලවා එයට කොළ ද අලවා ගන්න. දැන් ඔබට අවශ්‍ය පරිදි සුබපැතුම එක්කළ හැකියි.

දම් පැහැ කාඩ්පත

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු ඒ4 බෝඩ් එකක්

ළා දම් වර්ණ බෝඩ් කොටසක්

දම් වර්ණ අඟලේ රිබන් කොටසක්

ඕවල් හැඩැති ඩයිකට් එකක්

එම්බෝසිං ෆෝල්ඩර් එක

එම්බෝසිං මැෂින් එක

වර්ණ ගැන්වීම සඳහා ඉන්ක් පෑඩ්ස්

(දම් සහ කොළ වර්ණ)

ගම්

නිර්මාණය කිරීම

පළමුව සුදු ඒ4 බෝඩ් එක දෙකට නමා ගන්න. පසුව ළා දම් බෝඩ් කොටස ගෙන දෙකට නැමූ සුදු බෝඩ් එකට වඩා දශමයක් පමණ වට ප්‍රමාණය අඩුවෙන් කපාගන්න. අවුට් ලයින් එකක් සිටින ආකාරයට මෙය කපාගත යුතුයි. දැන් නැවතත් අනෙක් සුදු බෝඩ් කොටස ගෙන එය එම්බෝසිං ෆෝල්ඩර් එක මැදින් තබා මැෂින් එක මඟින් තබාගන්න. එවිට එය එම්බෝස් වී එයි. එලෙසින් එම්බෝස් කරගත් කොටස ළා දම් වර්ණ බෝඩ් කොටස මත අවුට් ලයින් එකක් සිටින සේ අලවා ගන්න. පසුව ඉන්ක් පෑඩ් මඟින් රෝස මල්වලට දම් වර්ණ හා කොළවලට කොළ වර්ණය ගා ගන්න. නැවත අඟලක් පළල දම් වර්ණ රිබන් කොටසක් ගෙන පෙනෙන පරිදි එම්බෝස් හා ළා දම් බෝඩ් කොටස මතින් තබා යට පැත්තෙන් අලවා ගන්න. පසුව මෙම කොටස දෙකට නවා ගත් සුදු ඒ4 බෝඩ් එක මත අලවා ගන්න. ඕවල් හැඩැති ඩයිකට්ස් එක මැදින් ඔබ කැමැති සුබපැතුම අලවා එය රිබන් කොටස මැදිවන සේ අලවන්න.

මෙම එම්බෝසිං කලාව සුබපැතුම් පත් නිර්මාණයේ දී නොයෙකුත් ක්‍රමවල භාවිත කළ හැකියි. මෙය එම්බෝස් කිරීමේ දී මැෂින් එක අවශ්‍ය නොවුණත් එම්බෝසිං ෆෝල්ඩර් එක අත්‍යවශ්‍යයි. මෙය නිවෙසේ දී කරගන්නවා නම් රෝලිං පින් එකක් මඟින් කරගත හැකියි.

 

උපදෙස් - මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බාහිර අත්කම් උපදේශිකා

චූලනී ජයසිංහ