දෝණිගෙ සිත සතුටු කරන්න හැඩකාර බෝනික්කෙක්

ජනවාරි 20, 2021

 

බෝනික්කා පුංචි දෝණිට ඉන්න හොඳම මිතුරියක්. නිතරම බෝනික්කා ළඟට අරගෙන සෙල්ලම් කරන එක තමයි දෝණිගෙ ආශාවත්. දැන් දූවරු විතරක් නෙමේ පුතාලත් බෝනික්කන්ට කැමැතියි. එයාලත් බෝනික්කො එක්ක සෙල්ලම් කරන්න උනන්දුයි.

ඉතිං ඔබ මැහුමට ගෙතුමට දක්ෂ පුංචි දියණියකගේ හරි, පුතකුගේ හරි අම්මා කෙනෙක් නම් මේ වගේ ලස්සන, හුරුබුහුටි බෝනික්කෙක් ඔවුන් වෙනුවෙන් මසා දෙන්න පුළුවන්. නැතිනම් ස්වයං රැකියාවක් විදිහට මේ වගේ බෝනික්කෝ මසා වෙළෙඳපොළට දාන්නත් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

ළා රෝස, සුදු සහ කළු පැහැති ෆෙල්ට් රෙදි

පැඩිං

ඇස් දෙකක්

වූල්

 

නිර්මාණය කිරීම

පළමුව දී ඇති පතරොම් කොටස් ඔබට අවශ්‍ය පරිදි විශාලකර ඇඳගන්න. පසුව එම පතරොම් කොටස් තබා රෙදි කපාගත යුතුයි. ඒ අනුව ළා රෝස ෆෙල්ට් රෙද්දෙන් මුහුණු කොටස් එකක් අත කොටසෙන් කොටස් හතරක් සහ කකුල කොටසෙන් කොටස් හතරක් කපාගත යුතුය. පසුව ඇඟ ඉදිරිපස කොටසෙන් එක් කොටසක් ඇඟ පිටුපස කොටසෙන් කොටස් දෙකක්, මුහුණ යට කොටසින් එක් කොටසක්, තොප්පියෙන් එක් කොටසක්, තොප්පිය වටා කොටසෙන් කොටස් හතරක්, සපත්තුව කොටසෙන් කොටස් දෙකක් සහ සපත්තුව අඩිය කොටසෙන් කොටස් දෙකක් සහ කලිසම සඳහා සුදු වර්ණ ෆෙල්ට් රෙද් මඟින් එක් කොටසකුත් කපාගන්න. මෙම රෙදි කොටස් කැපීමේදී මැහුම් වාසි තබා කපාගත යුතු නැත. දැන් අප මෙම කොටස් මසාගනිමු. එහිදී ඇඟ ඉදිරිපස කොටසෙහි යටින් ඇති කඩඉරි සහිත තැනට කකුල් කොටස් දෙකක් තබා මසාගන්න.

දැන් ඇඟ පිටුපස කොටස් දෙක එකට තබා මසාගන්න. එයට ෆැඩිං පිරවීම සඳහා විවරයක් තබාගන්න. පසුව එම කොටස යටට කලිසම යට කොටස අල්ලා එම කොටසේ කැපුම් දෙපසට ඉතිරි කකුල් කොටස් දෙක අල්ලා ගන්න.

ඉන්පසු ඇඟ ඉදිරිපස සහ ඇඟ පිටුපස කොටස් දෙක එකට අල්ලා ගන්න. එසේ අල්ලාගත් විට අත්කට ඉඩතබා ගන්න. මසාගත් කකුල කොටසට සපත්තුව කොටස අල්ලා එයට සපත්තු අඩිය ද අල්ලා ගන්න.

ඉන්පසු අත්කොටස් හතර කොටස් දෙක බැගින් ගෙන එකට මසා (උඩින් ඉඩ තබා) එය ඇඟේ අත්කට විවරයට තබා මසාගන්න. මුහුණ කොටසට, මුහුණ යට කොටස අල්ලා එය ඇඟේ, බෙල්ල කොටසට අල්ලා ගන්න. ඉන්පසු මුහුණ උඩ ප්‍රදේශය වටේට අඟල් දෙකහමාරක් දිගට කපා ගත් වූල් අල්ලා ගන්න. කොණ්ඩ දෙකක් ලෙස ගොතාගත් වූල් කොටස් දෙකක් මුහුණ දෙපසට අල්ලා ගන්න. තොප්පිය උඩ කොටසට, තොප්පිය වටේ කොටස අල්ලා මසාගෙන එම තොප්පිය වූල් තබා මසාගත් මුහුණ වටා අල්ලා ගන්න.

පසුව විවරය තැනින් හොඳ පිට හරවා එතැනින් පැඩිං පුරවා ගන්න. රූප සටහනේ ඇති ආකාරයට ඇස්, නාසය, කට අල්ලා ගන්න. පසුව ගැළපෙන ආකාරයට ගවුමක් අල්ලා අලංකාර කර ගන්න.

 

 

උපදෙස් - ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

සේනානි සේනාරත්න