වර්ණවත් අයිරිස් මලක හැඩ

පෙබරවාරි 10, 2021

 

ලාංකික අපිට නුහුරු වූ නමුත් අයිරිස් මල ප්‍රංශයේ ජාතික පුෂ්පයයි. වර්ණ රටා මවන මේ සොඳුරු කුසුමට අපි මෙලෙස ජීවය දෙමු.

අවශ්‍ය ද්‍රව්‍ය:

පාච්මන්ට් අයිසිං හෝ තයිලෝ පේස්ට්

ගේජ් 20 කම්බි

ඩස්ටිං පවුඩර්

ගම්ටේප්

ජෙලටින් හෝ ගම් පේස්ට්

නිර්මාණය කිරීම:

අයිරිස් මල සාදාගැනීම සඳහා පළමුව පළමු ඡායාරූපයේ දැක්වෙන ආකාරයට ප්‍රමාණ තුනකින් බෝල තුන බැගින් බෝල නමයක් සාදාගන්න. දැන් දෙවැනි ඡායාරූපයේ ලෙසට එම බෝලවල කුඩා බෝල හැර අනෙක් බෝල කම්බි කොටසට සම්බන්ධ කරන්න. පසුව තෙවැනි ඡායාරූපයේ දැක්වෙන පරිදි එම කොටස් ඇඟිලි තුඩු මඟින් තුනීකර කටර් තබා කපා ගන්න. එහිදී ලොකු පෙත්ත යටින් ස්වල්පයක් අඩුකර ගන්න.

පසුව එම පෙත්ත උඩ කොටස පළල් කර වේනර් කරන්න. සිව්වැනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම පෙත්තයි. ඉන්පසු එම පෙත්ත රැලිකර පසුපසට නමා වේළා ගන්න. පසුව කම්බිය රඳවා ගත් දෙවැනි පෙත්ත ද එනම් දිගටි හැඩැති පෙත්ත ද වේනර්කර ඩස්ටිං පවුඩර් තවරා රැලිකර පසුපසට නමා ගන්න.

දැන් වේළෙන්නට තබන්න. පස්වැනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම පෙත්තයි.

හයවැනි ඡායාරූපයේ පරිදි කුඩා අයිසිං බෝලයගෙන ඇඟිලිතුඩු මඟින් තදකර පෙත්තක් ආකාරයට සකස්කර ගන්න. එහිදී පෙත්තේ උඩ කොටස පළල්කර ඩස්ටිං පවුඩර් තවරා වේනර් කරන්න. පෙත්ත තරමක් රැලි කරගන්න.

පසුව ලොකු පෙත්තෙහි මැදට ජෙලටින් ස්වල්පයක් හෝ ගම් පේස්ට් තවරා ඒ මතට කහ වර්ණ ඩස්ටිං පවුඩර් ස්වල්පයක් තවරා වේළාගන්න. හත්වැනි ඡායාරූපයේ දැක්වෙනනේ එම මල් පෙත්තයි. දැන් අටවැනි ඡායාරූපයේ දැක්වෙන පරිදි එම පෙත්ත උඩින් පළමුවැනි පෙත්ත එනම් කුඩා පෙත්ත තබා අලවා ගන්න. එක් මලකට එවැනි කොටස් තුනක් සාදාගත යුතුයි. පසුව දිගටි හැඩයට සාදාගත් දෙවැනි මල් පෙති තුන ගෙන මල් පෙත්තෙහි පිටුපස ඇතුළට වෙන සේ තබා ගැටගසාගන්න.

නටුව සඳහා තවත් කම්බි කොටසක් හෝ බාබක්‍යු ස්ටික් එකක් තබාගන්න. දැන් නවවැනි ඡායාරූපයේ දැක්වෙන පරිදි ඉහතින් බැඳගත් පෙති තුන අතරට අනිත් පෙති තුන තබා බැඳ යටට ගම්ටේප් ඔතාගන්න. මේ ආකාරයට මල් කීපයක් සහ කොළ සාදා අවශ්‍ය පරිදි කේක් එක හැඩ කරගන්න.

 

 

 

 

උපදෙස් - ප්‍රවීණ

කේක් නිර්මාණ ශිල්පිනී

ප්‍රදීකා විජේසූරිය