ඔසරිය හැඩ කළ හිරුගේ තේජස

පැච්පොයින්ට් කලාව
මාර්තු 31, 2021

පැච්පොයින්ට් කලාවෙන් නිමවෙන සාරි ඔසරි සඳහා ඇත්තේ ඉහළ ඉල්ලුමකි. එකකින් එකක්ම පමණක් දැකගත හැකි මේ සාරි විලාසිතාවන් පාඨක ඔබට ආගන්තුක නැත.

ඒ අපි එම කලාවේ ‘අ’ යනු ‘ආ’ යනු ඔබ වෙනුවෙන් කියා දී ඇති නිසාමයි.

පැච්පොයින්ට් කලාව හඳුන්වාදුන් ප්‍රවීණ නිර්මාණ ශිල්පිනී චාන්දනී රාජපක්ෂ ගේ දෑතින් ඔසරි වෙනුවෙන් නිමවූ තවත් ලස්සන මෝස්තරයක් මෙලෙස ගෙන එනවා. බලන්න, හැඩට අඳින්න ළඟ එන නව වසරට ඔබේම දෑතින් මේ රටාව සහිත ඔසරියක් නිර්මාණය කරගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය:

අමු රෙදි

කළු, කොළ වර්ණ (කෙහෙල් දල්ලේ පැහැති) කොට්න් රෙදි

කළු හා කොළ වර්ණ කෝඩ්

පතරොම් කැපීමට කාඩ්බෝඩ්

ෆැබ්රික් ග්ලූ

නිර්මාණය කිරීම:

මෙම සාරි මෝස්තරය නිර්මාණය කරගැනීමට පළමුව රූපසටහනේ දී ඇති ආකාරයට පතරොම් කොටස් කපාගන්න. ඉන්පසු එම පතරොම් තබා රෙදි කොටස් කපාගන්න. මෙහිදී ඔබ මතක තබාගතයුතු කරුණක් තිබේ. එනම් රෙදි කොටස් කැපූ විගසම සාරිය මත තබා අලවා ගත යුතුයි. නැතිනම් එම කොටස්වල නූල් ඇදීමට ලක්වෙයි.

ඉන්පසු සාරියේ රෙද්ද කොටස ගෙන අඟල සහ අඟල් ½ ක් පළලට කළු පාටින් කපාගත් රෙදිි කොටස්ගෙන රෙද්ද කොටස මත තබා අලවා ගන්න. එය අලවාගත යුත්තේ පළල අතටය. එසේ පළල අතට ඉරි කොටස් අලවාගෙන ඇත්තේ මෙම ඔසරි නිර්මාණය සිදුකළ යුවතිය සිහින් සිරුරක් සහිත යුවතියක් නිසා ඇයට තරමක පිරිපුන් බවක් ලබාදීම සඳහාය. ඔබ මහත සිරුරක් සහිත යුවතියක නම් මෙම ඉරි කොටස් අලවා ගත යුත්තේ දිග අතටය. එවිට මෝස්තරය නිර්මාණය කරගත යුතු වන්නේ උකුළ සිට පහළට විහිදී යන ආකාරයටයි.

මේ ආකාරයට ඉරි කොටස් අලවා ගත් පසු එහි දෙපසට කළු පැහැති කෝඩ් පටි අලවන්න. ඉන්පසු කොළ පැහැති රෙද්දෙන් කපාගත් ඉර වැනි කොටස සාදා ගත යුතුයි. ඒ සඳහා රෙදි කොටසෙන් අඩකවයක් ආකාරයට කපා ගන්න. ඊට අඟල් 1½ පමණ පහතින් කොළ පාටින් කපාගත් අඩකව කොටසක් අලවන්න. දැන් නැවතත් එයට අඟලක් පමණ පහතින් තවත් කළු පැහැයෙන් කපා ගත් අඩකව කොටසක් අලවන්න. දැන් මෙසේ සාදාගත් කොටස් තුන එහා මෙහා නොයන පරිදි රෙද්ද මත තබා අල්පෙනෙති ගසා ගන්න. පසුව ඉරේ රශ්මිය ආකාරයට කොළ පාටින් කපාගත් රෙදි කොටස්ගෙන පල්ලුවෙහි මැද සිට විහිදී යන ආකාරයට තබා අලවන්න. එය ඇලවීමේ දී අඩකව කොටස ඇතුළට රිංගවා අලවා ගතයුතුයි. ඉන්පසු එම කොටස් වටා කෝඩ් අලවා ගන්න. පසුව අඩකව කොටස මත ගම් ගා අලවාගන්න.

දැන් සාරියෙහි පොට සාදාගනිමු.

ඒ සදහා රෙදි කපාගැනීමේ දී පොට දෙකට නවා ගැනීමට පමණක් රෙදි කපා ගත යුතුයි. එනම් සාරි පොටෙහි පළල අඩුවිය යුතුයි. එසේ සිදු කරන්නේ නිර්මාණය හොඳින් පෙනීම සඳහාය. මෙම සාරි පොටෙහි උඩ ඇති මෝස්තරය කළුපාටින් කපාගතයුතු අතර යටින් ඇති මෝස්තරය කොළ පාටින් කපාගත යුතුයි. මෙහිදී පොටෙහි උඩ මෝස්තරය සඳහා කළු පාටින් කපාගන්නා රෙදි කොටස් දිගින් වගේම පළලින්ද අඩුවිය යුතුය. ඉන්පසු එම කොටස් පොටමත තබා අලවා ගන්න.

දැන් නෙරිය කොටස සාදා ගනිමු.

ඒ සඳහා කළු සහ කොළ වර්ණවලින් ඉරේ රශ්මිය ආකාරයේ කුඩා කොටස් කීපයක් දිගට සහ කොටම කොටස් කීපයක් කපා නෙරියෙහි යට පැත්තේ සිට ඉදිරියට පාට මාරු කරමින් අලවන්න. පසුව එම පාටවල කෝඩ් නූල් මඟින් කෝඩ් කරන්න.

මෙම සාරියෙහි හැට්ටය මසා ඇත්තේ දිගු අත සහිත විලාසිතාවක ආකාරයටයි. මේ සඳහා ආභරණ භාවිත කළ යුත්තේ ඉතා අඩුවෙනි. අවශ්‍ය නම් සරල විලාසිතාවකින් හැඩවිය යුතුයි.

ඔබ මේ සඳහා ටසල් සහිත ලොකු කරාබුවක් පළඳින්නේ නම් මාලයක් පැලඳිය යුතු නැත.

උපදෙස්
පැච්පොයින්ට් කලාව හඳුන්වා දුන් ප්‍රවීණ සාරි මෝස්තර නිර්මාණ ශිල්පිනී
චාන්දනී රාජපක්ෂ

 


 

හැඩගැන්වීම
රූපලාවණ්‍ය ශිල්පිනී
ෂයිනි