පුංචි දෝණිට අලුත් යෙහෙළියක් අඩු වියදමකින් ලස්සන බෝනික්කෙක් මහමු

ජූලි 21, 2021

 

පුංචි දුවලා පුතාලා ඉන්න අම්මලා දරුවොත් එක්ක එළියට යනවානම් එයාලගෙ කනට ඉස්පාසුවක් නම් නැහැ. අම්මෙ මට අර බෝනික්කා ඕනෙ, අම්මෙ මේ බෝනික්කා නම් හරිම ලස්සනයි.

එයාගෙ කොණ්ඩෙත් දිගයි. අනේ මට එයාව අරන් දෙන්නකෝ. විශේෂයෙන්ම පුංචි දෝණිලා ඉන්න අම්මලට නම් මේ වගේ මැසිවිලි ඕනෙ තරම් අහන්න ලැබිලා ඇති. එවැනි අවස්ථාවලදී ඔබේ අතේ මුදල් නැතිනම් අපහසුතාවයට පත්වන්නත් ඇති. ඒ වගේම තමයි මෙවැනි බෝනික්කන් වෙළෙඳපොළේදී ඉහළ මිලගණනකිනුත් යුක්තයි.

ඉතිං ඔබ මැහුමට ගෙතුමට හැකියාවක් ඇති ගෘහණියක් නම් ඔයාගෙ හැකියාවෙනුත් එකතුකරලා මේ වගේ ලස්සනම ලස්සන බෝනික්කෙක් ඔයාගෙ අතින්ම මසාගන්න පුළුවන්.

බෝනික්කා මසාගැනීම සඳහා

අවශ්‍ය ද්‍රව්‍ය

බෝනික්කන් මසා ගැනීම සඳහා භාවිත

කරන බෝවා රෙදි

එම රෙදිවල වර්ණ නූල්

පැඩිං

ඇඳුම් මසාගැනීම සඳහා මුද්‍රිත රෙදි

වෙළෙඳපොළෙන් ලබාගත් කොණ්ඩයක් සහ

ඇස් දෙකක්

 

බෝනික්කන් මැසීම සඳහා භාවිත කරන බෝවා රෙදි එක් පැත්තක් සුමට වන අතර අනෙක් පැත්ත සාමාන්‍ය තත්ත්වයක පවතින ඇදෙන සුළු රෙදි වර්ගයකි. එම රෙද්ද භාවිතකර බලවාටියට සමාන්තරව ඇඟ කොටස් කපාගන්න. තොප්පිය, සපත්තු, ගවුමට ආදිය මුද්‍රිත රෙදි මඟින් කපාගන්න. එසේම පතරොම් තබා රෙදි මත ඇඳීමේදී මැකීයන පැන්සලක් හෝ ළා පැහැති පෑනක් භාවිතකර කණපිට පැත්තෙන් සියලුම පතරොම් ඇඳගන්න. මැහුම් වාසි තබා සකස්කර ඇති නිසා නැවත මැහුම්වාසි තැබීම අවශ්‍ය නොවෙයි. අවශ්‍යතාව මත සෑම කොටසක්ම එකහා සමානව විශාල හෝ කුඩාකර පතරොම් සකස්කර ගන්න. අඟල් 28ක් පමණ උස මෙම බෝනික්කා සඳහා රෝස පැහැති ඇඳුම් මසා ඇත.

දැන් අප මසන ආකාරය බලමු.

එහිදී පළමුව අංක 2 කොටස ගෙන කොටස් හතරෙන් කොටස් දෙකක් පළමුව එක මත එක තබා මසා ගන්න. අනිත් කොටස් දෙකත් ඒ ආකාරයටම මසාගෙන එම කොටස් දිගහැර බැලූවිට රවුම් දෙකක් ලෙස දිස්වේ. දැන් එසේ රවුම් මෙන් පෙනෙන කොටස් දෙක එක මත එක තබා පිටට තිබෙන ලොකු රවුම පමණක් මසා හොඳ පිට පෙරළා ගන්න.

මෙලෙසින් හොඳ පිටට පෙරළා කොටස් දෙකේ ඇතුළතින් ඇති පොඩි රවුම අංක 03 තොප්පිය කොටසෙහි වට රවුමට අල්ලා (තොප්පිය උස බව පෙනෙන කොටස) එයට අංක (1) තොප්පිය මැද රවුම ද අල්ලා තොප්පිය සම්පූර්ණ කර ගන්න.

ඉන්පසු අංක 04 කන කොටස වටේ මසා කන් දෙක වෙන වෙනම සකසා ගන්න. පසුව අංක 05 මුහුණ කොටසෙහි වාටි දෙක මසා අංක 06 බෙල්ල කොටසෙහි වාටි තිබෙන පැත්තට අල්ලා ගන්න.

කණ් දෙක තබන තැන් මත තබා බෙල්ල මසා ගත යුතුය.

දැන් අංක 06 බෙල්ල කොටසේ රවුමක් එන සේ දක්වා ඇති කොටස් මූට්ටුකර සාදාගත් මුහුණ කොටසට කොණ්ඩය මසාගත යුතුයි. ඒ සදහා දකුණු කන සිට වම් කන දක්වා වටේට තබා මසා ගන්න.

ඉන්පසු බෙල්ලට තොප්පිය තබා ඡායාරූපයේ දැක්වෙන ආකාරයට මසාගන්න. අංක 08 පිටුපස පලුව කොටස් දෙක ගෙන පැඩිං පිරවීමට විවරයක් තබා වටේට මසා ගන්න. ඉන්පසු අංක 07 කොටස ද එයට උඩින් තබා උරහිස් මූට්ටුකර ඇඟ මසා ගන්න.

පසුව අංක 9 අත් කොටස් දෙක අල්ලා ගන්න. අතේ ඇඟිලි සහිත කොටස එනම් අංක 10 කොටස් හතරෙන් කොටස් දෙක බැගින් ගෙන එක මත එක තබා මසා අතේ උඩ කොටසට අල්ලා ගන්න.

අංක 11න් දැක්වෙන්නේ බෝනික්කාගේ යට ඇඳුමයි.

එය මසාගැනීමට එහි එක කොටසක් ඉදිරිපස පල්ලුවටත් අනෙක් කොටස පසුපස පල්ලුවටත් අල්ලා අතේ සිට පහළට අංශය මසා කකුලටද අල්ලා ගන්න. අංක 12න් දැක්වෙන්නේ කකුල් කොටස් දෙකයි.

දැන් සපත්තුව සැකසීම සඳහා අංක 13 කොටස ගෙන වාටි මසා අංක 14 සපත්තුවෙහි වටරවුම වටේට අල්ලා ගන්න. අංක 15 මැද රවුම ද සපත්තුවට අල්ලා අංක 16 මේස් කොටස් දෙක සපත්තු කොටස් අල්ලන කොටස මත තබා මසා අංක 12 කකුල් කොටස් දෙකට සපත්තුව අල්ලා ගන්න. පසුව කකුල් කරුව මසා පැඩිං පුරවා ගන්න. ඒ ආකාරයට පළමුව මුහුණටත්, හිසටත්, පපුව කකුල්වලටත් අවසානයේ ඇඟ කොටසටත් පැඩිං පුරවන්න. නහය කොටස, වටේ මසා පසුව නූල් දුවවා පැඩිං පුරවාගත් බෝලයක් ආකාරයට නහය සකසා ගන්න.

ඇස් ඇල්ලීමට පෙර ඇස් ගිලී ඇති ආකාරයට සැකසීමට ලොකු ඉඳිකටුවක්, බෙල්ලේ සිට නූල් පටක් ඉඳිකටුවෙන් ඇස් තබන තැනට යවා නූල ඇද ඇස ගිලී ඇති ආකාරයට සකස්කර ඇස් අලවා ගන්න. නහය ද අල්ලා ගන්න. කට ද මසා ගන්න. බෝනික්කාගේ මිමිවලට අනුව ලස්සන ගවුමක් මසා අන්දවා ගන්න.

 

උපදෙස් -

ප්‍රවීණ මැහුම් ශිල්පිනී

යමුනා විජේමාන්න