සොඳුරු වර්ණ රටා මවන ජාවා බතික්

අගෝස්තු 18, 2021

පසුගිය සතියේ අපි ඔබට 'ජාවා' බතික් ක්‍රමය හඳුන්වා දුන්නෙමු. එමඟින් නිර්මාණයක් සිදු කර ගන්නා ආකාරය ද විස්තර කළෙමු.

'තරුණී' පාඨක ඔබගේ දැඩි ඉල්ලීම පරිදි අද දින ද 'ජාවා බතික්' ක්‍රමයට නිර්මාණයක් සිදු කර ගන්නා ආකාරය ගෙන එන්නෙමු. මේ ආකාරයට ඔබට, සාරි, ගවුම්, කමිස, කුෂන් කවර හෝ ඕනෑම දෙයක් නිර්මාණය කර ගත හැකිවේ. ඔබගේ සිතැඟි පරිදි වර්ණ මිශ්‍ර කරමින් මෙම නිර්මාණවලට විවිධත්වයක් ඇතිකර ගත හැකිවීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.

 

රෙදි පින්තාරු කරන ආකාරයටම ඔබට වර්ණ, ළා පැහැය හෝ තද පැහැයට පින්තාරු කර ගත හැකියි. එසේ කිරීමේදී ජලය යොදා ගැනීමට අවශ්‍ය වන නිසා, ඉතා පරිස්සමෙන් ජලය යොදා ගැනීම කළ යුතු බව සිහි තබාගන්න.

 

එසේ නම් පළමුව නිර්මාණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මොනවාදැයි බලමු.

 

අවශ්‍ය ද්‍රව්‍ය

• කපු, ලිනන්, සිල්ක් හෝ විස්කෝස් රෙද්දක්.

• වර්ණ (Reactive dye වර්ණ කිහිපයක්)

• රෙදිවල බර 300g (ඩයි ප්‍රමාණය සකස්කර ගැනීම සඳහා රෙදිවල බර මැන ගන්න)

• ඔබට අවශ්‍ය වර්ණවල ගැඹුර (dye depth) ද දැන සිටිය යුතුවේ. (වර්ණයේ ගැඹුර යනු ඕනෑම වර්ණයක ළා පැහැයේ සිට තද පැහැය දක්වා වූ වර්ණ පරාසයයි. 1% - 5% දක්වා ළා පැහැයත් 5% - 9% දක්වා තද පැහැය ද දැක්වේ.)

• වර්ණයේ ගැඹුර 5% ගනිමු.

• ඩයි ප්‍රමාණය සකස් කරගැනීම

රෙදිවල බර x වර්ණයේ ගැඹුර 300g x 5/100 = 15g

• සෝඩියම් සිලිකේට් ප්‍රමාණය = 60ml

• යූරියා - 16g (වැඩි කර ගන්න එපා)

• ජලය 60 ml - 100ml දක්වා (අවශ්‍ය ප්‍රමාණයට)

• කුඩා යෝගට් කප් කිහිපයක්

• රෙදි පින්තාරු කරන පින්සල්

• රසායනික මිශ්‍රණය සාදා ගැනීම සඳහා කුඩා භාජනයක්

• හැඳි කිහිපයක්

 

පළමුව ඔබට අවශ්‍ය රූප, ඔබ තෝරාගත් රෙද්ද මත ඇඳගන්න. ඔබ නිර්මාණය සඳහා යොදා ගන්නා dye වර්ණ පසෙකින් තබා

 

ගන්න. ඉහත සඳහන් කළ ආකාරයට රසායනික ද්‍රව්‍ය මැන පසෙකින් තබාගන්න.

දෙවනුව, ඔබගේ නිර්මාණය ඉටිවලින් ඇඳ ගන්න. (ඉටි නොකැඩෙන සේ ඇඳ ගන්න.)

 

වර්ණ මිශ්‍රණය සකසා ගැනීම

 

පළමුව යූරියා ගෙන කුඩා භාජනයකට දමන්න. පසුව ජලය ස්වල්පයකින් (10ml) දිය කරගන්න. (කැට ඉතිරි නොවන ආකාරයට) පසුව එයට සෝඩියම් සිලිකේට් 60ml දමා හොඳින් මිශ්‍ර කර ගන්න. පසුව ඔබගේ නිර්මාණයට අවශ්‍ය වර්ණ ප්‍රමාණය අනුව කුඩා යෝගට් කප්වලට මෙම මිශ්‍රණය සමාන ප්‍රමාණවලින් දමා ගන්න. ඉන්පසුව ඩයි ප්‍රමාණය (15g) එක් එක් වර්ණයන්ගෙන් මැන ගන්න. එම ඩයි ප්‍රමාණය ඔබ බෙදා වෙන්කරගත් මිශ්‍රණය සහිත එක් එක් යෝගට් කප්වලට දමා හොඳින් මිශ්‍ර කරගන්න. (මිශ්‍රණය ඝනකමින් යුක්ත නම් ජලය ස්වල්ප ප්‍රමාණයක් එක් කිරීමට වග බලා ගන්න.)

 

තෙවනුව ඔබගේ නිර්මාණය ඔබගේ සිතැඟි පරිදි රෙදි පින්තාරු කර ගන්නා ආකාරයට පින්තාරු කර ගන්න. පින්තාරු කර ගත් පසු නිර්මාණය වටා නැවතත් ඉටි කර ගන්න. නැතිනම් ඉටි ඉවත් කර ගැනීමේදී (රෙදි තැම්බීමේ දී) වර්ණ සෑම තැනම විසිරී යාමට ඉඩ ඇත. එබැවින් නැවතත් නිර්මාණය වටා ඉටි කර ගැනීම අවශ්‍ය වේ. අවසානයේදී නිර්මාණය ලී රාමුව මතම පැය 24ක් තබන්න. ඉන්පසුව නිර්මාණය පිරිසුදු ජලයෙන් සෝදන්න. (ඉටි නොකැඩෙන සේ. එසේ කිරීමෙන් අනවශ්‍ය වර්ණ සේදී යනු ඇත.) පසුව හොඳින් රත්වූ ජල බඳුනකට බහා ඉටි ඉවත් කරගෙන මඳ පවනේ වියළා ගන්න.

 

සැ. යු. - ජාවා බතික් ක්‍රමයට නිර්මාණයක් සිදු කරන විට වැසි දිනයකදී සිදු නොකිරීමට මතක තබාගන්න. (මන්ද වාතයේ ඇති ජලවාෂ්ප රසායනික ද්‍රව්‍ය හා ප්‍රතික්‍රියා කිරීම නිසා නිර්මාණය අවලස්සන වීමට හැකි බැවිනි.)

ඉදිරිපත් කිරීම
kenuri batik ආයතනයෙහි
අධිපතිනි
එච්. චන්දිමා ද සිල්වා