ජීවිතය දිනන්න භාෂා බාධකය ජයගන්න

ජනවාරි 9, 2019

ඉසඹුවක් නොමැතිව මිනිසුන් දිව යයි. ඉදිරියට හමුවන්නේ කවුදැයි බලන්නටවත් වෙලාවක් නැත. දන්නා හඳුනන කෙනෙක් ඇඟේ හැපණ ද ඒ ගැන මතකයක් නැත. ඒ තරමටම ලෝකය දුවයි. අපි ද ඒ පසුපස නොනැවතී දුවයි. ඉඳින් මේ තරගකාරීත්වය නොවේද?

ඔබත් මේ ප්‍රවාහයේම අයෙකි. එසේ නොවුණොත් සිදුවන්නේ පරාද වන්නටය. ලස්සන සිහින දකින්න, ඒවා ඉටුකරගන්න නම් මේ තරගකාරීත්වයේ කොටස්කරුවකු වී යා යුතුයි.

දවසින් දවස මේ ලෝකය තරගකාරී වෙනවා. අලුත් දැනුම ලෝකයට එකතු වෙනවා. රැකියා වෙළෙඳපොළත් දවසින් දවස තරගකාරී වෙනවා. අධ්‍යාපනය ලබන තරුණ වයසේ පසුවෙන බොහොමයක් දෙනා අද එක් පාඨමාලාවක් හදාරනවා වෙනුවට විවිධත්වයක් සහිත පාඨමාලා කිහිපයක්ම හදාරන්න යොමු වෙනවා. එයට හේතුව වන්නේ එක පාඨමාලාවකින් විතරක් රැකියාවක් සොයා ගැනීමට නොහැකි වීමයි. ඒ තරමටම දක්ෂයෝ පිරිලා. මේ තරගකාරීත්වය ඇතුළෙ රැඳෙන්න නම් ඔබත් විවිධ පාඨමාලා කිහිපයක් හදාරා ඔබේ දැනුම පුළුල් කරගත යුතුයි.

බුද්ධිය මනින මිම්මක් වෙලා

ඉංග‍‍්‍රීසි කියන්නේ අද දවසේ දී අත්‍යවශ්‍ය මෙවලමක්. භාෂා දැනුමයි, බුද්ධියයි කියන්නේ දෙකක්. ඒත් අපේ රටේ හුඟාක් ආයතන වගේම පුද්ගලයොත් ඉංග‍‍්‍රීසි දැනුම උගත්කම හා බුද්ධිය මනින මිම්මක් බවට පත්කරගෙන. මේ ක‍‍්‍රමය මොනතරම් වැරැදි වුණත් කවුරුවත් ඒක නිවැරැදි කරන්න යන්නේ නැහැ. ඒ හින්දා ඔබ කළ යුත්තේ ඉංග‍‍්‍රීසි භාෂාව ඉගෙන ගැනීමයි. ඉංග‍‍්‍රීසි ඉගෙන ගන්නවා කියන්නේ මේ තරගකාරී රැකියා වෙළෙඳපොළෙන් රැකියාවක් හොයා ගැනීමට ඇති පහසු ක‍‍්‍රමයක්. ඒ වගේම අද අපේ රටේ උසස් අධ්‍යාපන කටයුතු වඩාත් සාර්ථක කරගන්න නම් ඉංග‍‍්‍රීසි භාෂා දනුම අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙලා.

උපාධියටත් වැඩියෙ තැනක්

උපාධියකටත් වඩා වැඩි වටිනාකමක් ඉංග‍‍්‍රීසි කතා කිරීමේ හැකියාවට හිමි වෙලා. බොහොමයක් උසස් අධ්‍යාපන හා වෙනත් පාඨමාලා පැවැත්වෙන්නේ ඉංග‍‍්‍රීසි මාධ්‍යයෙන්. ඉතිං එහෙමනම් ඉංග‍‍්‍රීසි අතහරිනවා ද නැතිනම් සිතට දිරි අරගෙන ඉංග්‍රීසි ඉගෙන ගන්නවා ද කියන එක ඔබ තීරණය කළ යුතුයි. ඉංග‍‍්‍රීසි එහෙමත් නැත්නම් කඩ්ඩ හරි හැටි මෙහෙයවන්න පුළුවන් නම් රැකියාවක් ගැන බිය වීමට දෙයක් නැහැ. ඒ තරමටම ෂුවර්.

දැන් බලන්න, පත්තරවල මොනතරම් රැකියා ඇබෑර්තු තියෙනවා ද? ඒ හැම එකකම වගේ ඉංග්‍රීසි ප්‍රධාන සුදුසුකමක් විදිහට තියෙනවා. රැකියාවක් නැතිව සුසුම් හෙළන ඔබ සතුව නැත්තෙත් ඉංග්‍රීසි භාෂා දැනුම නේද? අද දවසේ දී රැකියාවක් නැතිව හිඳීන්නේ බොහෝවිට මේ භාෂා ගැටලුවට මුහුණ දෙන අයයි. යම් ආයතනයක් එහි රැකියාවක් සඳහා ඉංග‍‍්‍රීසි භාෂාව සලකා බලනවා නම් අපිට ඒකට වරදක් කියන්න බැහැ. අපි කළ යුත්තේ ඒ අඩුපාඩුව සපුරා ගැනීමයි. විවිධ පාඨමාලා හදාරන්න යොමුවෙන අතරම ඉංග‍‍්‍රීසි බස හදාරන්නත් යොමු විය යුතුමයි. එහෙම වුණොත් පවතින තරගකාරීත්වයටත් ඉදිරියේ තියෙන අභියෝගවලටත් නොසැලී, නොබියව මුහුණ දෙන්න ඔබට පුළුවන්.

හරි ක්‍රමයක් නැහැ

ඉංග‍‍්‍රීසි ඉගෙන ගන්න හිතන ඒ වෙනුවෙන් උනන්දුවන බොහොමයක් දෙනාට තියෙන ප්‍රධානම ගැටලුවක් වන්නේ නිවැරැදිව ඉංග‍‍්‍රීසි ඉගෙන ගන්න තැනක් නොතිබීමයි. බොහෝ වෙලාවට ඉංග‍‍්‍රීසි ඉගෙනීම එපා කරවන්නේ එය උගන්වන අයමයි. එයට හේතුව හරි දැනුමක් නැති අයත් ඉංග‍‍්‍රීසි උගන්වන්න යොමුවී හිඳීමයි. ඒ වගේම සමහරු ඉංග්‍රිසි දැනගත්තට උගන්වන්න දන්නේ නැහැ. තවත් පිරිසක් ඒක බොහොම අමාරු දෙයක් විදිහට ඒත්තු ගන්වන්න උත්සාහ කරනවා. මෙන්න මේ නිසා තනිවම ඉගෙන ගන්න ක‍‍්‍රමයක් තියෙනවා නම් වඩාත් හොඳයි කියලා හිතන පිරිසක් ඉන්නවා. ඒ වගේම මේ දක්වා ඉංග්‍රීසි ඉගෙන ගන්න උත්සාහ කරලා අසාර්ථක වෙලා ද ඉන්නේ. ඒ ඕනෑම අයකුට ඉංග‍‍්‍රීසි බස ඉගෙන ගන්න භාවිත කළ හැකි සාර්ථක ක‍‍්‍රම කිහිපයක් මෙලෙස ඉදිරිපත් කරනවා.

නොකඩවා කියවන්න

ඉංග්‍රීසියෙන් ඇති පාසල් පෙළ පොත් වාගේම ළමා කතන්දර පොත් කියවන්න. ඔබ කැමැති සිංහල හෝ පරිවර්තන කතාවක් කියවා එහි ඉංග්‍රීසි පිටපත් වේ නම් එවැන්නක් හොයාගෙන කියවන්න. දැන් ඔබ කතාව දන්නා නිසා ඉංග්‍රීසි කතාව අමාරු වුවත් තේරුම් ගැනීම එමඟින් පහසු වේ. උදාහරණයක් විදිහට ‘මඩොල් දූව‘ පොතේ ඉංග්‍රීසි පොතත් තියෙනවා. ‘මධාරා’ නම් නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනයකුත් තියෙනවා. මෙවැනි බොහොමයක් සිංහලට පරිවර්තනය කර ඇති කතාවල ඉංග්‍රීසි පොත් ද ඇති නිසා මෙය සොයාගැනීම පහසුවෙන් කළ හැකියි. පුස්තකාලයකට සම්බන්ධ වී ඉංග්‍රීසි පොත් ලබාගෙන කියවන්න. ඔබ මොනතරම් වයසින් වැඩිහිටයකු වුවත් ඉංග්‍රීසි ළමා කතා කියැවීම මදිකමක් නොවේ. සමහර විශාල ඉංග්‍රීසි නවකතා පොත් ග්‍රේඩ් රීඩර්ස් පොත් ලෙස සරලව කුඩා ලෙස නැවත ලියූ පොත් දක්නට තිබේ. එවැනි පොත් පහසුවෙන් තේරුම් ගැනීමට හැකියි. බ්‍රිතාන්‍ය කවුන්සිල් පුස්තකාලයේ මෙම පොත් ඇති අතර ලංකාවේ වෙනත් පුස්තකාලවල ද මේවා තිබේ. මෙලෙස හැමදාම පුරුද්දක් විදිහට කියවන්න පුරුදු වෙන්න. අඩුම තරමේ දිනකට එක් පැයක්වත් ඒ වෙනුවෙන් වෙන්කරන්න.

හැමදාම පුහුණුවන්න

ඔබ ඉංග්‍රීසි ඉගෙන ගන්න දේ මතකයෙන් පවසන්න. ඒවා මතකයේ තිබේදැයි විමසා බලන්න. දෙබසක් වුවත් මතකයෙන් කියන්න.

පින්තූර කියවන්න

 

පින්තූරයක් අරගෙන එය ඉංග්‍රීසි බසින් විස්තර කරන්න උත්සාහ කරන්න. අඩුම තරමේ ඒවායේ තියෙන දේවල්වල නම්වත් ඉංග්‍රීසියෙන් කියවන්නට පුළුවන්දැයි බලන්න.

ඇප් එකක් භාවිත කරන්න

ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම පහසු කරන ඇප් ඇත. ච්භධතඪදඨධ එවැනි ඇප් එකකි. ඒවා මඟින් ස්වයං අධ්‍යයන කටයුතු කළ හැකියි.

ඇහුම්කන් දෙන්න

ඉංග්‍රීසි ඉගෙන ගන්න උවමනා නම් ඉංග්‍රීසි සිංදුවලට පුවත්වලට ඇහුම්කන් දෙන්න. ඉංග්‍රීසි භාෂාවෙන් ඇති රේඩියෝ චැනල් එකකට නිතර ඇහුම්කන් දෙන්න හුරුවන්න

විඩියෝ, චිත්‍රපට නරඹන්න

ඉංග්‍රීසි භාෂාවෙන් ඇති වීඩියෝ, සිනමා සිත්තම්, ටීවී වැඩසටහන් නරඹන්න. යූටියුබ් හි ඇති ඉංග්‍රීසි විඩියෝ නරඹන්න. ඉංග්‍රීසි චිත්‍රපට ඩීවීඩී ලෙස ලබාගත හැකියි.

සටහන් කරන්න, කතාකරන්න

ඔබ දන්නා විදිහට ඩයරියේ ඉංග්‍රීසියෙන් ලියන්න. දන්නා විදිහට කා සමඟ හෝ ඉංග්‍රීසියෙන් කතා කරන්න. මෙය දිනපතා පුරුද්දක් ලෙස කරගෙන යන්න.

ව්‍යාකරණවල නිවැරැදිබව අමතක කරන්න

සමහර අය ව්‍යාකරණවල නිවැරැදිබව ගැන සිතමන් ළතැවේ. ව්‍යාකරණවල නිවැරැදිබව වැදගත් වන්නේ ලිවීමේ දී ය. කතා කිරීමේ දී ව්‍යාකරණවල නිවරද්‍යතාව 100% ක් ම වැදගත් නැත. ඒ නිසා ඔබ දන්නා හැටියට කතා කරමින් පුරුදු පුහුණු වන්න.

ක්‍රීඩා

ඉංග්‍රීසි බස ඉගෙනීමේ දී වර්ඩ් ගේම් නමින් හඳුන්වන වචන ක්‍රීඩාවන් භාවිත කළ හැකියි. මේවා ප්‍රහේලිකා ලෙසින් ද ඇත.

මෙහි සඳහන් කර ඇත්තේ ඔබට පහසුවෙන් භාවිත කළ හැකි ක්‍රමයන් වේ. මෙම ක්‍රම අත්හදා බලමින් ඔබත් ඉංග්‍රීසි භාෂා බාධකය ජයගන්න. එය ජීවිතයේ නව පිටුවක් පෙරළනු නිසැකය.