මුල් පිටුව

ආදරණීය ප්‍රාර්ථනා තුළින් සිනමාවට එක්වන රාහුල් සහ නෙත්මි
දෙසැම්බර් 2, 2020

 

මෙවර තරුණී කවරය සැරසනුයේ 2021 වසරේ තිරගත වීමට නියමිත 'ආදරණීය ප්‍රාර්ථනා' සිනමා සිත්තමේ ප්‍රධාන රංගන ශිල්පීන් දෙපළකවන රාහුල් වරාවිටගේ සහ නෙත්මි රොෂෙල්ගේ රුවෙනි.

 

රාහුල් වරාවිටගේ කලාවට පිවිසෙන්නේ ඕස්ට්‍රේලියාවේ වැඩිදුර අධ්‍යාපන කටයුතුවලට යොමු වී සිටිය දීය. ගීත රූප රචනා තුළින් ක්ෂේත්‍රයට පිවිසි ඔහු නිල් නෙලුමේ, උණුහුම 2, නිහඬවූයේ, කලාතුරකින්, රාධාවනී, ශාරධා, සංසාරිනී සහ මනමාලී 2 වැනි ගීත කිහිපයකම රූප රචනවලට රංගනයෙන් දායක විය. එමෙන්ම ඔහු රංගනයෙන් දායක වූ භාතිය සහ සන්තුෂ්ගේ, ඇයි කළේ ආදරේ ගීතය මේ වනවිට අසන්නන් අතර අතිශය ජනපි‍්‍රයය. ඔහු ප්‍රේක්ෂක ආදරය වගේම වැඩි ජනප්‍රියත්වයක් ලබා ගත්තේ යසස් මැදගෙදරගේ සංසාරිනී, සුපුන් පෙරේරාගේ රාධාවනී සහ ළහිරු ලියනගේ ගේ ශාරාධා ගීත ත්‍රිත්ත්වයෙනි. කොළඹ ජාවත්ත පදිංචි රාහුල් කොළඹ රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි. ආදරණීය ප්‍රාර්ථනා ඔහු රංගනයෙන් දායක වන ප්‍රථම සිනමා නිර්මාණයයි.

රාහුල් සමඟ තරුණී කවරය සරසන හැඩකාරිය නෙත්මි රොෂෙල්. 2019 වසරේ ජාතික රූපවාහිනී අවුරුදු කුමරිය ලෙසින් කිරුළු පැළඳි රොශෙල් රංගන ක්ෂේත්‍රයට පිවිසීමට වාසනාව ලබා ගත්තාය. ඒ හරහා සිරස නාලිකාවේ විකාශය වූ සක්කාරං ටෙලි නාට්‍යයට දායක වීමට ඇයට අවස්ථාව හිමිවිය. මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ ආක්ශාගේ චරිතයට මෙන්ම රාවණා 2 ටෙලි නාට්‍යටත් ඇය රංගනයෙන් දායක වෙයි. ආදරණීය ප්‍රාර්ථනා ඇය දායකවන පළමු සිනමා නිර්මාණයයි.

බෝමිරිය ජාතික පාසලේ ආදි ශිෂ්‍යාවක වන ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ උපාධිය හදාරන දෙවැනි වසරේ සිසුවියකි. අධ්‍යපාන කටයුතුවලට මුල්තැන දෙමින් ඉදිරියේදීත් කලා නිර්මාණවලට දායක වීමට රොෂෙල් බලාපොරොත්තුවෙන් සිටියි.

සතුට, ආදරය, කරුණාව කැටිවූ ප්‍රේමණීය සංගීතමය සිනමා සිත්තමක් වන 'ආදරණීය ප්‍රාර්ථනා' 2021 දී තිරගතවීමට නියමිතයි. අවුරුදු 12කට වඩා ථභඵඪජ මඪඤඥධ ක්ෂේත්‍රයේ සුපතල අත්දැකීමක් ඇති වාසව බදුගේ ඔහුගේ කලක් පුරාවට සිතෙහි වූ රිදී තිරයට පා තැබීමේ බලාපොරොත්තුව පාදක කොටගෙන මේ සිනමා සිත්තමට අධ්‍යක්ෂණයෙන් දායක විය.

යසස් මැදගෙදර සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩවන මේ නිර්මාණයෙහි ප්‍රධාන චරිත සඳහා පණපොවන්නේ රාහුල් වරාවිටගේ සහ නෙත්මි රොෂෙල් සමඟ ශනුද්‍රි ප්‍රියසාද් විසිනි. සිංහල සිනමා ක්ෂෙත්‍රයේ නව මංපෙතක් විවෘත කරමින් ගීත නිර්මාණ 8කින් සමන්විත මෙම ගීතමය සිනමා සිතුවම භාතිය සහ සන්තුෂ්, සුපුන් පෙරේරා, යසස් මැදගෙදර, ශානිකා මදුමාලි යන ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ හඬින් වර්ණවත් වේ. ප්‍රවීණ ගී පද රචක ශෙහාන් ගලහිටියාවගේ විචිත්‍රවත් ගීත රචනයෙන් මේ නිර්මාණයට ඔහුගේ දායකත්වය ලබා දෙයි.