විසල් රුකක විහිදුණු සොබාදහමේ වර්ණාවලිය

අගෝස්තු 28, 2019

සොබාදහම මොනතරම් විස්මය ජනක දැයි කියන අනගි දසුනකි මේ. විසල් රුකක අතුපතර විහිදුණු වර්ණවත් කොළ අතර රැඳුණු වර්ණාවලිය හරිම අපූරුයි.

සොබාදහමට පෙම්බඳීන සොඳුරු හිතැත්තන්ගේ ගේදොර අලංකාර කරගන්න මෙය කදිම බිත්ති සැරසිල්ලකි. පෙපර් කුයිලිං කලාවේ හැඩතල භාවිතයෙන් ඔබටත් මෙවැනි දසුනක් නිර්මාණය කරගන්න පුළුවනි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

දසුනේ ඇති වරණවල ඒ4 කඩදාසි

කුයිලිං ටූල් එක

බයින්ඩර් ගම්

පේපර් ෂෙඩර් මැෂින් එක

සෘජු ෆෝම් බෝඩ් කොටසක්

කතුර

සෙලෝපේන් ඉටි කොළයක්

අවශ්‍ය අනෙකුත් දේවල්

 

නිර්මාණය කිරීම

පළමුව මේ දසුනේ ඡායාපිටපතක් ගෙන රටාව වෙනත් කොළයක ඇඳගන්න. වර්ණවත් දසුන හොඳීන් නිරීක්ෂණය කර අදාළ වර්ණ හඳුනාගන්න. මෙහිදී ඔබට කැමැති වර්ණ තෝරාගැනීම ද කළ හැකියි. ඉන්පසු අඟල් 1/8 පළලට ඒ4 කඩදාසිවලින් පටි කපා ගන්න. එම පටි ටූල් එක වටා ඔතා ටයිට් කොයිල්, ලූස් කොයිල්, මාකිස්, ෂේප්ඩ් මාකිස්, අයි ෂේප්, ටියර් ඩ්‍රොප්, ත‍‍්‍රිකෝණ, සමචතුරස‍‍්‍ර ආදී අවශ්‍ය විය හැකි හැඩතල සාදාගන්න. ඒවා පසෙකින් තබන්න.

ඡායාපිටපත් කරගත් කළු සුදු දසුන ඔබට අවශ්‍ය ප‍‍්‍රමාණයකට විශාල කරගන්න. එම ප‍‍්‍රමාණයේම සෘජුෆෝම් කොටසක් මත ඡායාපිටපත් කරගත් කළු සුදු පිටපත තබන්න. ඒ මත සෙලෝපේන් ඉටි කොළය තබන්න. දැන් හොඳීන් ඩ්‍රෝවිං පින්ස් ගසාගන්න. වර්ණ දසුන ළඟට ගන්න. එම දසුන අනුව නිර්මාණයේ විවිධ කොටස් ගැළපෙන වර්ණවල හැඩතල තබා අලවමින් පුරවාගන්න. මෙහිදී හැඩතල එකිනෙක හොඳීන් ඇලවෙන ලෙස පින්සලට ගම් ගෙන හැඩතලවල ආලේපකර ගත යුතුයි. සම්පූර්ණ නිර්මාණයම අලවාගත් පසු එය මඳ පවනේ වියළීමට තබන්න. දැන් ඔබට නිර්මාණය ඉටි කොළයෙන් ඉවත් කරගත හැකියි. මෙය රාමුකර කදිම බිත්ති සැරසිල්ලක් නිර්මාණය කරගන්න පුළුවනි. මෙලෙස ඔබට කැමැති ඕනෑම දසුනකට ජීවය දෙන්න පුළුවන්. ඒ සඳහා ඔබේ නිර්මාණශීලීත්වය කැමැති ලෙසින් භාවිත කළ හැකි අතර මෙම දසුන විවිධ වර්ණ භාවිතකර ද නිර්මාණය කළ හැකියි.