ජීවිතය සුන්දරව විඳිය හැක්කේ ආදරණීය ගැහැනියකටම පමණි

දෙසැම්බර් 19, 2018

ගැහැනිය යනු මේ මිහිමත නිම වුණු අපූර්වතම නිමැවුමක් බව ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. සොබා දහමේ අපූර්වතම නිමැවුම් අතර ගැහැනිය ඉදිරියෙන්ම සිටී. ගැහැනියක ලෙස උපත ලබන ඇය සිය ජීවිත කාලය පුරා විවිධ භූමිකා නිරූපණය කරයි. විටෙක ඇය දියණියකි. තවත් විටෙක ඇය පෙම්වතියකි. ඊටත් පසුව බිරියකි. අම්මා කෙනෙකි. මිත්තණියකි. මේ ආකාරයෙන් ජීවිතයේ විවිධ කාල පරිච්ඡේද ගත කොට අවසන් හුස්ම පොද නිමවන තුරු ඈ වගකීම් කන්දරාවක් සමඟ බැඳී සිටී. එය අප දැක ඇති ගැහැනියකගේ ඉරණමය.

පෙම්වතියක වී කැදැල්ලක් තනන හැම ගැහැනියකගේම පැතුම සැපෙන් සුවෙන් පිරුණු ජීවිතයක් ගෙවීමය. දරු මල්ලන් සමඟ ගත කරන එවැනි ජීවිතයක් ගැන හැම බිරියක්ම සිහින මවයි. ප්‍රීතිමත්ව ගෙවන කුටුම්භයක් තුළ හදිසියේම සැමියා හෝ බිරිය එක්තැන් වුවහොත් කුමකින් කුමක් වේද? වෙසෙසින්ම යෞවන වියේදී . . .

එවන් අවස්ථාවලදී බොහෝ විට අපට අසන්නට දකින්නට ඇත්තේ එක්තැන් වූ සැමියා අතහැර අහක බලන බිරින්දෑවරුන්ය. බිරිය දෙස නොබලන සැමියන්ය. විශේෂයෙන් ජනප්‍රිය තලයේ වෘත්තීන් හි නියුක්තිකයන් අතර මෙම අත්හැරීම සුලබව දකින්නට ඇත.

එවන් අවධියක ජීවිතයේ හැල හැප්පීම් බාධක කොතෙකුත් පැමිණියත් . . . පැමිණෙන දුක් පැණි රසයි සිතමින් ඒ ආස්වාදයෙන් ජීවිතය දරා ගන්නා ආදරණීය චරිත ද නැතුවාම නොවේ. එවන් හමුවක් මේ සටහනට මට නිමිත්ත විය.

ඇය මෙරට ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පිනියකි. දහස් ගණනක් ගෝල බාලයන් දැයට දායාද කරන රූපලාවණ්‍ය ඇදුරුතුමියකි. දරු දෙදෙනකුට ආදරණීය මවකි. මේ සියල්ලටම වඩා ඇය ගැන මා සංවේදී වූයේ දස වසරක් පුරාවට තම රෝගාතුර සැමියා ආදරයෙන් රැක බලා ගනිමින් ඔහුට සුබවාදී ජීවිතයක් උරුම කළ ආදරණීය . . . පින්බර බිරියක් වූ නිසාමය. නම කියූ පමණින් රටක් හඳුනන ඇය කවුරුන්ද යන්න දැනගැනීම වෙනුවට ඇගේ කතාව ඔබ අපට . . . සමස්ත කාන්තා පරපුරටම ආදර්ශයක් වනු නොඅනුමානයි. අපි ඇයගේ කතාවට කන් දෙමු.

"මම වගේම ඔහුත් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. අපි දෙන්නා එකතු වෙලා රූපලාවණ්‍ය ඇකඩමියකුත් පවත්වාගෙන ගියේ. මගේ සැලෝන් එකත් ඇකඩමි එකත් මේ දෙකම තැනකට ගේන්න මමත් මගේ මහත්තයත් නොසෑහෙන්න දුක් වින්දා. එහෙම මහන්සි වෙලා වැඩ කරපු නිසා අපට අපේම කියලා නවීන පහසුකම් සහිත රූපලාවණ්‍යාගාරයකුත්, ලස්සන ගේකුත්, නගරාසන්නයෙන්ම ගොඩ නඟා ගන්න හැකි වුණා. ඒ වෙනකොට දුවත් එක්ක අපි ජීවිතයේ හැම දෙයක්ම බෙදා හදා ගනිමින් සතුටින් ගත කළා. ඒක හරිම සොඳුරු කාලයක්.

රුව ඇති දුවකු ලැබුණා මෙන්ම කට ඇති පුතකුගේ සෙනෙහස මේ දෙන්න දෙමහල්ලන්ගේත් එකම ප්‍රාර්ථනය විය. දියණියකගේ කිරි සිනාවෙන් පිරුණු කැදැල්ලට පුතකු එන දිනය මේ දෙදෙනා දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන මඟ බලා උන්නාය. දිනෙන් දින දරු ගැබ මෝරන්නට විය. දරු උපතට දින ළං විය. සැපෙන් සතුටින් ගලා ගිය ජීවිතයට කණ කොකා හඬන්නේ කිසිවකු නොසිතූ මොහොතකය.

"මගේ මහත්තයා හිතාගන්නවත් බැරි මොහොතක පැරලයිස් වුණා. ඒ වෙන කොට මම හිටියේ පුතා ලැබෙන්න ඔන්න මෙන්න. මොනවා කරන්නද කියලා මට හිතා ගන්නවත් බැරි වුණා."

එහෙත් ඇය අධෛර්යවත් වූයේ නැත. දරු ගැබත්, ශරීරය අප්‍රාණික වූ සැමියා ද අත නොහැර ඇය දෑතින්ම බදා ගත්තාය.

"පුතා ලැබෙන විට එයාගේ තාත්තා පැරලයිස් වෙලා. මම පුතාගේ වැඩත් එක්ක මහත්තයාගේ වැඩත් නොපිරිහෙලා ඉටු කළා. එයාගේ හැම දෙයක්ම මගේ අතින්ම කරමින් පුතා වගේම මහත්තයාවත් මම ඇස් දෙක වගේ බලා ගත්තා."

ගත අප්‍රාණික වූ අසනීප සැමියාත්, මොළකැටි පුතනුවනුත් ආදරයෙන් රැක බලා ගන්නට ඇය නොගත් දිරියක් නැත. ජීවත්වීමේ සටනට ද උර දෙමින් ඇය මේ සියල්ල ජයගත් අයුරු අරුමයක් බඳුය.

ඒ වන විට උරුමව තිබූ සියලු සේසත අහිමි වෙද්දී ඇය මොහොතකටවත් හඬා වැටුණේ නැත. නගරාසන්නයේ තිබූ රූපලාවණ්‍යගාරයත්, නිවහනත් අහිමි වීමේ දුකට වඩා ඇය අත් විඳිමින් සිටියේ ටිකින් ටික සුවපත් වන තම ආදරණීය සැමියාගේ හැසිරීම් රටාව ගැනය.

"මේ හැම දේකටම වඩා මම හිතුවේ මගේ මහත්තයාගේ ලෙඩේ සනීප කර ගන්නේ කෙහොමද කියලා. ගෙවල් දොරවල් යාන වාහන මේ භෞතික හැම දෙයක්ම උපය ගන්න පුළුවන්. මට වැදගත් වුණේ මගේ මහත්තයාගේ ජීවිතය රැක ගන්න එක. ඒ වෙනුවෙන් මම මගේ ජීවිතයම කැප කළේ හරිම සතුටින්."

ඇය වෘත්තීයෙන් රූපලාවණ්‍ය ශිල්පිනියක වුවත් පසුගිය දස වසර පුරාම ඇය කැප වුණේ වාරු අහිමි වූ සැමියා සිය දෙපයින් නැඟී සිටිනු දකින්නටය. අද වන විට එය සැබෑවක් වී ඇත. කඳුළු අතරින් ඇය අද සිනාසෙන්නේ දස හැවිරිදි පුතනුවන් හා විසි හැවිරිදි දියණියගේ පැතුම් ද සපල වනු දැකීමෙනි.

"මම ජීවිතයේ ගොඩක් දුක් වින්දා. හැබැයි මම කවදාවත් ඒ ගැන පසුතැවිලි වුණේ නැහැ. දරුවෝ දෙන්නා හොඳට ඉගෙන ගන්නවා. ලොකු දුව ඒ ලෙවල් විද්‍යා අංශයෙන් කළා. දුවගේ බලාපොරොත්තුව වෛද්‍යවරියක් වීමයි. පුතා හය වසරේ. මේ හැමදේටමත් වඩා සැමියා මගේ ළඟ ඉන්නවා. ජීවිතය දිහා ආපසු හැරිල බලන විට මට දැනෙන්නේ පුදුමකාර සතුටක්. හැමෝම එක්ක මම ගමනක් ආවා."

දස වසරක් පුරා විඳි වේදනා පසෙකලා ඈ අද ජීවිතය විඳින්නීය. රූපලාවණ්‍ය ශිල්පිනියක . . . ගුරුතුමියක ලෙස මේ ආ ගමන ගැන ඇයට ඇත්තේ ද තෘප්තිමත් හැඟීමකි.

"මට මතකයි මහත්තයා අසනීප වුණු මුල් කාලයේ එයාට බෙහෙත් ගේන්න යන විට වාහනයක් අවශ්‍ය වුණා. නමුත් එයාගේ අසනීප තත්ත්වය නිසා විවිධ අපහසුතාවන්ට අප මුහුණ දුන්නා. ඒ නිසා මම මුලින්ම කළේ පන්ති කරලා හම්බ වෙන සල්ලිවලින් ටික ටික එකතු කරලා වාහනයක් ගත්තු එක. මම එහෙම කළේ මගේ මහත්තයා කොයිම විදියකින්වත් කා ඉදිරියේවත් අපහසුතාවට පත් වෙන එක වළක්වා ගන්නයි. එයාගේ සතුට ගැන මම හැම වෙලාවෙම හිතුවා. ඊට පස්සේ ගෙවීමේ ක්‍රමයට ඉඩමක් ගත්තා. දැන් මගේ එකම හීනය තව අවුරුදු දෙකක් ඇතුළත ගෙයක් හදාගන්න එකයි."

සියලු දේ අහිමි වූයේ තමා නිසා යැයි ඔහුට නොහැඟෙන්නට මේ හැම දේම ඇය කරන්නේ සැමියාගේ සතුට පතාය.

"මම රූපලාවණ්‍ය ශිල්පිනියක් වීම ගැන ඇත්තටම සතුටු වෙනවා. මම කාර්යාල රැකියාවක් කළා නම් මේ කරදර එක්ක ජීවිතය ජය ගන්න අමාරු වෙන්න තිබුණා. ඇත්තටම මේ වෘත්තීය හැබෑම වටිනාකමක් තියෙන ගෞරවනීය වෘත්තීයක්. එහෙත් අවාසනාවකට අපේම අය ඒ ගරුත්වය විනාශ කර ගන්නවා. ජීවත් වන්නට මුදල් අවශ්‍යයි. ඒත් මුදල් ගැනම හිතලා තමන්ගේ වටිනාකම් අහිමි කර ගන්නවා නම් ඒක ලොකු මෝඩකමක්."

කෙතරම් බාධක කම්කටොලු පැමිණියත් . . . ආර්ථික ප්‍රශ්න එක පිට එක ගොඩ ගැහුණත් ඇය කිසි විටෙක ඇගේ චරිතවත් බවට කැලලක් ඇතිකර නොගැනීම විශේෂයකි. ආර්ථික ප්‍රශ්න හමුවේ ඇය කවදාවත් කෙටි ක්‍රම හෙව්වේ නැත.

ජනප්‍රිය තලයේ රැකියාවන්හී නියුතු වූ බොහෝ කාන්තාවන් තම වෘත්තීය ජීවිතයේ බොහෝ දුර ගමනක් යෑමේ අරමුණින් තම පවුල් ජීවිතය පවා උගසට තබන අවස්ථා අප දැක ඇත. කෙටි කලක් තුළ සැපවත් සුවපහසු ජීවිතයක් උදා කර ගනු වස් ජීවිතයේ සියලු වටිනාකම් විනාශ කර ගනී. එහෙත් ජීවිතයේ සියල්ල අහිමි කර ගනිමින් ඒ ලබන ආර්ථික වාසිය නැතහොත් සැප සම්පතින් පලක් වේද? මුදල් මතම දුවන එවැනි ජීවිත ආපසු හැරී බලන විට ලැබුණු දේට වඩා ඇත්තේ අහිමි වුණු දේ නොවේද?

මේ කතා නායිකාව සැබවින්ම කාන්තා පරපුරට ආඩම්බරයක් නොවේද? කරදර ප්‍රශ්න එන විට දෙන්න දෙමහල්ලන්ගේ ආදරය පෑල දොරින් පිටව යන සමයක සියලු සන්තකය බින්දුවට වැටී සිටිද්දී ආදරයත් ජීවිතයත් බොහොම පරිස්සමට රැකගෙන ආ ඇය අද සිත් සේ ජීවිතය විඳීන්නීය. අගහිඟකම් හමුවේ සැලෙනවා වෙනුවට ඇය ශක්තිමත් වූයේ තම වෘත්තීයට ඕනෑවටත් වඩා කැපවෙමිනි. ඇගේ අප්‍රතිහත ධෛර්යය, කැපවීම, ඉවසීම අවසානයේ මේ පවුලට ජයග්‍රහණය සමඟ සතුට කැන්දාගෙන ආවේ ඉවසීමෙන් සැනසීම ලැබෙන බව මොනවට කියාපාමිනි. සැබවින්ම මේ උදාර මාතාව සමස්ත කාන්තා පරපුරටම ආදර්ශයක් නොවේද?