ඔබේම දරුවන්ට ඇයි මේ වෙනස්කම්....

ජනවාරි 23, 2019

“පුංචි දරුවෝ මල් වගෙයි....”

එහෙම නැත්නම් මල්වලට සමාන කරලා තියෙන්නේ ඇයි?

මල් කියන්නේ ඇසට පි‍්‍රය උපදවන..... දකින්න දකින්න ආස හිතෙන ලස්සනම ලස්සන... නෙත සනසන පි‍්‍රය දසුනක්. එහි සුන්දරත්වය නෙතට දැනෙනවා තරමටම සිතට ද ගෙන එන්නේ ප්‍රබෝධයක්. සැනසීමක්. මල් කියන්නේ සොබා දහම් මාතාවගේ අයස්කාන්ත නිපැයුමක්. දරුවෝ කියන්නෙත් එහෙම සම්පතකට. මොනතරම් ප්‍රශ්න... ගැටලු... කරදර තිබුණත් දරුවෝ දැක්කම ඒ ප්‍රශ්න අපට අමතක කරලා හිනාවෙලා වෙලා සතුටු වෙන්න පුළුවන්. හිතට සැනසීමක් දැනෙනවා. හරියට මල් දැක්කම හිතට දැනෙන සතුට වගේ නෙමෙයි ද? මල හා මල් පෙත්තේ ඇති සුසිනිඳු බව කියාපාන්නේ දරුවා හා මල අතර ඇති මනා සුසංයෝගයයි. මල් පෙත්තේ තිබෙන සුසිනිඳු බව නිසාම කවුරුන් හෝ තදින් ඇල්ලූ විට මල් පෙත්තේ පෙති පොඩි වී ගිලිහී යන අයුරු ඔබ දැකලා ඇති. එවිට පෙර තිබූ සුවඳ විහිද වූ ලස්සන මල මොහාතකින් පර වී විනාශ වී යනවා.

ඒවගේ තමයි දරුවෝ. දරුවන්ගේ පුංචි හිත අපට සුසිනිඳු මල් පෙත්තට සමාන කරන්න පුළුවන්. තදින් ඇල්ලූ විට මල්පෙත්ත පොඩිවී සුණු විසුණු වෙනවා වගේම දරුවන්ටත් ආදරයෙන්.... කරුණාවෙන්... ළෙන්ගතුකමින්... සමීප නොවුණහොත් දරුවන්ගේ ලෝකය විනාශ වී යන්නේ අපට නැවත සකස් කරන්නට හිතන්නටවත් බැරි විදියටය.

මට මෙසේ කියන්නට සිත් වූයේ පසුගිය දිනක මා දුටු සිද්ධියක් නිසා මා සිත කැළැඹී ගිය නිසාවෙනි.

පසුගිය දිනෙක මා ගමන් ගත් බස් රියෙහි ඉදිරිපස අසුනෙහි හය හතර නොතේරෙන පුංචි පැටික්කියක් නිදි කිරයි. ජනේලය පැත්තට වන්නට ජැංඩියට හැඳි ගජ ඉලන්දාරියෙකි. දැරිය වරෙක ගැස්සී වැටෙන්නට ද යයි. එහෙත් අනෙක් පස වාඩි වී සිටි ඉලන්දාරියාට වගේ වගක් නැත. පුංචි දියණිය හිඳගෙන සිටි අසුනට ඉදිරි අසුනේ ‘අම්මා’ යැයි සිතිය හැකි අයකු වරින්වර දියණිය දෙස හැරී විමසිල්ලෙන් බැලුවත් ඊට මෙහා අසුන්ගෙන සිටි තරුණිය ද කනේ වයර් ගසාගෙන සිටියේ පිටසක්වලින් පැමිණි ගානටය.

පුංචි දියණිය ගැන මට ඇති වූයේ දැඩි කනස්සල්ලකි. පුංචි දරුවකු තනිවම වාඩි කරවනවා වෙනුවට තම ඥාතියා සමීපයෙහි තබන්නට ඇත්නම් එය කොතෙක් ආරක්ෂිත ද? එහෙත් වැඩිහිටි.... ඉලන්දාරි.... තරුණ දූ පුතුන්ට එසේ නොසිතෙන්නේ මන්ද?

අනෙකා ගැන යම් තරමකවත් සංවේදී නොවන්නට තරම් අපේ රටේ මිනිසුන් තුළ සිදුවී ඇති මේ විපර්යාසය කුමක් ද?

මෙසේ සිතිවිලි ගොන්නක සිරවී සිටි මා තිගැස්සුණේ මා අසල හිඳගෙන සිටි සහෝදරියක බහින්නට සැරසෙන බව දැනුණු නිසාවෙනි. ඇය මා සිටි අසුනෙන් නැඟිට ගිය වහාම මගේ දෙනෙත් නතර වූයේ පුංචි දියණිය වෙතය.

“දුව.... ඔයා අම්මත් එක්ක මේ සීට් එකට එන්න..”

පුංචි පැංචිට මා කිවූ සැණින්ම ඇය නැඟිට වහා මාගේ අසුනට දිව ආවාය. තරමක් වියපත් ගති ලක්ෂණ පෑ සාරියකින් සැරසුණු අම්මා, දියණිය ළඟට ආවේ නොරිස්සුම් බව දනවන ඉරියව් කියාපාමිනි. එතෙක් මා සිතූ සිතිවිලිවල වරදක් ඇති බව මට පසක් වූයේ පුංචි පුතකු සමඟ තරුණ මවක් ඉදිරිපස අසුනෙහි සිටි බැවිනි.

(මා කලින් මව යැයි සිතුවේ දැරියගේ ආච්චි අම්මාටය.) හතර දෙනාම එකිනෙකට ළඟ ළඟම වැඩිගෙන සිටින්නට ලැබීම ගැන මට සතුටක් ඇතිවිය. එහෙත් ඒ අතරේ නෙත ගැටුණු සමහර සිදුවීම් නිසා මට දියණිය ගැන ඇතිවූයේ මහත් වේදනාවකි.

ඒ දියණිය සිටියේ අම්මා, මල්ලී සහ අත්තම්මා සමඟිනි. මල්ලී සිටියේ අම්මාගේ ඇකයෙහිය. අම්මාත්, අත්තම්මාත් පුතණුවන් නැතිනම් දියණියගේ මල්ලී සමඟ ආදරයෙන් හුරතලයෙන් හැසිරෙනු දුටුව ද දියණිය ගැන එතරම් තැකීමක් දෙදෙනා තුළම දක්නට නොවීය. අම්මාත්, අත්තම්මාත්, පුතණුවන් ගැන හරි උනන්දුය. හිස අතගා යයි. හුරතල් කරයි. සිනහ ගස්වයි. පිපාසය, බඩගින්න ගැන නිතර විමසයි.

එහෙත් පුංචි දියණියට මේ කිසිදු සැලකිල්ලක් දක්නට නොවිණි. ඇය දුකෙන් මෙන් කවුළුවෙන් ඈත බලමින් සිටී. ඉඳහිට මල්ලී දෙස බැලුවත් අම්මාගෙන් හෝ අත්තම්මාගෙන් දියණියට යහපත් ප්‍රතිචාරයක් තිබුණේ නැත. මා බසයෙන් බහින තුරුම දුටුවේ දියණිය කණස්සල්ලෙන්.... මුහුණ හකුළාගෙන කෑ මොර නොදුන්නත් වේදනාවෙන් හිඳින අයුරුය.

මාගේ දැනීමේ තරමට දියණිය වයස අවු. 5ක් හෝ 6ක් මිස ඊට වැඩි නැත. පුතණුවන් අවු. 31/2 ක් 4ක් විය හැකි වයස් මට්ටම්වල පසුවීය. මේ ළමා ළපටින් දෙදෙනාම මාපියන්ගේ වැඩිහිටියන්ගේ ආදරය සෙනෙහස ඇල්ම බැල්ම.... රැකවරණය උපරිමයෙන් බලාපොරොත්තු වනවා සේම උපරිමයෙන් ලබා දිය යුතුම වයස් කාණ්ඩයන්වල පසුවූවන් ය. එය ලිංග භේදයකින් තොරවම ලබාදිය යුතුය. ආදි කාලයේ මෙන් තවමත් ඇතැම් පවුල්වල පුතකු ලැබූ විට දියණියක ලැබුවාට වඩා පී‍්‍රතිවීම දක්නට ලැබේ. ඒ පරම්පරාව ගෙන යන්නට පිරිමි පුතකු වුවමනා යැයි මාපියන්ගේ අදහස නිසාය. සමහර විට මේ පවුලේ පරම්පරාව ගෙන යන්නට සිටින එකම පුතා ඔහු විය හැකියි. එනිසාම මේ වැඩි සෙනෙහස ඊට හේතුවක් ද විය හැකිය. ඇතැම් විට මේ අම්මා හෝ අත්තම්ම, සිතා මතා නොකරන දෙයක් වන්නට ද පුළුවන.

එහෙත් දැනුවත්ව හෝ නොදැනුවත්ව වැඩිහිටියන්.... මවුපියන්... ගුරුවරුන් අතින් සිදුවන මෙවැනි ප්‍රතික්ෂේප කිරීම්වලින් දරුවන්ට සිදුවන මානසික ව්‍යාධිය සුළුපටු එකක් නොවේ. එය අප මැනැවින් අවබෝධ කරගත යුතුය. දුවක වුවත් පුතකු වුවත් ඒ අපේ දරුවන්ය. අප ලෙයින් මෙලොවට ජනිත කළ පැටවුන් ය. එකම ලෙයින් එකම කුසින් උපන් පුතාට අසීමිත සෙනෙහසකුත් දියණියට අඩු සැලකිලි දැක්වීමක් නොකළ යුත්තකි. පුතණුවන් සේම දියණිය ද මවුපියන්ගේ සෙනෙහස උපරිමයෙන් බලාපොරොත්තු වෙයි. මවුපිය සෙනෙහස දෙදෙනාට දෙවිදියකට නොදැනෙනු ඇත. එනිසා පුතාට වැඩි සෙනෙහසකුත්, වැඩි වරප්‍රසාදත් දියණියට අඩු සෙනෙහසක් සමඟ අඩු වරප්‍රසාදත් ලබාදෙන මෙම පිළිවෙත මාපිය.... වැඩිහිටි ඥාතීන්ගේ මනසින් වහාම ඉවත් කර දැමිය යුතු කාලය දැන් එළැඹ ඇත.

කාගේ වුවත් දරුවෝ දරුවෝමය. ඔවුන් දෙස දයාවෙන්, කරුණාවෙන් බලන්නටත් රැකවරණය, ආරක්ෂාව සැලසීම වැඩිහිටි අප හැමගේම යුතුකමක්. එහෙත් වර්තමානයේ වැඩිහිටි බොහෝමයක් දරුවෝ ගැන දරුවන් ලෙස සිතීමට අමතකව ගොස් ඇති බව සමාජයේ සිදුවන සිදුවීම් දෙස බැලීමේ දී සිතිය හැකියි. සමහර පියවරුන්ට තමන්ගේම ලෙයින් උපන් දියණිය අමතකව ගොස් ඇත. අනියම් සබඳතා හමුවේ මවුපිය දෙදෙනාටම දරුමල්ලන් අමතකව ගොස් ඇත. තමන්ගේ සතුටට දරුවෝ කරදරයක් වේයැයි සිතා මරා දමන්නට තරම් ඔවුහු සාහසික වෙති.

බස්රථයකට ගොඩ වුවද ළමයකුට ආසනයක් ලබාදෙන්නට තරම් කාරුණික හදවත් ඇත්තෝ ඇත්තේ කීයෙන් කී දෙනා ද? පුංචි දරුවන්ට නොසලකා අතවර කරන මෙවැනි වැඩිහිටි සමාජයකින් ඵලක් තිබේ ද?

සමාජය එසේ වල්මත් වෙද්දී නිවෙස ඇතුළේදී ද දරුවන්ට සිදුවන කායික , මානසික වදය ඉවරයක් නැත. අම්මා දියණියට බත්පත බෙදා පිඟාන දෙන අතර පුතණුවන්ට බත් ටික අනා ආදරයෙන් කවයි. පුතණුවන්ගේ රෙදි ටික සෝදා දෙන අතර යමක් කමක් තේරෙන විට දියණියට රෙදි සෝදා ගන්නට බාර කරයි. නිවෙසේ දී මවගෙන් පුතණුවන්ට ලැබෙන මේ අසීමිත සෙනෙහස නිසාවෙන් සමහර පුතණුවන් ජීවිතයේ කිසිම දිනෙක තමන්ගේ ඇඳුමක් සෝදාගෙන නොමැත. සැමියකු, පියකු වුවත් ගේදොර වැඩට හවුල් වීම ඔහු දකින්නේ බාල්දු වීමක් හෝ නියම පිරිමියකුට එය නුසුදුසු, නොසෑහෙන දෙයක් විදියටය. පිරිමිකමට නිගාවක් හැටියටය. මේ තත්ත්වය ඇති කළේ කවුරුන් ද? ඔබ ඔබේ හෘද සාක්ෂියෙන් විමසා බැලුවොත් වරද ඔබට වැටහේවි.

2019/01/23 තරුණි බලන්න.