දරුවන්ගේ සුරක්ෂිතභාවයේ මුල් අදියර නිවෙසින් පටන් ගනිමු ද ?

පෙබරවාරි 27, 2019

වෙන කවරදාකටවත් වඩා මේ දිනවල දරුවන් පිළිබඳ කතාබහ කෙරෙනවා. දරුවන් සුරැකීම සඳහා ජාතික අරමුදලක් ඇතිකිරීමට රටේ රාජ්‍ය නායකයාගේ අවධානය යොමුවීම පළමුකොටම ප්‍රශංසා කළයුතුයි.

දරුවන්ට එල්ල වන හිංසන, දරුවන්ට අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති පීඩාකාරී තත්ත්වයන් වගේම ළමා නිවාසවල සිටින දරුවන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳ ජනාධිපතිවරයාගේ තිබෙන මේ සොයාබැලීම මවුවරු, පියවරු පමණක් නොව සමස්ත ප්‍රජාවගේම පැසසුමට ලක්විය යුතුයි.

මවුපියන් දරුවන් ඇකයේ සඟවාගෙන හදා වඩා ගත්තත් සමාජයට ගිය කල අපට අසන්නට, දකින්නට ලැබෙන්නේ ඉතා භයංකර තත්ත්වයකි. දරුවන්ගේ ජීවිත බිලිගන්නට බලා සිටින නෙත් බොහෝය. අධ්‍යාපන වෙළෙන්දන්, ටියුෂන් කඩකාරයන්, මත්ද්‍රව්‍ය වෙළෙන්දන්, පරපීඩාකාමීන් මේ ආදී ලෙස විවිධ වේෂ ගෙන සිටින මාර සේනාවන්ගෙන් අද සමාජය පිරී ගොසිනි.

අයිස් පැකට් එකට, ටොෆියට, චොක්ලට් පෙත්තට මත්කුඩු දමා මල් කැකුළු පිපෙන්නටත් පෙර දවා හළුකර දමන මුදලට සියලු යහගුණ පාවා දෙන පුද්ගලයන් නිසා සමාජය සිතා ගන්නවත් බැරි තරමට පිරිහී ගොසිනි. මත්ද්‍රව්‍ය මේ රටින් තුරන් කරන්නට වත්මන් නායකතුමා ගෙන ඇති පියවර පිළිබඳ නැවත නැවතත් හෘදයාංගවම සතුටු විය යුතු වන්නේ මෙවැනි තීන්දුවක් උතුම් පියකුට හැර වෙන කෙනකුට ගත නොහැකි බැවිනි.

රට පුරා ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය ජාලය සුණු විසුණු කරන්නටත් සෑම දරුවකුටම 1 වසරේ සිට 13 වසර දක්වා අධ්‍යාපනය ලැබීමේ අයිතිය ලබාදීමටත්, ඉසිලිය නොහැකි මහබරක් දරා සිටින 5 වසරේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්නටත්, 2020 දී ළමා හිංසනයට, දඬුවමට තිත තබන්නටත්, දරුවන්ට යහපත් හෙට දවසක් උදාකර දෙන්නටත් රාජ්‍ය නායකයන් උත්සුක වූ මොහොතක අපේ මවුපියන්ටත් දරුවන්ගේ පෝෂණය සෞඛ්‍යය හා ගුණ යහපත්කම් ගොඩනැංවීමෙහිලා විශාල කාර්යභාරයක් ඉටුකරන්නට තිබේ. මහ මන්දිර , මංමාවත් ආදියෙන් අප රට සංවර්ධනය වුවත් රටේ ජීවත් වන ජනතාව නිරන්තරයෙන් රෝග පීඩාදියෙන් පෙළෙනවා නම්, රටේ වැඩිම වියඳම ජනතාවගේ සෞඛ්‍යය උදෙසා වැය වනවා නම් ඒ රටේ දියුණුවක් ගැන කතාකරන්නට බැරිය.

සැම කාන්තාවන් පස් දෙනකුගෙන් එක් අයකුටම පියයුරු පිළිකා අවදානමක් ඇති බවට වෛද්‍යවරු මත පළ කරති. සෑම 20 දෙනකුගෙන් පස් දෙනකුම දියවැඩියා රෝගයට ප්‍රතිකාර ගන්නා බව තවත් ප්‍රකට මතයකි.

සිය දෙනකු ගතහොත් විසි දෙනකු මිය යන්නේ හදවත් රෝගයෙනි. වයස් භේදයකින් තොරව අප රටේ බහුතරයක් මරණ සිදුවන්නේ බෝ නොවන රෝගවලිනි. අද වනවිට වසංගතයක් ලෙස ව්‍යාප්තව ඇත්තේ බෝවන රෝගවලට වඩා බෝ නොවන රෝගයි.

බෝවන වසංගත රෝග පාලනය වෙද්දී බෝ නොවන රෝග වැලඳීමේ ප්‍රවණතාවය ඉහළ ගොසිනි. අප දන්නා මෑතක් වන තුරුම හදවත් රෝග සඳහා වෛද්‍ය ප්‍රතිකාර ගන්නට පෙළඹුණේ සේවයෙන් විශ්‍රාම ගත් පිරිස් ය. එනම් 50,60 විය ඉක්මවූවන්ය. හෘද රෝගවලින් ඉඳහිට මිය ගියේ 60, 70 පසුවූ කාලයක් දියවැඩියාව, වකුගඩු ආදියට ප්‍රතිකාර ගත් රෝගීන් ය.

එහෙත් දැන් දැන් ඒ තත්ත්වය වෙනස් වී ඇත. වයස අවුරුදු 19-30 අතර දරුවන්ගෙන් හෘදයාබාධයෙන් ජීවිත හැර යන පිරිස එන්න එන්නම වැඩි වෙමින් පවතී. මෙය ඉතාම අභාග්‍යසම්පන්න තත්ත්වයකි. මීට වගකිව යුත්තේ කවුරුන් ද? මෙහිදී ඍජුවම මවට ඇඟිල්ල දිගු කළ හැකිය. මක් නිසාද? දරුවන්ගේ සෞඛ්‍යය, පෝෂණයෙහි වගකීම ඇත්තේ මවට බව මාගේ අදහසයි. එනිසාම අප තරුණී පුවත්පත ඔස්සේ ඔබව නිරතුරුවම දැනුවත් කරන්නේ, නිසි පෝෂණීය ආහාර වට්ටෝරු පළකරන්නේ මෙලෙස බෝ නොවන රෝගවලින් අපේ අනාගත දරු පරපුර සුරක්ෂිත කරගැනීම උදෙසායි.

බහතෝරන අවධියේ පටන් දරුවන්ට පෝෂණයෙන් පිරුණු කෑම වේලක් ලබාදීමේ වගකීම ඇත්තේ මවට ය. සමබල ආහාර වේලක වැදගත්කම අවබෝධ කරදිය යුත්තේ මව මිස මෙහෙකාරිය නොවේ.

මවගේ පහසුව තකා එළවළුවකට, දෙකකට පමණක් කට හුරුකොට තිබුණහොත් වැඩිවියට පත්වන දරුවෝ ඒ එක, දෙක රිසිසේ භුක්ති විඳිනවා මිස අනෙකුත් කෑමවල රස නොහඳුනන බැවින් ඒවා ප්‍රතික්ෂේප කරති. එවිට දරුවෝ රස හඳුනන්නේ නැත. ගුණ හඳුනන්නේ ද නැත. පුංචි සන්ධියේ පටන්ම දරුවන්ට කෑම කවන විට මව උපක්‍රමශීලී විය යුතුය. මව එලෙස ගුණ අගුණ කියමින් විවිධ එළවළු, පලතුරු, පලා වර්ග, කැඳ වර්ග කවන්නට, පොවන්නට හුරු කළ විට දරුවෝද උස්මහත් වී දිනෙක මවක් වූ විට ඒ පුරුද්ද දිගින් දිගටම කරගෙන යනු ඇත.

නියපොතු ඝනවන්නට, මොනර පිළක්වන් කෙස් කලඹක් ලබන්නට, දිදුළන ශක්තිමත් දත් පෙළකට, පැහැපත් රන්වන් සමකට හිමිකම් කියන්නට නම් කැල්සියම්, යකඩ, විටමින් ඊ බහුල එළවළු, පලතුරු, මස්, මාංශ, පලා ආහාරයට යහමින් එක්කර ගත යුතුය.

කැල්සියම්, අයඩීන් හිඟවීම හෙවත් තයිරොක්සීන් ඌනතාවයට කටු සහිත පුංචි මාළු ගුණ බව දැන සිටියේ නම් හතර වටින්ම මුහුදින් වට වූ අපේ රටේ මේ තරම් ගලගණ්ඩය රෝගීන් සිටින්නට හැකි ද? රාබු, ගෝවා, නෝකෝල් වැනි එළවළු ගලගණ්ඩය රෝගීන්ට හොඳ නැතිබව දන්නේ කීයෙන් කී දෙනා ද? සෙම අධිකව තිබෙන විට පැපොල්, නිවිති, වට්ටක්කා, බණ්ඩක්කා වැනි ශීත කෑම තුන් වේලටම භුක්ති විඳින පිරිස අප සමාජයේ බහුලය. එහෙත් මෙවැනි කෑම බීම සෙම් බහුල රෝගීන්ට අපත්‍යය නොවේ ද? මෙලෙස ගුණ අගුණ පිළිබඳ නොදන්නාකම නිසාවෙන් අප කන බොන බොහෝ දෑ අපගේ ශරීරයේ නිරෝගී බව වඩවාලනු වෙනුවට සිද්ධ වෙන්නේ රෝගීවීමය.

එබැවින් පුංචි සන්ධියේ සිටම ආහාරවල පෝෂණගුණය පිළිබඳ දරුවන්ට යම් වැටහීමක් තිබුණු විට ඔවුන් වැඩිහිටියන් වූ කල සෞඛ්‍යමත් ජීවිතයකට හිමිකම් කියනු ඇත.

දරුවන්ගේ නිරෝගීකම ගැන හිතන විට අප කිසිවකුට දොස් තැබීමෙන් ඵලක් නැත. සමහර වසංගත රෝග පැතිරෙන්නේ කාගේ වරදින් ද? සමහර වසංගත පිළිබඳ හිතන විට විශේෂයෙන් ඩෙංගු උවදුර ගැන හිතන විට එහි ව්‍යාප්තිය සිදුවන්නේ මිනිසුන් වන අපගේම වැරැදි පුරුදු නිසා නොවේද? ටොෆියක් කෑ විට ඉටි කොළය ඉබේටම වාගේ දමන්නේ මහ පාරටය. නැතිනම් කාණුවටය.

යෝගට් කෝප්පය විසි වන්නේ ද කසළ ගොඩටය. එය අතින් තළා සුණු විසුණු කොට දමන්නේ නම් තරමක් දුරට හෝ හිත හදා ගත හැකියි. එහෙත් එය එසේ වන්නේ නැත. විසි කළ යෝගට් කෝප්පයට, බීම පැකට්ටුවට එකතු වන වතුර සමඟ ව්‍යාප්ත වන්නේ මාරාන්තික ඩෙංගු රෝගයයි. මේ හේතුවෙන් මේවන විට ජීවිත කොපමණ නම් අහිමි වී ගියේ ද? මේ පුරුදු මේ විදියටම සිදුවේ නම්, පරිසරයට අප තවදුරටත් ආදරය නොකරන්නේ නම් මෙවැනි උවදුරු නිමා වේ යැයි සිතීම සිහිනයකි.

අප හොඳ පුරුදු ඇති කරගත යුත්තේ නරක පුංචි දේවල් නොකර සිටීමෙනි. කෑමෙන් පසු දත් මැදීම, නිතර දෙඅත් පිරිසුදු කරගැනීම, ඇඟපත සෝදා ගැනීම යනාදී පුංචි, පුංචි හොඳ පුරුදු පුංචි කාලයේ පටන්ම පුරුදු පුහුණු කිරීමෙන් වැඩිහිටියන් වූ කල ජීවිතය නිරෝගීව පවත්වා ගනිමින් සමබර කරගැනීමට හේතු වේ. රෝගී වූ විට බෙහෙත් ගන්නවාට වඩා එයින් වැළකෙන්නට ක්‍රියා මාර්ග ගැනීම බොහෝ වටී.

නිවැරැදි පිළිවෙළට ජීවිතය හුරු කරවන්නට නිවැරැදි සෞඛ්‍යය පුරුදු අතිශයින්ම වැදගත් වේ. දරුවන්ගේ සුරක්ෂිතතාවය ගැන හිතන විට පෝෂණයෙන් පිරුණු ආහාර වේලක වැදගත්කම ද නොදෙවැනි කාරණයකි. රටක් ලෙස අපගේ අනාගත පරපුර රැකගන්නට විවිධ ක්‍රමෝපායයන් සකස් කරන මෙවන් මොහොතක දරුවන්ගේ නිරෝගීකම වෙනුවෙන් මවුපියන්ගේ යුතුකම, මෙහෙවර 100%ක්ම ඉටුකරන්නට අමතක නොකළ යුතුය.

රටක පාලකයාට වුව රටක් එකවර ගොඩනැඟිය නොහැක. එයට රටේ පුරවැසියන් වන අප සියලු දෙනාගේම දායකත්වය ලබාදිය යුතුය.

එය පටන් ගැන්ම අප නිවෙසින් ආරම්භ කළ හැකිය. මාගේ දරුවා යහගුණෙන් පිරි නිරෝගීමත් අයකු වුවහොත් එය නිරායාසයෙන්ම අපගේ දරුවන්ගේ යහපැවැත්ම බවට පත්වේ. සැවොම එසේ කරන්නේ නම් නිසැකවම මේ රට යහගුණෙන් පිරි, නිරෝගිමත්, සංවර්ධිත රටක් වනු නොඅනුමානය.