හිමි ගෞරවය සුරැකීම කාන්තා අභිමානයයි

මාර්තු 6, 2019

මාර්තු මාසයේ 8 වැනි දිනය විශ්වීය වශයෙන් කතාබහට ලක්වන දිනයකි. එනම් ලෝක කාන්තා දිනයයි. මේ වකවානුවේදී ඉතා වැඩි වශයෙන් කාන්තාවන් ගැන සාකච්ඡා කිරීම ගෝලීය වශයෙන් දැකිය හැකි සාමාන්‍ය තත්ත්වයකි. මන්දයත් කාන්තාවන්ගේ වටිනාකම්, කාන්තා හිංසනය හා ඒ කෙරෙහි සමාජය දක්වන අවධානය පිළිබඳ වැඩියෙන් සංවාද පවත්වයි.

කාන්තාවන්ට සමාජයේ ගරුත්වයක් ලබා දීම දියුණු සමාජයක ලක්ෂණයක් බව සැබෑවකි.

කාන්තාවන් ලෙස එකී ගරුත්වය ලබා ගන්නා අයුරින් හැසිරීම ද මෙහිදී ඉතා වැදගත් වේ.

කාන්තා දිනය අර්ථවත් වන්නේ කාන්තාවන් වශයෙන් එම දිනයෙහි වටිනාකම් පිළිබඳ අවබෝධයකින් පසු වීමෙනි. කාන්තාව ලෙස කුමන තත්ත්වයක සිටියත් එය වටහා ගැනීම ඉතා වැදගත්ය.

දියණියක වශයෙන් ජීවිතයේ වටිනාකම් ගොඩනඟා ගැනීම සිය පරම යුතුකම බවට පත්කරගත යුතුය.

එහෙත් වර්තමානයේ කුඩා දියණියන් ගේ සිට සියලුම දියණියන් පාහේ වටිනාකම් ගොඩනගා ගැනීම පිළිබඳ එතරම් අවබෝධයක් නොමැති බව පෙනේ.

ඉතා හරසුන් දේ පසුපස හඹා යමින් අධ්‍යාපනය පවා කඩාකප්පල් කරගන්නා තත්ත්වයට ඔවුන් පත්ව ඇත. තාක්ෂණික උපකරණ සමඟ ඉතා විශ්වසනීය සබඳතාවයක් ඔවුන් ගොඩනඟා ගෙන ඇත්තේ සිය සමීපතමයන් පවා අමතක කර දමමිනි.

වයසට නො ගැළපෙන විලාසිතා, සංකීර්ණ සම්බන්ධතා ආදිය ගොඩනගා ගැනීම නිසා බලපෑම්කාරී ප්‍රතිඵලවලට මුහුණ දෙයි.

එමෙන්ම පවතින මොහොතේ ඇති සතුට ගැන පමණක් සිතන අතර එම ක්‍රියාව සිදු කිරීමෙන් අත්වන ප්‍රතිඵල පිළිබඳත් කිසිදු සැලකිල්ලක් නො දක්වයි.

එහෙයින් දියණියක වශයෙන් ජීවිතය පිළිබඳ ප්‍රථමයෙන්ම සිදුකළ යුත්තේ වගකීම් සහගතවීමය. එය අද අදම ඇරඹිය යුතුය.

හැගීම්වලට වඩා බුද්ධියට ඉඩදීමෙන් තාරුණ්‍යයේ සුන්දරත්වය හා තරුණියකගෙ වටිනාකම් ආරක්ෂා කිරීමට හැකියාව ලැබෙනු ඇත. මවක, බිරියක වශයෙන් ද ජීවිතයේ විවිධ අවස්ථාවන් තුළ දී ඒවාට මුහුණ දෙන ආකාරය හා ප්‍රතික්‍රියා දක්වන ආකාරය ද උගත යුතුය.

බිරියක් වශයෙන් තමන්ගේ සැමියාට, දරුවන්ට හා පවුලේ අනෙකුත් පුද්ගලයන්ට ඉටුවිය යුතු යුතුකම් ඉටු කිරීම ගැටලුවලින් තොර ජීවිතයකට මඟ පාදයි. රැකියාවේ ඇති කාර්‍යබහුලත්වය නිසා නිතර එම කටයුතුවලට සම්බන්ධ වීමට නොහැකි වුවත් හැකි පමණින් එය ඉටු කිරීම වැදගත්ය.

එමෙන්ම පවුලේ අය හොඳීන් තේරුම් ගැනීම හා ඉවසීම හා සංයමයකින් ඔවුන් සමඟ කටයුතු කිරීම වැදගත් වේ.

එවිට බිරියක් වශයෙන් ඇය ගරුත්වයට පත් වනවා සේම සමාජයේ ඕනෑම කෙනකු අභියස ඉතා වැදගත් චරිතයක් වනු ඇත.

මවක වශයෙන් දරුවන් කෙරෙහි ඉතා පුළුල් අවධානයක් ලබාදීම කාලීන අවශ්‍යතාවකි.

එනම් වර්තමානයේ බොහෝ දරුවන් වැරැදිවලට පෙලඹෙන්නේ මවගේ අවධානයෙන් මිදීම නිසාය . පියාට මෙන්ම මවට ද ඒ පිළිබඳ පුළුල් වගකීමක් ඇත.

ඔවුන් වටහා ගැනීම, ඔවුන්ට අවශ්‍ය ආදරය හා සෙනෙහස ලබාදීම, ඔවුන්ට සවන් දීම විශේෂයෙන් ඔවුන් වෙනුවෙන් කාලය වැය කිරීම ආදිය නොපිරිහෙලා ඉටුකළ යුතුය.

එමෙන්ම මවුවරුන් දරුවන් සමාජයට ඉදිරිපත් කිරීමේ දී ඔවුන්ට සමාජය හා ජීවිතය පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලබාදිය යුතුය.

කුඩා දරුවන්ගේ මෙන්ම තරුණ දියණියන්ගේ පවා ඇඳුම පැලඳුම පටන් සියලු චර්යා රටාවන් කෙරෙහි මව ආදර්ශවත් වීම වැදගත්ය. ආදර්ශවත්භාවය ගිලිහී යාම හේතුවෙන් ඇතැම් ජීවිත විනාශය කරා ඇදී යන්නේ නිරායාසයෙනි.

කාන්තාවක් වශයෙන් මෙකී කුමන භූමිකාවක පසුවුවත් තමාගේ ගෞරවය ආරක්ෂා කරගැනීම හා අප අවබෝධයෙන් ජීවත් වීම සිදු කළ යුතුයි.කාන්තාවට ජීවත් වීම සඳහා සුදුසු පරිසරයක් ගොඩනැගීම මෙන්ම කාන්තාව සමාජයේ සියලු දෙනා කෙරෙහි දක්වන ආකල්පය හා ඇය කෙරෙහි සමාජය දක්වන ආකල්පය වෙනස් විය යුතු කාලය පැමිණ ඇත.

කාන්තාවක් ලෙස ආරක්ෂා සහිතව සමාජයේ ජීවත්වීමට හැකි පරිසරයක් ගොඩ නැගිය යුතුය.

කාන්තාවන් ගෞරවනීය ලෙස ජීවත් වීමට යත්න දැරිය යුතු අතර සමාජයේ පුද්ගලයන් ඒ පිළිබඳ හොඳීන් වටහාගෙන කාන්තාවට ගරුත්වයක් ලබා දිය යුතුය.

කුඩා බිලිඳියගේ පටන් මහලු වයසේ පසුවන මිත්තණිය දක්වා සියලු කාන්තාවන් ආදර්ශවත් ලෙස ජීවත් වීමට මෙන්ම එකී සියලු කාන්තා චරිත කෙරෙහි කෘතඥ පූර්වක හා ගෞරවනීය දෘෂ්ටියක් ඇතිකර ගැනීම ඉතා වැදගත්ය.

එවිට කාන්තා දිනය ගැහැණිය පමණක් නොව සමාජය තුළ සෑම මොහොතක් ම සුවපත් වනු නිසැකය.