සොඳුරු ලොවේ සොඳුරු කතට තරුණී වෙතින් නව දිරියක්

මාර්තු 13, 2019

“සුහුරු කතක් - සොඳුරු ලොවක් “ යන තේමා පාඨයෙන් මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය නම් කොට තිබීමම කාන්තාවන්ට අභිමානයක් ගෙන දෙන්නකි. මන්ද ලොවේ නිමැවුම සොබාදහමයි. එහි සොඳුරුතම නිර්මාණය ගැහැනියයි.

ලොව බොහෝ ක්‍රියාවන් සිදුවන්නේ ගැහැනියගේ අනුදැනුම මතය.

අද ගැහැනියට කළ නොහැකි දෙයක් නොමැති තරම්ය. එනයින් බලන කල කාන්තාවන් අගය කිරීමට දිනයක් වෙන්කිරීමේ වරදක් නැත. කාන්තා පුවත්පතක කතුවරියක් ලෙස කාන්තාව වෙනුවෙන් අප පුවත්පතින් ද බොහෝ මෙහෙයක් ඉටු වන බව මගේ හැඟීමයි. ගැහැනිය රුවින්, දැනුමින් මෙන්ම නොයෙක් දක්ෂතාවලින් පිරිපුන් කිරීමට තරුණී වෙතින් අනගි සහායක් ලැබෙන බව බොහෝ දෙනාගේ අදහසයි.

පසුගිය සතිය තරුණීට බෙහෙවින්ම කාර්යය බහුලය. කාන්තා වැඩමුළු, පෝෂණ වැඩසටහන්, විශේෂ සායන, දැනුවත් කිරීමේ වැඩසටහන් ආදී විවිධ වූ විශේෂ වැඩසටහන් රැසක් රටපුරා සංවිධානය කර තිබුණි.

මෙවැනි වැඩසටහන් කිහිපයක් අප පුවත්පතේ දායකත්වයෙන් පැවැත්වූයේ කාන්තාවන් දිරියෙන්, ශක්තියෙන් සවිබල ගැන්වීමේ අපේක්ෂාවෙනි.

කාන්තා පුවත්පතක් ලෙස අපට මෙවැනි වැඩසටහන් රැසක් සංවිධානය කිරීමේ දී අභියෝග රැසකට මුහුණදීමට සිදුවිය. ඉන් ප්‍රධානතම අභියෝගය වූයේ අප ගන්නා උත්සාහයෙන් නිසි ප්‍රයෝජනයක් හා ප්‍රතිඵලයක් ලබාගන්නට තරම් උනන්දුවක් අපගේ ආදරණීය අම්මලාට තිබේද යන ප්‍රශ්නාර්ථයයි. විශේෂයෙන්ම අපේ කතුන් මේ දිනවල වඩාත් උනන්දු වන්නේ තමුන්ගේ නිවෙසේදීම කළහැකි ස්වයං රැකියාවන් පිළිබඳයි. නැතිනම් තම රැකියාවට අමතර තවත් මුදලක් උපයාගත හැකි මාර්ගයකි.

අප පුවත්පතට හැම දිනකම එවැනි රැකියාවක් සොයන ගෘහණියන් කිහිප දෙනකුගෙන් ඇමැතුම් ලැබෙයි. නැතිනම් එවැනි පාඨමාලාවන් ගැන විමසයි.

අප එසේ ලැබෙන ඇමතුම් ගැන සලකා ඔවුන්ට ප්‍රයෝජනවත් වන විශේෂ වැඩමුළු කිහිපයක් සැලසුම් කළේ ඉන් නිසි ප්‍රතිඵල ලබාගන්නට අවස්ථාව උදාකරමිනි.

එහෙත් ඉන් කිසියම් වූ ප්‍රතිඵලයක් ලැබුවේදැයි අපට ගැටලුවකි. ඇතැම් යුවතියන් මෙම වැඩසටහන් සඳහා ඉතා උනන්දුවෙන් සහභාගී වී ජීවිතයට යමක් එක්කර ගන්නට ඇත.

සමහරවිට එයින් ඔවුන්ගේ ජීවිතය සරුකර ගන්නට අධිෂ්ඨානයක් ලබන්නට ඇත.

එහෙත් මෙවැනි වැඩසටහනකින් ඇති ඵලය කුමක්දැයි ගැඹුරින් සිතන යුවතියන් සිටින්නේ ඉතාම අල්පයකි. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ වර්තමාන සමාජ පසුබිම හා තරගකාරීත්වයයි. ඔවුන්ට මෙවැනි වැඩසටහන් තුළින් දැනුමක් ලබන්නට තරම් වෙලාවක් නොවේ.

එසේ තිබෙන කාලය වුවත් තම ජංගම දුරකථනයේ හෝ රූපවාහිනියේ එල්ලී සිටියි. නැතිනම් අන්තර් ජාලයේ හිර වී සිටියි. කුමක් හෝ වරදකින් මෙවැනි පසුබිමක් අප සමාජයම වෙලාගෙන තිබීම විශාල අභාග්‍යයකි.

ගෘහණිය, නැතිනම් දිවා කල නිවෙසේ තනි වන තරුණිය තම පාළුව කාන්සිය මකාගැනීමට නොයෙක් ක්‍රියාවන්හි යෙදේ. රූපවාහිනිය, පරිගණකය මෙන්ම අන්තර් ජාලය මේ සඳහා උපකාරකයන් වී ඇති බව වර්තමාන සමාජය දෙස බැලූ කල හොඳින්ම පැහැදිලි වේ.

මෙය බොහෝ ව්‍යසනවලට හේතුකාරකයක් වී ඇත. මෙලෙස නිකරුණේ ගෙවන කාලය ඵලදායී දෙයක් කෙරෙහි යොමුකිරීමේ අරමුණ අප තුළ තදින්ම කාවැදී තිබේ.

ඒ උදෙසා කළහැකි බොහෝ දේ පුවත්පත තුළින් සෑම සතියකම ඉදිරිපත් කිරීමට අප උත්සාහ ගන්නේ ඒ නිසායි. වැඩමුළු පවත්වමින් ඔබව දිරිමත් කිරීමට, යහපත් අනාගතයකට ඔබව යොමුකිරීමට අප මෙලෙසින් උත්සාහ ගන්නේ ඔබගේ සිතැඟි අපට දැනෙන නිසාය. තරුණී පුවත්පත නිරතුරුවම පාඨක ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු.

මෙම වැඩසටහන් තුළින් අප උත්සාහ කරන්නේ දැනුමින් පෝෂණය කිරීම මෙන්ම සමාජය හා ගැටෙමින් අලුත් මිතුරන් හඳුනාගැනීම, සාමූහිකව එක්වී පුංචි විවේකයක් ලැබීමය. එහෙත් එවැනි සමාජයක් අද නොවෙයි.

ඇත්තේ විපරිත වූ සංකීර්ණ සමාජයකි. තමුන් අසලම සිටින පුද්ගලයා පිළිබඳ නොසිතන මිනිසුන්ය. මෙය කොතරම් නිවැරැදි සමාජ රටාවක් දැයි නොතේරෙයි.

එහෙත් එවැනි ආත්මාර්ථකාමී සමාජයක් තුළ අනාගතය කෙතරම් සුබවාදී වේදැයි අප ගැඹුරින් සිතා බැලිය යුතු කරුණකි.

මේ පිළිබඳ අපගේ ජනාධිපතිවරයා ද ඉතාම හොඳින් ඔහුගේ කාන්තා දින පණිවුඩයේ සටහන් කර තිබීම අගය කළයුත්තකි. කාන්තාව අවිහිංසාවේ ප්‍රතිමූර්තිය බව මහත්මා ගාන්ධි පවසා ඇත්තේ සමාජය විසින් පවරන ලද සාම්ප්‍රදායික භූමිකා අභිබවා බොහෝ උච්චස්ථාන කරා ගමන් කළ හැකි බව නූතන ස්ත්‍රිය සනාථ කර තිබෙන බව ඔහු සඳහන් කරන්නේ මහත් අභිමානයෙනි.

එය එක් පසෙකින් සැබෑවකි. නමුත් සමස්ත කාන්තා සමාජය ගත් කළ එසේ නොවෙයි.

බොහෝ ආසියානු රටවලට පෙර ඡන්ද අයිතිය දිනාගත් ශ්‍රී ලංකාව ලොව පළමු අගමැතිනිය මෙන්ම ප්‍රථම විධායක ජනාධිපතිනිය බිහි කිරීමේ ජගත් කීර්තිය පමණක් නොව මෙවර කාන්තා දිනයේදී ශ්‍රී ලාංකීය කාන්තාවක් වන ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ හිටපු සභාපතිනිය හා ජාත්‍යන්තර නීතීඥවරියක වන මරිනි ද ලිවේරා මහත්මිය ලොව දිරිය කතුන් 10 දෙනා අතරට පත්වීම ද අප රටට විශාල ගෞරවයකි.

සැබැවින්ම මෙවැනි ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන තිබුණත් අපගේ ආදරණීය අම්මාවරුන්ගේ භූමිකාවට එයට වඩා බොහෝ දුර ගමන් කිරීමේ හැකියාවත්, ශක්තියත්, අධිෂ්ඨානයත් තිබෙයි.

ඉකුත් වසරේදි බී. බී. සී. ලෝක සේවය නම් කළ ලෝකයේ බලපෑම් කළ හැකි ස්ත්‍රීන් අතරට සමූද්‍ර ජීව විද්‍යාඥවරියක් පත්වූයේ ද, පිළිකා සෛල පාලනය සඳහා කරන ලද සාර්ථක පර්යේෂණයක් වෙනුවෙන් වෛද්‍යවරියකට ගෞරව සම්මාන හිමිවූයේ ද, එවරස්ට් තරණයෙන් යුවතියක් වාර්තා තැබුවේ ද අපේම කාන්තාවන්ය.

එවන් වූ විශාල ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට අපේ යුවතියන්ට හැකිවූයේ සාම්ප්‍රදායික භූමිකාවේම සිර නොවීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. අපටම අනන්‍ය වූ සංස්කෘතියක් තිබේ. එය ලෝකයේ සෑම රටකටම වඩා පොහොසත් එකකි. ඒ තුළ හිඳිමින් කළ හැකි දේ බොහෝය.

ලෝකයේ වැඩියෙන්ම සිනාසෙන ජාතිය අපියි. මනුස්සකම හා සමාජ බැඳීම් මුහුකුරා ගිය ආගමික හා සංස්කෘතික බැඳීමක් අපට තිබේ.

එය වර්තමාන තරුණ පරපුර වැලඳගන්නා ඉථචපබ ර්‍ථඩධදඥ සංස්කෘතියට වඩා දියුණු සමාජ ජාලයකි. ඒ සංස්කෘතික රාමුව තුළ අපේ කාන්තාවන්ට බොහෝ දේ කළ හැකි වෙයි.

කාන්තා පුවත්පත් කලාවේ ඉතාම දිගු ඉතිහාසයකට හිමිකම් කියන “තරුණී” ඒ වගකීම වෙනුවෙන් බොහෝ දෑ ඔබට තිළිණ කරන්නෙමු.

එය කාන්තා දිනයට පමණක් සීමා වූවක් නොවෙයි. අදත් හෙටත් හැමදාමත් ඔබට ආදරණීය සහෝදරියක, මවක ලෙසින් “තරුණී” ඔබව රුවින්, දැනුමින්, දස්කමින් විස්කමින් නොපසුබස්නා දිරියෙන් ඔබව පොහොසත් කරන්නෙමු.