මගේ ශක්තිය ගැන විශ්වාසයෙන් ක්‍රීඩා කරනවා

මීටර 1500 ධාවන ඉසව්වෙන් වසර 35ක වාර්තාවක් බිඳ හෙළු ගම්පහ සිරිකුරුස විදුහලේ ශානිකා.
ජනවාරි 20, 2021

පසුගියදා නිමාවට පත්වුණු 98 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දී මීටර් 1500 ඉසව්ව නියෝජනය කළ ශානිකා ලක්ෂාණි ක්‍රීඩිකාව වාර්තාවක් බිඳ හෙළුවා.

1985 වසරේදී සිංගප්පූරුවේ පැවැති කණිෂ්ට ආසියානු මලල ක්‍රීඩා උළෙලේදී ධම්මිකා මැණිකේ ක්‍රීඩිකාව විසින් විනාඩි 4 තත්ත්පර 35 දශම70ක කාලයකින් තරගය නිමා කර තබා ඇති වාර්තාව විනාඩි 4 තත්ත්පර 33 දශම 40කින් නිමා කර තත්ත්පර 2.3 කින් එම වාර්තාව බිඳ හෙළන්නට ඇය සමත් වෙනවා.

‘‘හැදෙන ගහ පෙත්තෙන් දෙපෙත්තෙන් දැනේ‘‘ යැයි අපේ පැරැණි කියමනකි. ඒ අනුව ඇය මෙවැනි ජයග්‍රාහී ක්‍රීඩිකාවක් වන බවට ඉඟි කරන්නේ තුන්වැනි වසරේ ඉගෙනුම ලබද්දීය. වයස අවුරුදු අටක පමණ දැරියකව සිටියදී. ගම්පහ දිස්ත්‍රික්කයේ හේනේගම කිරිකිත්ත කණිටු විදුහලේ සිසුවියකව වූ ඇය 2012 වසරේදී බස්නාහිර පළාත් ක්‍රීඩා තරගාවලියේදී වයස අවුරුදු 11න් පහළ දුර පැනීම ඉසව්ව මීටර් 3 දශම 61 නිම කරමින් බස්නාහිර පළාතේ ප්‍රථම ස්ථානය හිමිකර ගන්නවා. ක්‍රීඩා පුුහුණු කරුවකු පවා නොමැතිව ඉතාමත් අඩු පහසුකම් සහිතව පුුහුණුවීම් කරමින් පිට පිට වසර දෙකක් ප්‍රථම ස්ථානය රැක ගන්නට සමත් වන ඇය 2012 වසරේ එම ක්‍රීඩා තරගාවලියේදීම මීටර් 75 දුර දිවීමෙන් බස්නාහිර පළාතේ දෙවැනි ස්ථානයට පත්වන්නේ බොහෝ දෙනකුගේ අවධානය තමන් වෙත යොමුකරගනිමින්. එසේ සිය ක්‍රීඩා දිවිය ආරම්භ කරන ශානිකාගේ වර්තමාන ජයග්‍රහාහී ගමනට අඩිතාලම වැටෙන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා උපදේශකද මධුර පෙරේරා මහතා යටතේ පුහුණු විමට අවස්ථාව ලැබීමත් ගම්පහ සිරිකුරුස විදුහලේ අධ්‍යාපනයට මඟ පෑදීමත් සමඟය.

මීටර 1500 ඉසව්වේ වාර්තාව බිඳහෙළන්නට සමත්වීමත් සමඟ හෙට දිනයේ අපේ රටේ තවත් එක් අන්තර්ජාතික පදක්කම් බලාපොරොත්තුවක් බවට පත්වුණු ශානිකා සමඟ තරුණි කළ පිළිසඳරයි මේ.

මුලින්ම ඔබේ විස්තර කියන්න

මගේ නම ශානිකා ලක්ෂාණි. මගේ පාසල ගම්පහ සිරිකුරුස විදුහල. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි අයියලා දෙන්නයි අක්කයි මමයි. මගේ තාත්තා කේ. විරසිංහ. අම්මා ජී. සුමිත්‍රා රුද්‍රිගු. මම පවුලේ බාලයා.

* ඔබ ක්‍රීඩාවට යොමුවෙන්නේ ඉතාමත්ම කුඩා අවදියේදී

ඔව්. මම පුංචි කාලයේ මගේ අයියලා දෙන්නාත් අක්කාත් ක්‍රීඩා කරනවා දැකලා තමයි මමත් ක්‍රීඩාවට යොමුවුණේ. මගේ ලොකුම අයියගේ නම සමීර මධුශංක. ඔහු කරාටේ ක්‍රීඩාව කළේ. දෙවැනියා අක්කා සජිනි සශිකලා. ඊළඟ අයියා ශාලිත මධුශාන්. මේ දෙදෙනා මලල ක්‍රීඩා කළා. ඔවුන් තරග කළේ මීටර 800 සහ 1500 ඉසව්. එම ඉසව් වලින් සමස්ථ ලංකා මට්ටම දක්වා ජයග්‍රහණ ලබලා තියෙනවා.

ඔබ ලැබූ මුල්ම ජයග්‍රහණය මතකද?

ඔව්. මම මුලින්ම පාසල් ගියේ කිරිකිත්ත කනිෂ්ට විදුහලට. 2012 අවුරුද්දේ බස්නාහිර පළාත් මලල ක්‍රීඩා තරගාවලියේදී මම වයස අවුරුදු 11න් පහළ දුර පැනීමේ ඉසව්වෙන් මීටර තුනයි දශම හයයි එකක් පැනලා පළමු ස්ථානය දිනාගත්තා. ඒ එක්කම මීටර 75 දුර දිවීමේ ඉසව්වෙනුත් දෙවැනි ස්ථානය දිනාගත්තා. ඒ වෙනකොට මම තුන ශ්‍රේණියේ හිටියේ.

එතැනින් පස්සේ ඔබේ ක්‍රීඩා දිවිය වෙනස් වෙනවා.

මුලින්ම මට පුහුණු කරුවෙක් හිටියේ නැහැ. මම මේ දේවල් කළේ අම්මාගෙයි තාත්තාගෙයි මඟ පෙන්වීම මතයි. මොකද ඒ දෙන්නම ක්‍රීඩාවට කැමැතියි. දෙන්නාම පාසල් කාලයේ ක්‍රීඩා කරලා තියෙනවා. ඒ වගේම මේ ජයග්‍රහණයෙන් පස්සේ මගේ අයියගෙයි අක්කාගෙයි පුහුණුකරු වුණු මධුර පෙරේරා මහතා යටතේ පුහුණු වීමට අවස්ථාව ලැබෙනවා. ඔහුගේ මඟ පෙන්වීම අනුව තමයි මම අද මේ ජයග්‍රාහී ගමන ඇවිත් තිබෙන්නේ.

තමන් යටතේ පුහුණුව ලබාගන්නට පැමිණි පුංචි ශානිකා දැරිය අද දක්වා පැමිණි ජයග්‍රාහී ගමනේදී ලබාගත් ජයග්‍රහණ ගැන කතා කළේ ඇගේ පුහුණු කරු වන ක්‍රීඩා අමාත්‍යාංශයේ ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරීවරයා ලෙස කටයුතු කරන මධුර පෙරේරා මහතායි.

මුලින්ම මම ළඟ පුහුණු වීම් වලට එන්නේ ශානිකාගේ අයියයි අක්කයි. ඒ අනුව 2012 මුල්ම පළාත් ජයග්‍රහණය ලබන කොට මෙයාට පුහුණු කරුවෙක් හිටියේ නැහැ. මම ළඟ පුහුණු වීම් ආරම්භ කළාට පස්සේ මම හඳුනාගත්තා ශානිකාට දුර පැනීමට වඩා දුර දිවීමට දක්ෂයි කියලා. මෙයාගේ අයියයි අක්කයි දුර දිවීමට තමයි පොඩිකාලෙ සිට පුරුදුවෙලා හිටියෙ. ඒ දෙන්නත් මිටර් 800 සහ 1500 ඉසව් දෙක තමයි ගොඩක්ම කළේ. ඒ දෙදෙනාම සමස්ථ ලංකා මට්ටම දක්වාම ගිහින් තිබෙනවා. ශානිකා ක්‍රමාණුකූල පුහුණු වීම් කරලා වයස14න් පහළ වගේ වෙනකොට මීටර් 400 ඉසව්වට සහභාගි වුණා. මොකද ඒ වයසට තියෙන්නේ මීටර් 400 ඉසව්වයි.

මුලින්ම 2015 අනුරාධපුරේ පැවැති සමස්ථ ලංකා ශ්‍රීමත් ජෝන් ටාබට් තරගාවලියට සහභාගි වනවා. ඒ ඇය සහභාගි වුණු පළමුවැනි රේස් එක. එහිදී මේ ඉසව්වට සහභාගි වූ මීගමුව නිව්ස්ටඩ් විද්‍යාලයේ ක්‍රීඩිකාවක් සමඟ ශානිකා කරට කර තරගයක් දෙනවා. දෙදෙනාම තරගය අවසන් කරන්නේ තත්පර 62. 2කින්. අවසානයේ ටේප් ෆිනිෂ් එකකින් ජයග්‍රාහකයා තෝරාගන්නා අතර ශානිකා දෙවැනි ස්ථානයට පත්වෙනවා. ඊට පස්සේ 2016 වසරේ බෝගම්බර පැවැති ජාතික පාසල් තරගාවලියට සහභාගි වෙනවා. ඒ තරගාවලියේදී මීටර 400 ඉසව්වට සහභාගිවෙලා තත්ත්පර 61.5 කින් නිම කරලා ශානිකා සමස්ථ ලංකා පළමු ස්ථානය දිනා ගන්නවා. ඒ තරගයේදී ඇයට තරගයක් තිබුණේ නැහැ. නමුත් මම හඳුනාගෙන සිටියා ඒ වෙනකොට මෙයාට මීටර් 800, 1500 තමයි දුවන්න ඕන කියලා. නමුත් ඒ වයස් සීමාව තුළ ඒ ඉසව් තිබුණේ නැහැ.

ඉන්පසුව 2016 වසරේ ඇය ජෝන් ටාබට් තරගාවලියට සහභාගිවෙනවා. මේ තරගාවලියේ දී 16න් පහළ මීටර් 800 ඉසව්ව විනාඩි2 තත්ත්පර 18ක් කාලයක් වාර්තා කරමින් ඇය පළමුවැනියා වෙනවා. පාසල් ක්‍රීඩා ඉසව්වල සුවිශේෂී දස්කම් දක්වන පාසලක් තමයි වලල රත්නායක විදුහල. එම තරගයේදී ඇය වලල විදුහලේ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් සමඟ කරට කර තරගයක් දීමෙන් පසුව තමයි පළමු සථානය ජයග්‍රහණය කරන්නේ. එහි මූලික වටයේදී මම ඇයට උපදෙස් දුන්නා ඔයා උපරිමයෙන් දුවන්න එපා කියලා. ඒ අනුව මූලික වටයේ ඇය දෙවැනියා වෙනවා. අවසන් වටයට වලල ක්‍රීඩිකාවන් දෙදෙනෙක් සහ ශානිකා සහභාගි වෙන්නේ. මම ඒ රේස් එකේ වේගයෙන් දුවන්න ඕන තැන් ගැන ඇයට පැහැදිලි කරලා දෙනවා.

 

අවසානයේ කවුරුත් බලාපොරොත්තු නොවුණු විදිහට මීටර 800 ප්‍රථම ස්ථානය දිනා ගන්නවා. ඉන්පස්සේ 2017 සිට පාසල් ක්‍රීඩා උළෙලත් වෙනස් වෙනවා. 15 න් පහළ තිබුණු ඒවා 17න් පහළ වෙනවා.

ඉන් පස්සෙ දිගින් දිගටම කණිෂ්ට මට්ටමේ සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා වල මිටර් 800 ජයග්‍රාහිකාව විදිහට ඉන්නේ ඇයයි. ඇය 2019 වසරේ එකම එක රේස් එකක් විතරක් පරාජය වෙනවා. ඇය අසනීප තත්ත්වයේ සිටියදී එපා කියද්දි තමයි ඒකට සහභාගි වෙන්නේ. එයින් ඇය සමස්ථ ලංකා තුන්වැනි ස්ථානයට පත්වෙනවා. ඒ මේ දක්වා ඇගේ ක්‍රීඩා දිවියේ පරාජය වුණු එකම තරගයත් එයයි. එය හැරෙන්නට කණිෂ්ට මට්ටමේ එක තරගයක් වත් පරාජය වෙලා නැහැ. 2017 . 18 වසරවල ඉඳන්ම මෙයා නැෂනල් මීට් වලට සහභාගි වෙන්නේ ජාතික සංචිත වල ඉන්න ක්‍රීඩිකාවන් එක්ක.

ඒ හැම අවුරුද්දකම මෙයා ලංකාවෙන්ම හතරවැනියා හෝ පස්වැනියා අතර ස්ථානය රැක ගන්නවා ජාතික මට්ටමේ.

2019 මුලින්ම 800 මිනිත්තු 2.21 දුවලා ඉන් පස්සේ දැන් 2.18 දක්වා දියුණු කරගෙන තිබෙනවා. ගිය වසරේ කණිෂ්ට ආසියානු යොවුන් තරගාවලියට යන්න සූදානම් වෙනකොට මෙයා 2.12.23ක් දුවනවා පෞද්ගලික හොඳම දක්ෂතාවය.

ලබන වසරේ ඇයට තිබෙනවා ජූනියර් වර්ල්ඩ් චැම්පියන්ෂිප් එක. කනිෂ්ට ලෝක ශූරතාවලිය. ඒකට සුදුසුකම් ලබන මට්ටම ඉල්ලලා තිබෙන්නේ විනාඩි දෙකයි තත්පර 08 දශම 70ක්. මෙයා දන්නේ නැහැ. මෙයා හිතුවෙත් නැහැ එදා රේස් එකේදි එච්චර දුවයි කියලා. ඒ නිසා මෙයා තරග අවසානය හරියට කරන්නේ නැහැ. එතැනදී ඇය තරගය අවසන් කරන්නේ විනාඩි 2 තත්ත්පර 08 දශම 90කින්. දශම 2කින් මෙයාට ක්වොලිෆයි වෙන්න තිබෙන අවස්ථාව අහිමිවෙනවා. නමුත් ගොඩක් වෙලාවට ලෝකයේ පළමු 48 දෙනාම ඔය කාලය වාර්තා කරලා තිබුණේ නැත්නම් මෙයාට ජූනියර් වර්ල්ඩ් ගේම්ස් යන්න හම්බවෙනවා. ඒ වගේම තව කාලය තිබෙනවා ලබන අගෝස්තු වෙනතුරු සුදුසුකම් ලබා ගන්න. ඒ සඳහා තව තරග තුනක් විතර තිබෙනවා. ලබන වසරේ අප්‍රියෙල් වල තිබෙනවා 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශුරතාවලිය. මැයි මාසයේ ජාතික කණිෂ්ට ශුරතා තරගාවලිය. ඊට අමතරව ජාතික මහා ක්‍රීඩා උළෙල තිබෙනවා. මේ ඕනෑම තරගයකින් නියමිත කාලයට තරගය අවසන් කරලා අවශ්‍ය පරිසාධක මට්ටමට එන්න පුළුවන්.

තව විශේෂ දෙයක් කියන්න ඕන. ශානිකා මේ වනවිට මීටර 800 ඉසව්ව සඳහා ආසියානු ශ්‍රේණිගත කිරීමෙන් ඉන්නේ හත්වැනි ස්ථානයේ. ඇයට පෙර පළමු ස්ථානයේ සිට 6 වැන්නා දක්වාම ඉන්නේ චීන සහ ජපන් ක්‍රීඩිකාවන්.

වසර 35ක පැරැණි වාර්තාව බිඳ දැමූ තරගය ගැන විස්තර කළොත්

මේ අපි කතා කරන වාර්තාවට හිමිකම් කියන්නේ ඇය මිටර් 1500 ඉසව්වට සහභාගි වෙලා. 1985 සිංගප්පූරුවේ පැවැත්වුණු කණිෂ්ට ආසියානු ක්‍රීඩා උළෙලේදී තමයි ධම්මිකා මැණිකේ ක්‍රීඩිකාව මේ කාලය වාර්තා කරලා තියෙන්නේ. ඇය එදා විනාඩි 4 තත්ත්පර 35 දශම 70කින් තරගය නිම කරලා වාර්තාව තියලා තිබුණා. ඒ වාර්තාව තමයි ශානිකා අවුරුදු 35කට පස්සේ තත්ත්පර 2.3කින් බිඳ හෙළන්නේ. ශානිකා මේ තරගය නිම කරන්නේ විනාඩි 4 තත්ත්පර 33 දශම 40කින්.

ඇය මුල් කාලයේ සිට පුහුණු කළේ මීටර් 400 සහ 800 දෙකට. නමුත් මම ඇගේ හැකියාවන් අනුව හඳුනාගෙන හිටියා ඇය ජාතික තලයට එනකොට දුවන්න ඕන මීටර 1500 කියලා. ඒ අනුව අවශ්‍ය පුහුණු වීම කරගෙන ඇවිත් ඇය කණිෂ්ට මට්ටම අවසන් වෙලා ජාතික මට්ටමට යන්න හිතාගෙන 1500ට සහභාගි කරවන්නෙ. ඒකෙදි මේ ඇය සහභාගි වුණු තුන්වැනි රේස් එක. මීට කලින් ඇය දිව්වේ රේස් දෙකයි. මෙයාගේ හොඳම කාලය තිබ්බේ විනාඩි 4 තත්ත්පර 43යි. මේ තුන්වැනි රේස් එක. ඒකෙදි විනාඩි 4 තත්ත්පර 33 දශම 40ක කාලයක් වාර්තා කරනවා. මාව දැනුවත් කරලා තිබුණා වසර 35ක මේ වගේ කණිෂ්ට වාර්තාවක් තියෙනවා. ඒක තියලා තියෙන්නේ ධම්මිකා මැණිකේ ක්‍රීඩිකාව. ඇය මේ ඉසව්ව නිම කරලා තිබුණේ විනාඩි 4.35.70කට. මේක පුළුවන්නම් බිඳ හෙළන්න කියලා. එදා කියද්දිම මම කිව්වා මේ ක්‍රීඩිකාව අනිවාර්යයෙන් එය කරනවා කියලා.

ශානිකා උත්සාහ කළේ ජූනියර් වර්ල්ඩ් ගේම් වලට සුදුසු කම් ලබන්න. ඒකට ඉල්ලලා තිබුණේ විනාඩි 4 තත්ත්පර 28 දශම 00ක්. නමුත් ඒ රේස් එක බැලන්ස් කරගන්න හම්බවෙන්නෙ නැහැ. මොකද ජාතික මට්ටමේ ක්‍රීඩිකාවන් දුවපු රේස් එකේ මෙයා වැටිලා දුවපු නිසා. රේස් එක මෙයාට සමබර කරගන්න බැරිවෙනවා. ඒ නිසා අවසානය නිමා කරන්න ලොකු කාලයක් ගතවුණා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ රේස් එකේදී මීටර් 1500 මීට වඩා හොඳ කාලයක් වාර්තා කරන්න පුළුවන් වෙයි කියලා.

ඇයට තරගය සමබර කරගන්න බැරිවුණේ පුහුණු වීම් වල අඩුවක් නිසාද?

ඇත්තෙන්ම ඔව්. එහෙම වුණේ මේ කොරෝනා වසංගතයත් සමඟ ඇතිවුණු ගැටලුකාරී තත්ත්වය එක්ක අපට හරිහැටි පුහුණුවීම් කරගන්න බැරිවුණ නිසා. කිසිම සැලසුමකට අනුව පුහුණුවීම් කරන්න බැරිවුණා. එහෙත් ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමා අපට දුන්නු දායකත්වයක් එක්ක අපිට මාස එකහමාරක පමණ කාලයක් නේවාසිකව පුහුණු වීම් කරන්න ලැබුණා. ඒ මාස එකහමාරක පුහුණුව තුළින් තමයි මේ ප්‍රගතිය අත්කරගත්තෙ.

ඇය මේ තරම් හෝ ජයග්‍රහණයක් ලබන්න ප්‍රධාන හේතුව විදිහට මම දකින්නේ මේ දරුවන්ට එකට ඉඳලා එකතැන ට්‍රේනින් කරන්න වගේම හොඳ පෝෂණීය ආහාර වේලක් ලැබීම. අපි ඒකට අතිරේක දිස්ත්‍රික් ලේකම් තුමන්ට විශේෂයෙන් ස්තූති වන්ත වෙන්න ඕන. මොකද එතුමන්ගේ පෞද්ගලික වියදමෙන් පවා අපිට කෑම බීම ගෙනැවිත් දුන්නා. ශානිකාට මේ තරම් ඉක්මනින් කාලයක් වාර්තා කරන්න ලැබුණේ නිසි පෝෂණයක් ලැබීමයි.

අපි යළිත් ශානිකා දෙසට හැරුණේ ඇයගෙන් වසර 35ක් පැරැණි ධම්මිකා මැණිකේ ක්‍රීඩිකාවගේ වාර්තාව බිඳ හෙළීම ගැන ශානිකාට දැනෙන්නේ මොනවගේ හැඟීමක්දැයි දැනගැනීමටයි.

සර් කලින් කියල තිබුණා මෙහෙම රේකෝඩ් එකක් තියෙනවා. ඒක කඩමු කියලා. ඒ අධිෂ්ඨානයෙන් තමයි මම එදා තරග වැදුණේ. ඇත්තටම හිතට ලොකු සතුටක් දැනුණා.

ශානිකාගේ අනාගත බලාපොරොත්තුව කුමක්ද?

මගේ අරමුණු ක්‍රීඩාවෙන් තව තවත් ජයග්‍රහණ ලබාදීලා මලල ක්‍රීඩාවෙන් අපේ රට ලෝකයේ තව තවත් ඉහළට ගෙන එන්නයි. ඒ වගේම අනාගතයේ ක්‍රීඩා අංශයෙන්ම රටට සේවයක් කිරීමත් මගේ බලාපොරොත්තුවයි.

මම වෙනත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආදර්ශයට ගන්නේ නැහැ. මගේ ශක්තිය ගැන විශ්වාසය තියාගෙන අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රීඩා කරනවා. ඒ වගේම සරල සැහැල්ලු ජීවිතයක් ගත කරන්න තමයි මම කැමැති.

ඔබේ ක්‍රීඩා දිවිය ආරම්භ කරන්නේ පාසලෙන්. මේ ජයග්‍රහණ පිටුපස සිටින ඔබට ශක්තියක් වුණු අය ගැන සඳහන් කරමු.

මා මුලින්ම අධ්‍යාපනය ලැබූ කිරිකිත්ත කනිටු විදුහලේ විදුහල්පති පුන්සිරි චමින්ද මහතා සහ පුෂ්පා මාලිනී ගුරුතුමිය මට එදා ලොකු ධෛර්යයක් ලබා දුන්නා.

ඉන්පස්සේ ගම්පහ සිරිකුරුස විදුහලට යන්නට අවස්ථාව ලැබීම මගේ මේ ජයග්‍රහණ වලට ලොකු ශක්තියක්. පාසලේ විදුහල්පතිනිය දර්ශිකා මවුතුමිය, නිල්මිණි අලස් සහ තුෂාරි යන ක්‍රීඩා ගුරුතුමියන් මට ක්‍රීඩාවට අවශ්‍ය ඕන දෙයක් කිව්වාම අරගෙන දෙනවා.

ඇත්තටම මට පාසලෙන් ගොඩක් උදව් ලැබෙනවා.

මම දේශපාලන විද්‍යාව, සිංහල සහ මාධ්‍ය යන විෂයන් හදාරමින් උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය හදාරනවා. ඒ වගේම මගේ පුහුණු කරු වන මධුර පෙරේරා මහතාට විශේෂයෙන් ස්තූති වන්ත වනවා. මොකද ඔහු නැත්නම් මට මේ වගේ ජයග්‍රහණ ලබා ගැනීම සිහිනයක් වන්න තිබුණා.

ශානිකාගේ මව සිය දියණිය ලැබු ජයග්‍රහණ ගැන සඳහන් කළේ මෙලෙසින්.

මගේ දරුවන් හතර දෙනාම ක්‍රීඩා කළා. ඒකට හේතුව අපි දෙන්නත් ක්‍රීඩා වලට කැමැතියි.

පාසල් යන කාලයේ අපි දෙන්නා මලල ක්‍රීඩා කළා. විශේෂයෙන් ධාවන ඉසව් වලට සහභාගි වෙලා ජයග්‍රහණ කරලා තිබෙනවා.

අදටත් ගමේ අවුරුදු උත්සවයක නැත්නම් වෙනත් තරගාවලියක ධාවන තරග වලට අපිට සහභාගි වෙන්න පුළුවන් ඒවට අපි සහභාගි වෙනවා. බලන්න යනවා.

 

ඡායා - ශාන් රූපස්සර