වයස 94 දී තම සිහිනය සොයා ගිය අත්තම්මා..

පෙබරවාරි 17, 2021

 

 

හදිසියේ ම සැමියා අහිමි වීමෙන් නීති විද්‍යාලයේ අවසන් විභාගයට පෙනී සිටින්නට නොහැකිවෙලා

 

 

‘තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා උගත මනා ශිල්පයමයි මතු රැකෙනා.. මෙය බොහෝ දෙනෙක් අසා ඇති කවියක කොටසකි. මෙයින් කියැවෙන්නේ සැබෑවක් වුවද හැකි හැම විටෙකම ශිල්ප ඉගෙනීමට අප කොතරම් උනන්දු වනවාදැයි මඳක් සිතා බලන්න.

මෙය තම ජීවිතයට පමණක් නොව, තම දරුවන්ගේ ජීවිතවලට පවා ආදර්ශ පාඨයක් කරගත් දිරිය මවක් තම ජීවිතය මෙන්ම දරුවන්ගේ ජීවිත ද ඉන් එළියකර ගැනීමට සමත් විය. පාසල් අධ්‍යාපනයෙන් හෝ උසස් අධ්‍යාපනයෙන් පසුව ඉගෙනීම අවසන් යැයි සිතන බොහෝ දෙනාට වයස අවුරුදු 94 ක් වූ විතානගේ ලීලාවතී ඇස්ලින් ධර්මරත්න අත්තම්මා නැවත ඒ පිළිබඳ සිතීමට අවස්ථාවක් ලබා දී ඇත.

වයස අවුරුදු 94 දී විභාගයකට ඉදිරිපත්වීම අපට දනවන්නේ විමතියකි. ඒ ඇයගේ දැනුම් පිපාසාව හා නිරවුල් මානසිකත්වයයි. විවාහයෙන් පසුව බොහෝ කාන්තාවන් තම අධ්‍යාපන කටයුතු ගැන එතරම් තැකීමක් නොකරයි.

එසේ කිරීමට බොහෝ දෙනා පෙළඹෙන්නේ තමා අතින් විවාහයේ යුතුකම් මඟහැරේවිය යන බිය නිසයි.

එසේත් නැතිනම් ළමයිත් ඉන්න මට දැන් මොනවා ඉගෙන ගන්නද යන සිතිවිල්ලයි.

එහෙත් අපේ සිතිවිලි වෙනස් කරගැනීමට මේ කාලය බව වයස 94 දීත් විභාගයකට ඉදිරිපත් වී උපාධියක් ලබා ගැනීම තම ඉලක්කය කරගත් මේ දිරිය මාතාව අපට දෙන ආදර්ශයයි.

නහින දෙහින කාලෙට මොන විභාග ද, මොනවා ඉගෙන ගන්නද.?

බොහෝ වැඩිහිටියන්ගේ මෙන්ම තරුණ පිරිසේ ද අදහස එයයි.

එහෙත් දැනුම හා දක්ෂතා අප භවයෙන් භවයට ගමන් කරද්දී රැගෙන යාමට හැකි දෙයක් බව බෞද්ධ දර්ශනයේ ද පෙන්වා දී ඇත.

ඒ අනුව පසුගිය දා මහනුවර ඩී. එස්. සේනානායක විද්‍යාලයේ දී ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සභාව මඟින් පවත්වනු ලබන ත්‍රිපිටක ධර්ම හා පාලි භාෂා පරීක්ෂණ විභාගයට පෙනී සිටියා ය.

විද්‍යෝදය විශ්ව විද්‍යාල විභාග අංශයට අනුබද්ධව පවත්වනු ලබන මෙම විභාගයෙන් සමත්ව ශාස්ත්‍රපති උපාධිය හදාරා එය ලබා ගැනීම ඇයගේ අරමුණයි.

හොරණ මිල්ලෑවේ ඉපදී හැදී වැඩුණු ඇය අධ්‍යාපනය ලබා ඇත්තේ මිල්ලෑව බාලිකා විද්‍යාලයෙනි.

පවුලේ බාල සොයුරියන් දෙදෙනකු සිටිය ද මේ වන විට ඔවුන් මෙලොව හැර ගොස් ය. ඉංග්‍රීසි ගුරුවරියක ලෙසින් ද සේවය කළ ඇය නීතිඥවරියක් වීමේ දැඩි ආසාවකින් පසුවිය. 1948 දී අපේ රට ඉංග්‍රීසින්ගෙන් නිදහස ලැබූ විට එම ආශාව ඇගේ සිත තුළ තවත් වර්ධනය විය.

ඇය එවකට පැවැති නොතාරිස් විභාගයට ලිවීමෙන් ලංකාවෙන් ම පළමුවැනියා වෙමින් එම විභාගය සමත් විය.

ඉන්පසුව නොතාරිස්වරියක ලෙස සේවය කළ ඇයට නොතාරිස්වරුන්ගේ සම්මේලනයට යාමට වීම දෛවෝපගත සිදුවීමක ආරම්භය විය. ඒ එම සම්මේලනයේ දී තම ජීවන සහකරු මුණ ගැසීම නිසයි. එම සම්මේලනයට සහභාගී වූ එකම කාන්තාව ඇය වීම ද විශේෂත්වයකි.

1963 දී විවාහ දිවියට ඇතුළත් වීමෙන් පසුව නීති විද්‍යාලයට ඇතුළත් වී අධ්‍යාපනය හැදෑරුවේ නීතිඥවරියක් වීමට තිබූ සිහිනය සැබෑකර ගැනීමට ය. පියවරෙන් පියවර තම සිහිනයට ඇය ළඟා වූයේ දැඩි දුෂ්කරතා ද සමඟිනි.

ඇයට දියණියන් සිව් දෙනකුගේ මවක ලෙස ද යුතුකම් ඉටුකිරීමට සිදුව තිබිණි.

එහෙත් තම සිහිනය අතපොවන මානයෙන් තිබිය දී ඇයට එය මඟහැරිණි. ඒ 1970 වසරේ දී නීති විද්‍යාලයේ අවසන් විභාගයට පෙනී සිටින්නට සූදානම්ව සිටිය ද හදිසියේ ම සිය සහකරුගේ අහිමි වීම නිසයි.

 

 

 

දරුවන් සිව් දෙනකු සමඟ දිවි කතරේ අතරමං වූ ලීලාවතී මාතාවට තම සිහිනයට වඩා අවැසි වූයේ තම දියණිවරුන්ගේ ජීවිත සාර්ථක කිරීමේ සැබෑ මවකගේ ප්‍රාර්ථනයයි.

ඒ සඳහා ඇය නොතාරිස්වරියක ලෙස සේවය කරමින් තම දියණිවරුන්ට අවැසි රැකවරණය ලබා දෙමින් ඔවුන් නිසි මාර්ගයට යොමු කිරීම තම ඒකායන පරමාර්ථය කරගත්තා ය.

දියණිවරුන්ට හැම විටෙකම ඇය පැවසුවේ උපාධිය දක්වාම ඉගෙන ගන්නා ලෙසයි. කිසිවකුට උදුරාගත නොහැකි එකම දේ දැන උගත්කම බව ඇය නිතර නිතර දියණියන්ට සිහිපත් කළාය.

එය සැබෑවක් බව ඒ දියණිවරුන් ද ඔප්පුකොට පෙන්වීමට සමත් විය. ලීලාවතී අත්තම්මාගේ වැඩිමල් දියණිය වෛද්‍යවරියකි.

ධම්මිකා ජයලත් වන ඇය මේ වන විට බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරියයි.

ඉංජිනේරුවරියක වූ සමුද්‍රා ජයලත් පවුලේ දෙවැන්නියයි.

ඇය ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක මහාචාර්යවරියක ලෙස සේවය කරන්නීය. පවුලේ තෙවැන්නිය වන්නේ ඉන්දු නීලා ජයලත් ය.

ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක් වන අතර නාවලපිටිය ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කරන්නීය.

මවගේ සිහිනය ම තම රැකියාව ලෙස තෝරාගත් මනෝහාරී ජයලත් පවුලේ සිව්වැනියයි.

ඇය නීතිඥවරියක මෙන්ම වැඩ බලන මහේස්ත්‍රාත්වරියක ලෙසින් ද සේවය කරන්නී ය.

සිංහල, ඉංග්‍රීසි, දෙමළ මෙන්ම පාලි හා සංස්කෘත භාෂා මනාව හැසිරවීමේ හැකියාවක් ලීලාවතී අත්තම්මාට ඇත. ඒ ඇය තම ජීවිතකාලයේ දී ජීවිතයට එකතුකරගත් වත්කම් ය. ඉගෙනීමට වයසක් අදාල නැති බවත්, දරුවන් රැකියාවල යෙදෙන විට මවුපියන් ඉගෙනීමට මැළිකමක් දැක්වුවද එය එසේ නොවිය යුතු බවත් ඇගේ අදහසයි.

දෙවියන්ට කළ නොහැකි දේ මිනිසුන්ට කළ හැකි බවත් එබැවින් මනුෂ්‍යත්වයේ අගය පහළට දමන කටයුතු නොකළ යුතු බවත් පවසන ලීලාවතී අත්තම්මා අපට එය ක්‍රියාවෙන් ම පෙන්වා දී තිබේ.

සැමියා මිය ගිය පසුව ඇය ඉන් පසුනොබැස ශක්තිමත්ව සිටිමින් තම ජීවිතය මෙන්ම දියණිවරුන්ගේ ජීවිත ද සාර්ථකත්වය කරා රැගෙන ගියා ය. බාධා කොතෙක් පැමිණියත් ජය ලැබීමට නම් ඒවා මැඬ ඉදිරියට යා යුතු බව ඇය ක්‍රියාවෙන් ම අපට ඔප්පුකොට ඇත.

අදට ද උදෑසන 3 ට අවදිවන ඇය විභාගයක් තිබුණ ද නොතිබුණ ද පොත්පත් කියවීමෙහි නිරතවේ.

අධ්‍යාපනය ලබා ගත යුත්තේ රැකියාවක නිරත වීමට පමණක් නොවන බවත් එය දැනුම ලබා ගැනීමට සිදු කළ යුතු දෙයක් බවත් මේ මිත්තණිය අපට පෙන්වා දී තිබේ.

නිරන්තරයෙන් තම දැනුම දියුණුකර ගැනීමට උත්සාහ දරන ඇය නූතන පරම්පරාවට සපයන්නේ මහඟු ආදර්ශයකි.

එපමණක් ද නොවේ. ඇය මැහුම් ගෙතුම්වල ද හපනියකි.

මී මුණුබුරු මිණිබිරියන් ද සිටින මේ මිත්තණිය තම දෑතින් ම ගෙතූ ඇඳුම් අන්දවා ඔවුනගේ හැඩ බැලීමට ද අමතක නොකළා ය.

ඇගේ මිණිබිරියන් පවා තම මිත්තණිය පිළිබඳ කතා කරන්නේ දැඩි ගෞරවයකිනි.

තම දියණිවරුන් මෙන්ම දරුවන්ගේ දරුවන්ට ද ඇය පහන්ටැඹක් වී ඇත.

මතක ශක්තිය පිළිබඳ ඇගේ රහස වන්නේ නිරන්තර පොත්පත් කියවීම හා නිරවුල් මනසක් පවත්වාගෙන යාමයි. ඉගෙනීම මිනිසා පරිපූර්ණ කරනවා පමණක් නොව, අප වයසට ගිය ද මනස යහපත්ව පවත්වා ගැනීමට නිතර කුමක් හෝ ඉගෙනීම සාර්ථක උපක්‍රමයක් බව බටහිර වෛද්‍යවරුන් පවා පවසන දෙයකි.

එයට අපට ඇති හොඳම නිදසුන වන්නේ ලීලාවතී අත්තම්මා ය.

සමස්ථ කාන්තා පරපුරට ම ආදර්ශයක් වෙමින්, රටට වැඩදායක දරු මුණුබුරු මිණිබිරියන් දායාද කළ ලීලාවතී මිත්තණියට තෙරුවන් සරණින් තව තවත් දීර්ඝායුෂ ලැබේවායි තරුණී සුබපතන්නී ය.

 

ඡායා -  රුවන් මීගම්මන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.