අමිතාබ් බච්චන් පවා වසඟ කර සංගීතයෙන් ලෝකයම හෙල්ලූ

ලංකාවේ පුංචි කෙල්ල
අගෝස්තු 25, 2021

 

මා සිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුවනාරී මනහාරී සුකුමාලි නුඹ තමා
මැණිකේ මගේ හිතේ
දුටුවේ නුරා හැඟුම් යාවී
ඇවිලේවී
නෙරියේ නුඹේ නඟේ
මගෙ නෙත් එහා මෙහා යාවී
සිහිවේවී

 

නව පරපුරේ ගායන ශිල්පී සතීෂාන් රත්නායක සමඟ යොහානි ද සිල්වා ගැයූ මේ ගීතය (කවර් සෝන්ග්) මේ වනවිට අන්තර්ජාලය හරහා මිලියන ගණනක් නරඹා ඇති අතර එය ලෝකයේ වැඩියෙන්ම නැරඹූ මියුසික් විඩියෝව බවට පත්වී තිබෙනවා. පසුගිය 23 වැනිදා වනවිට කෝටි පහකට අධික ජනතාවක් (51827625ක්) මෙය නරඹා ඇති අතර ශ්‍රී ලාංකේය ගීතයකට යූ ටියුබ් හරහා මෙවැනි දැවැන්ත ප්‍රතිචාරයක් ලැබුණු පළමු වතාව ලෙස සැලකිය හැකිය. විශේෂයෙන් ඉන්දියාවේ ජනතාව අතර මේ ගීතය නැරඹීම උන්මාදයක් බවට පත්වී තිබෙනවා.

සැබැවින්ම එසේ වීමට ඇති සුවිශේෂීම කාරණය වන්නේ සුපිරි ඉන්දීය නළු අමිතාබ් බච්චන් (බිග් බී) පවා ඇගේ මේ ගීතයට වසඟ වීමයි. බච්චන් තරුණ වියේ රඟපෑ කලීයා චිත්‍රපටයේ ‘ජහාන් තෙරී යේ නසාර් හේ‘ ගීතයේ කොටසක් සමඟ මැණිකේ ගීතය සංස්කරණය කර මුදා හැර ඇති වීඩියෝව සම්බන්ධයෙන් ඔහු සිය twitter ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබුණා.

‘‘මේ සංස්කරණය සිදු කර ඇත්තේ තම මිනිබිරිය වන නව්‍යා නිවේලි බවත් මේ ගීතය විශිෂ්ට ගනයේ ශ්‍රී ලාංකේය නිර්මාණයක් බවත් රාත්‍රිය පුරාම තමා එම ගීතය රස වින්ද බවත් ඔහු එහි සඳහන් කර තිබෙනවා.

මේ ජනප්‍රියත්වය ලැබීමත් සමඟ යොහානි කියන්නේ කව්රුද? ඇය ගායනා කර ඇති ගීත මොනවාද? මේ ආදී ලෙසින් අපේ රටේද මේ වනවිට විශාල කතිකාවක් ඇතිවී තිබෙනවා.

තරුණ පරපුරට නම් යොහානි අලුත් කෙනෙක් නොවේ. ඇය කවර් සෝන්ග්ස් මෙන්ම රැප් ගායනා කරන ගායකාවක් ලෙසත් ඇය වරින් වර ඇගේ යූ ටියුබ් නාලිකාව හරහා නිකුත් කළ කවර් සෝන්ග්ස් මෙන්ම ඇගේ ස්වතන්ත්‍ර නිර්මාණ අපේ රටේ තරුණ පරපුර ආදරයෙන් වැලඳ ගත් අතර, ඊට ඇගේ ළාබාල දඟකාර පෙනුම, ඇගේ විලාසිතා, සහ ඇයටම අනන්‍යවූ කටහඬ බලපෑවා.

1993 ජූලි 30 වැනිදා කොළඹදී උපන් යොහානිගේ පියා 30 වසරකට අධික කාලයක් පුරා පැවැති කුරිරු ත්‍රස්තවාදී යුද්ධය නිමා කළ මානුෂීය මෙහෙයුමේ සුවිශේෂී කාරය භාරයක් ඉටුකළ මේජර් ජනරාල් ප්‍රසන්න ද සිල්වා රණවිරුවායි. යොහානිගේ මව දිනිති ද සිල්වා වන අතර ඇගේ එකම නැගනිය ශාවින්ද්‍රි ද සිල්වා මේ වනවිට උසස් අධ්‍යාපනය ලබනවා.

කොළඹ විශාඛා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ යොහානි උසස් පෙළ හදාරන්නේ එංගලන්තයේ Hatch End High School වෙතින්. ඉන්පසු යළි මව්බිමට පැමිණෙන ඇය සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් ලොජිස්ටික් මැනේජ්මන්ට් උපාධිය ලබා ගත් අතර වසරක පමණ කාලයක් රැකියාවක නියැළීමෙන් පසුව ඔස්ට්‍රෙිලියාවේ Central Queensland Univercity වෙතින් මාස්ටර්ස් උපාධිය ලබායළි මව්රට පැමිණෙනවා.

පාසල් වියේ සිටම සංගීතයට දැක්වූ ඇල්ම නිසාම ඇය පියානෝ වාදනය හදාරන්නට යොමුවූ බවත්, ගිටාර් වාදනය යූ ටියුබ් තුළින් ඉගෙන ගත් බවත් ඇය පවසනවා.

සංගීත ක්ෂේත්‍රයට දැක්වූ දැඩි ඇල්ම නිසාම ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන අවදියේදී ගීත ගායනයට යොමුවුණු යොහානි 2016 වසරේ ඇගේ යූ ටියුබ් නාළිකාව ආරම්භ කර විවිධ කවර් සෝන්ග් ප්‍රචාරය කිරීම ආරම්භ කරනවා. එයින් ලැබූ අසීමිත ප්‍රතිචාර නිසාම මව්බිමට පැමිණි පසු ඇය ඇගේම ස්වතන්ත්‍ර නිර්මාණ කිහිපයක්ම එළිදක්වන ඇය මේ වනවිට සිංහල, ඉංග්‍රීසි, දමිළ, හින්දි යන භාෂා ගණනාවකින් ගී ගයමින් ලොව පුරා ජනප්‍රිය වී අවසන්.

2020 වසරේ ‘ආයේ‘, සිත දැවුණා, රැව්වත් දෑසින්, Mery christmas Baby ගීත එළි දැක්වූ ඇය 2021 වසරේ හාල් මැස්සා ගීතය එළිදැක්වූවා.

 

මේ වනවිට ලොවපුරා තරුණ පරපුරේ මෙන්ම බාල මහලු සෑම දෙනාගේම ආදරය දිනාගත් යොහානිගේ සංගීත චාරිකාවට තරුණී සුබ පැතුම්.