කෝවිඩ් සමයේ ලැබුණු තනතුරේ වගකීම් වැඩියි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන
නොවැම්බර් 11, 2020

 

තම දිවි පරදුවට තබමින් සුව විරුවන් සහ ත්‍රිවිධ හමුදා විරුවෝ කෝවිඩ් හමුවේ නිදිවර්ජිතව ම කටයුතු කරති. මාර්තු මස පටන් මෙරට ව්‍යාප්ත වුණු පළමු කොවිඩ් රැල්ලේ දී මාධ්‍ය ඔස්සේ නිතර දැකපුරුදු මුහුණුවලින් සමහර මුහුණු තවමත් දකිද්දී ඇතැම් මුහුණු වෙනුවට අලුත් මුහුණු ද මෙවර පැමිණි කොවිඩ් රැල්ලේ දී දක්නට ලැබේ.

එලෙස අලුත් මුහුණු අතරට ආ ඔහු නමින් වෛද්‍ය අසේල ගුණවර්ධනයි. ඔහු නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යි. වෛද්‍ය අනිල් ජාසිංහ පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසින් වැඩ භාර ගැනීමත් සමඟින් එම තනතුරේ වගකීම වෛද්‍ය අසේල ගුණවර්ධන වෙත පැවරුණි.

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සුබාශිංසන පළ කරමින් ඔහුව 'තරුණි' පුවත්පත සමඟින් සම්බන්ධ කරගැනීමට අප සිතුවා..

නව පත්වීම ලැබුණේ රටේ ව්‍යසනයක් පැතිර යමින් පවතින කාල වකවානුවක. ඔබට පැවරෙන වගකීම් තවත් වැඩියි නේද?

මේ තනතුරේ වගකීම කොහොමටත් ඉහළයි. මේ ව්‍යසනයත් සමඟින් එම වගකීම දෙගුණ තෙගුණ වුණා. බස්නාහිර පළාතෙත් කොවිඩ් රැල්ල දැන් වඩාත් භයානක අන්දමින් පැතිරෙන්නට පටන් අරන්.

බ්‍රැන්ඩෙක්ස් පොකුර නම් දැන් සාමාන්‍ය අතට හැරෙමින් පවතින්නේ. පෑලියගොඩ පොකුර තවමත් සක්‍රීය යි.මේ තත්ත්වය හැකි ඉක්මනින් පාලනය කිරීමයි මගේ මූලික වගකීම වෙන්නේ.

මෙය කළ යුතු වන්නේ දෛනික ජන ජීවීතය අඩාල නොවෙන ලෙසයි.

රටේ ආර්ථිකය කඩා වැටෙන්න දෙන්නත් බැහැ. කොහොමත් තව වසරක් දෙකක් අපට කෝවිඩ් සමඟ අපේ සාමාන්‍ය ජන ජීවිතය ගෙන යන්න වෙනවා.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරය ජාත්‍යන්තරයට පවා වගකිව යුතු තනතුරක් නේද?

ඔව්, ලෝක සෞඛ්‍ය සංවිධානයත් සමඟ අප සෘජුවම කටයුතු කළ යුතුයි.ඒ වගකීම් සියල්ල සමඟින් අප බැඳීලයි ඉන්නේ. තාක්ෂණික උපදෙස් පවා අපට ඔවුන්ගෙන් ලැබෙනවා.

 

මේ දිනවල මාධ්‍ය ඔස්සේ නිතර දෙවේලේ පෙනී සිටින ඔබ කවුදැයි දැන ගැනීමට බොහෝදෙනා කැමැති ඇති. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරය යනු සෞඛ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ ඉහළම තනතුර.මේ දක්වා ඔබ ආ ගමන් මඟ පිළිබඳ මතකාවර්ජනයක් කළොත්?

 

මම ඉපදුණේ බදුල්ලේ. ඒත් අපේ ගම වුණේ රත්නපුරය. අපි පාසල් ගියෙත් බදුල්ලේ. මගේ අම්මා ගුරුවරියක්. තාත්තා සමූපකාර දෙපාර්තමේන්තුවේ මූලස්ථාන පරීක්ෂක.තාත්තත් ගුරු වෘත්තියේ ඉඳලයි, සමූපකාර ක්ෂේත්‍රයට ඇවිත් තියෙන්නේ. මගේ තාත්තයි හිටපු ජනාධිපති ඩී.බී. විජේතුංග මහත්මයයි සමකාලීනයෝ. එකටම පත්වීම් ලැබ ගිය අය. මට සහෝදරියන් ම තුන්දෙනෙක් ඉන්නේ. ඒ හැමෝම ගුරුවරු. මගේ අම්මයි, තාත්තයි දෙන්නම ජීවතුන් අතර නැහැ. අම්මා නැතිවුණේ මේ වසරේ අප්‍රේල් මාසයේදී මම වෛද්‍ය උපාධිය ලැබුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්්.

පළමු පත්වීම ලැබූයේ ?

පළමු නේවාසික පත්වීම ලැබුණේ රත්නපුරයට. එහි වසරක පමණ කාලයක් සේවය කරලා, මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර ප්‍රදේශයේ පිහිටි රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ලෙස වසර හයක පමණ කාලයක් සේවය කළා. 2000 වසරේදී කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය හදාරන්න පැමිණියා. එය අවසන් කොට නැවතත් බදුල්ල රෝහලේ ළමා හා මාතෘ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ලෙස සේවයේ යෙදුණා. ඒ ඉන්න අතරතුර තමයි මොණරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ලෙස පත් වීම ලැබුණේ. 2003 මැයි පමණ වනතුරු එම තනතුරේ සේවය කළා. ඉන්පසු හොරණ රෝහලේ වෛද්‍ය අධිකාරි ලෙස පත් වී 2008 වනතුරු එහි සිට මුල්ලේරියාව රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස පත්වුණා. එම රෝහලෙත් 2012 පමණ වනතුරු සේවය කරලයි, ඒ වසරේ අගෝස්තු මාසයේදී පමණ කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස පැමිණියේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ නව පත්වීම ලැබෙන තුරුම මම එහි සේවය කළා.

බිරිය සහ දූදරුවනුත් ඔබ සමඟින් මේ හැම පත්වීමක් ම ලබද්දී ළඟින් ම ඉන්න ඇති?

⁣මගේ බිරිය රැකියාවක නියැළෙන්නේ නැහැ. එය මට විශාල අස්වැසිල්ලක් වුණා. මගේ දුව සර් ජෝන් ආරක්ෂක පීඨයේ වෛද්‍ය ශිෂ්‍යාවක්. ඇය කැඩෙට් නිලධාරිනියක්. පුතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අවසන් වසරේ ශිෂ්‍යයෙක්.

මේ ඔබ බලාපොරොත්තුවෙන් සිටි තනතුරක් ද?

කොහෙත් ම නැහැ. මම තනතුරු පසුපස ගිය කෙනකු නෙවෙයි. පුරප්පාඩුවක් තිබුණු නිසා මම ඉල්ලුම් කළා. සුදුසුකම් සපුරා තිබුණු නිසා මාව මේ තනතුරට පත් කළා.

මේ පත්කිරීම සම්බන්ධයෙන් මම අතිගරු ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, සෞඛ්‍ය ඇමැතිතුමියට ස්තූතිවන්ත වෙනවා.

මේ තනතුරේ ඉඳීමින් හැකි උපරිමයෙන් රටට සේවයක් කිරීමයි මගේ එකම අපේක්ෂාව.

ඉදිරියේදී සෞඛ්‍ය සේවය නඟා සිටුවීමට කළ හැකි දේ පිළිබඳ යෝජනාවන් තිබෙනවා ද?

කොවිඩ් නිසා දැන් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනත් මඟකට හැරවිලයි තියෙන්නේ. රෝහල් පද්ධතිය, ප්‍රජා සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ රෝගීන් ට පහසුකම් සැලසීමේ විශාල කාර්යභාරයක් තිබෙනවා. රජයේ දැක්මට අනුගත වෙමින් මේ දේවල් කළ යුතුයි.

එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය සහස්‍ර ඉලක්ක අපට ලබා දීලා තිබෙනවා. මේ හැමදෙයක් ම කැටි කරගෙන සෞඛ්‍ය ක්ෂේත්‍රය තවතවත් නංවාලිය යුතුයි.