මාත් එනවා.. ඔබත් එන්න

නොවැම්බර් 26, 2018

ඇය සොඳුරු සිනහවක් මුව රඳවා ගත්තියකි. එනිසාම සොඳුරු වතක හිමිකාරියකි. නිළියක ලෙසින් රසික හදවත් ඇඳ බැඳ ගැනීමට ඇයට මේ රුව මෙන්ම ඈ සතු නිසඟ රංගන කුසලතාව ද ඉවහල් විය. එහෙත් දැන් වැඩි වශයෙන් ඇය අපට හමුවන්නේ රූපලාවණ්‍ය ශිල්පිනියක ලෙසිනි.

නයනා කුමාරි හමු වී ඇයගේ නවතම තතු විමසුවේ ඇයට ආදරය කරන රසිකයන්ද ඇය හමුවීමට කැමැත්තෙන් පසුවන නිසයි. සුපුරුදු ළෙංගතු කමින් ම ඇය අප හා පිළිසඳරේ යෙදුණා ය.

ඉතිං නයනා මොනවද අලුත්ම විස්තර..?

පහුගිය දවස්වල මම තරමක් කාර්යබහුල වෙලා හිටියේ මගේ අලුත් ම සැලෝන් එක නිසා. මාකොළ සැලෝන් එක විවෘත කරලා තාම මාස තුනක කාලයක් වගේ වෙන්නේ.. ඉතිං ඒක වෙනුවෙන් තරමක් වැඩියෙන් වෙලාව වෙන්කළා.. මේක කාන්තා සහ පිරිමි දෙපක්ෂයට ම වෙන් වූ සැලොන් එකක් වීම විශේෂයි. මාලඹේ තියෙන අනෙක් සැලෝන් එකෙත් වැඩ තියෙන නිසා විවේකය ගොඩක් අඩුයි.

මේවාට එන මනාලියන් හැඩ කරනවාට අමතරව ඔවුන්ගේ ඇඳුම් නිර්මාණය වගේම මල් කලඹ නිර්මාණය කරන්නෙත් මගේ අතින්මයි. මනාලියට අවශ්‍ය විදියට ම මේ දේවල් නිර්මාණය කරලා දෙන්න මම උනන්දු වෙනවා. ඒ නිසා ගොඩක් තරුණියන් මගේ අතින් හැඩවෙන්න වැඩි කැමැත්තක් දක්වනවා. ඇත්තට ම මම මේ දේවල් කරන්නේ ගොඩක් සතුටින්. තවත් කෙනකුගේ මංගල දිනය ලස්සන කරන්න අපිට ලැබෙන ඒ අවස්ථාව අපිට හැකි උපරිමයෙන් ඒ කටයුත්ත කරන්න ඕනේ කියන අදහස මගේ හිතේ තියෙනවා. ඒ අනුව තමයි මම වැඩ කරන්නේ..

තවත් අලුත් වැඩකට අතගහලා තියෙනවා කියලා ආරංචියි.. ඒ ගැනත් කියමුද?

ආ.. ඔව්, ජා ඇල ප්‍රදේශයේ මනාලියන් වෙනුවෙන් කරන වෙළෙඳ ප්‍රදර්ශනයක් පවත්වන්න කටයුතු යොදලා තියෙනවා. ඒක තියෙන්නේ මේ මාසේ 30 වෙනිදා සහ දෙසැම්බර් 01 කියන දවස් දෙකේදි යි. ජා ඇල රියලිටි ප්ලාසා හිදී පවත්වන මෙම වෙළෙඳ ප්‍රදර්ශනය උදෑසන 11.00 සිට සවස දක්වා නොමිලේ පැවැත්වෙනවා. මේ වෙළෙඳ ප්‍රදර්ශනයේ දී මංගල උත්සවයක් පැවැත්වීමේ දී අවශ්‍ය වන මනාලියන් හැඩ ගැන්වීම, මල් සැරසිලි, කේක් නිර්මාණ ආදිය ගැන තොරතුරු හා උපදෙස් ලබා ගැනීමට පුළුවන්. මනාලියන් දැක්මන් ද මේ වෙළෙඳ ප්‍රදර්ශනයේ පැවැත්වෙන නිසා ඒවායින් අදහස් ලබා ගන්නත් මනාලියක් වෙන්න ඉන්න තරුණියන්ට පුළුවන්. ඒ වගේම මෙහිදී ක්ෂේත්‍රයේ ජනපි‍්‍රය ශිල්පීන් හා ශිල්පිනියන් හමුවෙලා ඔවුන් සමඟ කතාබහ කොට දැනුම ලබා ගන්නත් සහභාගී වෙන අයට හැකියාව තියෙනවා. ඉතිං මම ආරාධනා කරනවා තරුණී පාඨක හැමෝටම එදාට ඇවිත් මෙයට සහභාගී වෙන්න කියලා..

දැන් නයනා නිළියක් විදියට ප්‍රේක්ෂයන්ට දකින්න ලැබෙන්නේ නැති වේවිද?

පහුගිය කාලෙ නම් තිබුණ කාර්ය බහුල බව නිසා මම රංගනයෙන් දුරස්වෙලා හිටියා කියලා මටත් හිතුණා. ඒත් දැන් ආයෙත් ඔයාලට මම රඟපාන නිර්මාණ බලන්න පුළුවන්. ජීවන් හඳුන්නෙත්තිගේ ‘සාරි ගැටේ’ කියන වේදිකා නාට්‍යයේ මම පුහුණුවීම් කළා. මේක ගොඩක් ලස්සන වේදිකා නාට්‍යයක්. එහි දර්ශන වාර කිහිපයක් ඉදිරි දිනවල දී තියෙනවා.

මේ මාසේ අවසානේ ටෙලිනාට්‍යයක් කරන්න ඉන්නවා. මම රංගනයෙන් තරමක් ඈත් වුණේ රූපලාවණ්‍ය ශිල්පිනියක් විදියට වගකීම හරියට ම ඉටු කරන්න ඕනේ නිසයි.

ඔබේ පවුල ගැනත් කතා කරමුද?

දැන් මගේ පුතාට අවුරුදු 13 ක් වෙනවා. රාජකීය විද්‍යාලයේ අට ශ්‍රේණියේ තමයි පුතා ඉගෙන ගන්නේ.. ඇත්තට ම පුතා දැන් තරමක් ලොකු නිසා මට එයාගෙන් උදව්වක් මිසක් කරදරයක් නැති තරම්.. ඒ වගේමයි මගේ මහත්තයා.. ඔහුත් නිවෙසේ වැඩවල දී වගේම පුතාගේ කටයුතුවල දීත් මට සහාය වෙනවා. මගේ අම්මත් මගේ වැඩවලට උදවු වෙනවා. ඒ වගේම ගෙදර වැඩවලට උදවුවටත් කෙනෙක් ඉන්න නිසා ඇත්තටම නිවෙසේ වැඩවලින් මට ලොකු කරදරයක් නෑ. ඒ නිසා වැඩි වෙලාවක් අනෙක් වැඩ වෙනුවෙන් වැය කරන්න පුළුවන්. මගේ වැඩවලට පුතත් හරි කැමැතියි. ඒ නිසා එයා ඒවට උදවු කරනවා මිසක් කරදර කරන්නේ නෑ..

ඒ කියන්නේ පුතත් කලාවට කැමැතියි කියන එකද?

ඔව්. පුතාට කලා හැකියාවන් කිහිපයක් ම තියෙනවා. එයාට රංගනයට, නර්තනයට, සංගීතයට වගේ බොහෝ කලාත්මක දේවලට හැකියාවක් තියෙනවා. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියටත් පාසලේ කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි, එයා හොඳ බුද්ධිමත් ළමයෙක්. එයා පන්තියේ ඉගෙනීමේ කටයුතුත් හොඳින් සිදු කරනවා. ඒත් අපි පුතාට කිසිම දේකට බලකිරීමක් කරන්නේ නෑ. එයාගේ කැමැත්තට ඉඩ දෙනවා. මාත් සුමිතුත් කියන්නේ බාහිර දේ කළාට කමක් නෑ, හැබැයි ඉගෙනීමට මුල් තැන දෙන්න කියලා.

රූපලාවණ්‍ය නිසා ඔබ දිගින් දිගටම කාර්යබහුල වේවිද?

අනිවාර්යයෙන් ම. මොකද අපිට එන්න කියලා පිට පළාත්වලින් ලොකු ඉල්ලුමක් තියෙනවා. අපි නොදන්නවාට රූපලාවණ්‍ය ගැන දැනුම ලබා ගන්න අපහසු පළාත් අපේ රටේ තියෙනවා. ඉතිං එහෙම ප්‍රදේශවල අය අපිට කතා කරලා ඒ ගැන කිව්වා. ඒ නිසා ලබන අවුරුද්ද පුරා වැඩමුළු 10 ක් විතර පිට පළාත්වල කරන්න අපි සැලසුම් කරගෙන යනවා.

තමා සතු රුව අන් අයටත් හිමිකර දෙන්න නොපැකිලව ඉදිරිපත් වන මේ සුරූපිනිය හමු වී ඇයගෙන් උපදෙස් ලබා ගන්නට ඔබටත් පුළුවන්. ඒ සඳහා ජා ඇල පැවැත්වෙන වෙළෙඳ ප්‍රදර්ශනයේ දී ඇය හමුවීමට ඔබට හැකියාව තිබෙනවා.

 

ඡායා  - ඩයන් ප්‍රදීප්