ආසියාවේ අංක එකේ ධනවතාගේ දියණිය ඊෂා අම්බානි යුගදිවියට

දෙසැම්බර් 19, 2018

කාන්තිය විහිදුවමින් දිදුලන තරු පෑයූ තවත් අපූර්වතම විවාහ මංගල්ලයක් පසුගිය දා මුම්බායි හි අන්තිලියා නිවෙසේ සිදුවිය. ඒ ව්‍යාපාරික අඹරේ දිදුලන යුවළකගේ එකම දියණියගේ විවාහයයි.

බොලිවුඩයේ හා කොලිවුඩයේ සුපිරි තරු, කි‍‍්‍රකට් තරු, දේශපාලන තරු මෙන්ම පොප් තරු පෑයූ මේ අපූර්වතම විවාහය දින පහක් පුරා ඉන්දියාවේ දී පැවැත්විණි.

අති සුපිරි විවාහයක් වූ මෙය කාගේත් කතාබහට ලක්වූවකි. අලූත විවාහපත් ‘දීප්වීර්’ යුවළත් ‘නික්යන්කා’ යුවළත් මෙහිදී කැපී පෙනුණි. බච්චන්ලා, ඛාන්ලා, කපූර්ලා, රායිලා, ශෙට්ටිලා මෙන්ම දකුණෙන් පැමිණි රැජ්නි කාන්ත් මෙන්ම අමෙරිකාවෙන් පැමිණි හිලරි ක්ලින්ටන් ද උත්සවයේ තරු අතර විය. ක්‍රිකට් ලොව දිග්විජය කළ සචීන් තෙන්ඩුල්කාර් පවුල මෙන්ම යුවරාජ් සිං පවුල ද මෙයට එකතු වූයේ සමස්ත ඉන්දියාවේම ජනප‍‍්‍රිය පුද්ගලයන් එක් තැනකට රොක් කරමිනි.

මේ ඉන්දියාවේ මෙන්ම ආසියාවේ අංක එකේ ධනවතා වූ මුකේෂ් අම්බානි සහ නීතා අම්බානිගේ දියණිය ඊෂා අම්බානිගේ විවාහයයි. මනාලයා ඉන්දියාවේ තවත් ධනවතෙක් වූ අජේ පිර්මාල් ගේ පුත් ආනන්ද් පිර්මාල් ය. මේ සුවිශේෂී විවාහ මංගල්‍යයට හිටපු අමෙරිකානු ජනාධිපතිවරයකු වූ බිල් ක්ලින්ටන් ගේ බිරිය හිලරි ක්ලින්ටන් ද ආරාධිතයකු ලෙසින් සහභාගී විය. අමෙරිකානු පොප් රැජින බියොන්සේ ද ඔවුනගේ විවාහයේ සංගීත් උත්සවයට එකතු වූයේ අමෙරිකන් ඩොලර් මිලියන දෙකක මුදලකටය. එපමණක් නොව ඓෂ්වර්යයා රායි, ශාරුක් ඛාන්, සල්මන් ඛාන්, සායිෆ් අලී ඛාන්, ශිල්පා ශෙට්ටි ආදී බොලිවුඩයේ සුපිරි තරු නර්තනයෙන් රාජස්තාන් හි උඩයිපූර්වල පැවැති සංගීත් උත්සවය හැඩ කළේය. මෙම සංගීත් උත්සවයේ නැටුම් අධ්‍යක්ෂණය කර තිබුණේ ශ‍‍්‍රී ලාංකිකයකු වීම තවත් සුවිශේෂත්වයක් උසුලයි. ඒ ප‍‍්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික‍‍්‍රමසිංහය.

අවසන් විවාහ උත්සවය පැවැතියේ නීතා අම්බානි ප‍‍්‍රමුඛ අම්බානි පවුලේ සුපිරි නිවෙස වූ අන්තිලියා හිදීය. මේ සුපිරි නිවෙස දෙවැනි වන්නේ එංගලන්තයේ බකිංහැම් මාලිගාවට පමණයි.

අමිතාබ් බච්චන්, බිරිය ජායා, දියණිය ස්වේතා සමඟ මිණිපිරිය නව්‍යා නවේලි එක්වී සිටියා. ඓයිෂ්චර්යයා රායි, අභිෂේක් භච්චන් සමඟ දියණිය ආරාධ්‍යා ද මේ විවාහයේ අමුත්තන් අතර විය. කරීනා කපූර්, සායිෆ් අලී ඛාන්, කරිෂ්මා කපූර්, ශාරුක් - ගෞරී ඛාන් යුවළ, රේඛා, ආලියා භාත්, අනිල් කපූර් - බිරිය මෝනා - දියණිය සෝනම්, ශ‍‍්‍රී දේවිගේ දියණියන් දෙදෙනා කුෂි, ජාන්වී සමඟ ඔවුන්ගේ පියා බොනී කපූර්, ෂාහිඩ් කපූර් යුවළ, ශිල්පා ශෙට්ටි, සුනිල් ශෙට්ටි යුවළ, රජ්නි කාන්ත් යුවළ, මධුරි ඩික්සිත්, රීතික් රෝෂන්, අමීර් ඛාන් යුවළ, සල්මන් ඛාන්, කර්න් ජෝහාර්, විද්‍යා බාලන් සහ සැමියා, රවීනා තන්ඩන් සහ සැමියා ආදී බොලිවුඩ් තරු මෙහිදී කැපී පෙනුණි.

විවාහයේ සියලු වියදම අමෙරිකන් ඩොලර් මිලියන සියයක් විය. විවාහයට පෙර පැවැති උත්සවයට හා විවාහ උත්සවයට අමෙරිකන් ඩොලර් මිලියන් 15 ක් පමණ වියදම් වී ඇත. පැමිණි අමුත්තන්ට නවාතැන් ගැනීමට හෝටල්, ගුවන්ගමන් වියදම් ආදී සියල්ල මෙයට ඇතුළත්ය. මුම්බායි සිට රාජස්තාන් වෙත අමුත්තන්ට යෑමට කුඩා ගුවන් යානා සියයක් යොදවා තිබූ බව පැවසේ.

ඊෂා අම්බානි සිය සොහොයුරන් දෙදෙනා වූ ආනන්ත් හා ආකාශ් විසින් විවාහ මණ්ඩපය වෙත කැඳවාගෙන ආවේ පෙරහරක සිරිය පෙන්වමිනි. මුකේෂ් අම්බානිගේ වැඩිමහල් පුත් ආකාෂ් හා විවාහ ගිවිසගත් රන් ආභරණ ව්‍යාපාරික දියණිය ස්ලෝකා මෙහෙතා ද මෙහි විය.

ඊෂා මෙන්ම ආනන්ද් ද උපාධිධාරීන්ය. දැන් දෙදෙනාම සිය පවුල්වල ව්‍යාපාර සමඟ සම්බන්ධ වී කටයුතු කරයි. ඔවුන් දෙදෙනාම අමෙරිකාවේ අධ්‍යාපනය හදාරා ඇති අතර එහිදී දෙදෙනා අතර ඇති වූ පේ‍‍්‍රම සම්බනධය මෙලෙස මල්පල ගැන්වී තිබුණි. ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම සිදු වූයේ දීප්වීර් විවාහ උත්සවය පැවැති ඉතාලියේ ලේක් කොමෝ හිදී ය. එදින ආකාශ් අම්බානි හා ස්ලෝකා මෙහෙතා ද විවාහ ගිවිස ගත් අතර ඔවුනගේ විවාහය ද නුදුරේදීම පැවැත්වේ. මේ වසර ගණනාවක් මතකයේ රන්දන ඊෂා අම්බානි ගේ අසිරිමත් විවාහයේ සොඳුරු සේයාරූ පෙළකි.