කලාවට එන්න වගේම කලාවේ රැඳෙන්නත් ලොකු කැපවීමක් කළ යුතුයි

මාර්තු 13, 2019

උදාරි වර්ණකුලසූරිය නෙතට රසඳුනක් වන රුවක් ලබන්නට වාසනාවන්තියකි. කලක් තිස්සේ මේ රුවැත්තිය අපේ හදවත් අභියස නතර වී හිඳින්නේ ඈ දෝත දරන රංගන කෞෂල්‍ය නිසාය.

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය මවක්, බිරියක් ලෙස ද පිරිපුන් ජීවිතයක් ගෙවන්නීය. ඇගේ ජීවිතයේ තතු ඔබට කියන අපි උදාරිගේ සොඳුරු කැදැල්ලට පිය නැඟුවෙමු. මේ ඔබ වෙනුවෙන් අවදිකළ උදාරිගේ ළබැඳි හඬය.

"මගේ ජීවිතයේ හැම දෙයක්ම කලට වේලාවට නෙමෙයි වෙලාවටත් කලින්ම සිදුවන්න තරම් මං වාසනාවන්තයි කියලා හිතෙනවා. හැබැයි මේ වාසනාව නිකන්ම උදාවුණේ නැහැ. මං වාසනාව හඹා ගියා. සුදුසු කල්හි සුදුසු තීරණ ගත්තා. ඒ අනුව අවුරුදු විස්සක් වෙද්දි මගේ විවාහය සිදුවෙනවා. අවුරුදු විසි හතරක් වෙද්දි මං අම්මා කෙනෙක් වෙනවා.

මම නිළියක් වුණේ විවාහක ගැහැනියක් වීමේ ආරක්ෂාවත් සමඟයි. රංගනයට උපරිම සාධාරණයත්වයක් ඉටුකරන්න උත්සාහ කළ නිසා මගේ ජනප්‍රියත්වයට විවාහය බාධාවක් වුණේ නැහැ. ඇත්තටම මං 2011 වසරේදී ජනප්‍රිය නිළිය ලෙස සුමති සම්මානය ලැබුවේ දරුවා කුසේ සිටියදීයි.

සැමියා සුජිත් ඉන්දීවර දූ ෂෙනර්යා උමේලි එක්වී තැනෙන මගේ කැදැල්ල බොහොම ආදරණීයයි. සුජිත් සිංගප්පූරුවේ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස සේවය කරනවා. මට රංගන ශිල්පිනියක් ලෙස කලාවේ දිගින් දිගටම රැඳෙන්න හැකි වී ඇත්තේ ඔහුගෙන් ඊට ලැබෙන ආශිර්වාදය නිසායි. "ජීවිතය අවසානයට පසුතැවිලි තියා ගන්න එපා. ඒ නිසා රංගන ශිල්පිනියක් වීමේ සතුට අතහරින්නේ ඇයි?"

සුජිත් මට කලාවේ රැඳී ඉන්න දිරි දෙනවා. අම්මා ජනප්‍රිය නිළියක්වීම ගැන දුවටත් ආඩම්බරයක් තිබෙනවා. හත් හැවිරිදි ෂෙනර්යා කොළඹ බ්‍රිටිෂ් ස්කූල්හි ඉගෙනුම ලබනවා. සුජිත් සිංගප්පූරුවේ සේවය කරනවා. මේ නිසා මං මගේ ජීවිතය ලංකාවේත් සිංගප්පූරුවේත් ගෙවනවා. ලංකාවේදි මට රංගන ශිල්පිනියක වීම නිසා රසික ආදරය ලැබීමේ සතුට විඳිනවා. සිංගප්පූරුවේදී බොහොම සාමාන්‍ය අයකු ලෙස පෞද්ගලික නිදහස් ජීවිතයක සතුට ලබනවා.

2019/03/13 තරුණි බලන්න.