ලොකු සිහිනයක් තිබුණ පුංචි කොල්ලෙක්

ආදරය හා ආසාව හඹා ජයගත් ලයනල් මෙසීගේ කතාව
අප්‍රේල් 3, 2019

පාර පුරා විසිරුණු කළුගල් කැබලි මොනතරම් ද? නිකමට දිනපතා එක් ගල් කැබැල්ලක් ඇහිඳ ඇවිත් නිශ්චිත එක තැනකට දමන්න. අවුරුදු කිහිපයක් යනවිට එය ගල් ගොඩක්බවට පත්වී තිබෙනු දැකගත හැකියි. අපි එක් දිනක දී ගන්නා පුංචි උත්සාහයක් වසර කිහිපයක දී එලෙස ගල් ගොඩක් බවට පත්කරන්නේ නම් අද ඔබ ආදරයෙන් හා ආශාවෙන් යමක් කිරීම අරඹන්නට තබන පළමු පියවර වසර කිහිපයක් යනවිට කුමන තත්ත්වයකට පත්ව තිබිය හැකිද?

ජීවිතය දිනන්නට නම් ආදරයක් හා ආශාවක් තිබිය යුතුය. ඒ ඔබ කරන්නට තෝරාගන්නා දෙය කෙරෙහිය. ජීවිතය දිනන්නට පාර පෙන්වන අපේ මේ සාර්ථකත්වයේ රහස් තුළින් මා ඔබට අද කියන්නට යන්නේ ද ළාබාල වියේදීම දැකි සිහිනයට ආදරයකර ඒ සිහිනය යථාර්ථයක් කරගන්නට අසාමාන්‍ය කැපවීමක් කළ ධෛර්යවන්ත මිනිසකු ගැනයි. හේ ලයනල් මෙසී ය.

පාපන්දුවට පෙම්බඳීන අයට මේ නම නුහුරු නැත. නමුත් අපේ රටේ ඇත්තන්ට පාපන්දු යනු ක්‍රිකට් තරම් ජනප්‍රිය ක්‍රීඩාවක් නොවේ. ඒ නිසා ලයනල් මෙසී යනු ඔබට එතරම් හුරුපුරුදු නමක් නොවනු ඇත. අන්තර්ජාතික පාපන්දු ක්‍රීඩකයෙක් වන ලයනල් මෙසී පාපන්දු ලොවේ දී කවුරුත් හඳුන්වන්නේ ‘ලියෝ’ යන ආදරණීය නමිනි. ජීවිතය ජයගන්නට හිතන අයට මේ ආදරණීය ක්‍රීඩකයාගෙන් ගත හැකි ආදර්ශ බොහෝය.

උස යාම අඩාල වීම පිළිබඳ ගැටලුවකට කුඩා කල සිට මුහුණ දුන් ඔහු තම කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයන් තරම් උස නැත. එහෙත් ඔහු වෙතින් ප්‍රකට වෙන දක්ෂතා අනෙක් කිසිවකුට සමකළ හැකි නොවේ. ඒ නිසාම ලියෝ යනු අසහාය ක්‍රීඩකයෙකි.

ඔහු උපදින්නේත් පාපන්දුවට ආදරය කරන පවුලක සාමාජිකයෙක් විදිහටයි. 1987 ජුනි 24 වැනි දින ආර්ජන්ටිනාවේ රෝසාරියෝහිදී මධ්‍යම පාන්තික පවුලක උපන් ලියෝ වයසින් වැඩෙත්ම සිය සොහොයුරන් දෙදෙනා හා යහළුවන් සමඟ පාපන්දු සෙල්ලම් කරන්නට විය. පසුව රොසාරියෝහි ක්‍රීඩා සමාජයකට බැ¼දී පාපන්දු ක්‍රීඩා කිරීම ඇරැඹීය. ඉතා ළාබාල වයසේදීම ලියෝ පාපන්දු ක්‍රීඩාවේ සියලු ගුණාංග හදාරනවා. ඔහු පාපන්දුවට ලොල්වූවකු ලෙස එයට පෙම්බඳීන්නකු ලෙස මේ ක්‍රීඩාව ඉගෙනීම පහසු කරනවා. යමකට හදවතින්ම ආදරය කරනකොට ඒ දෙය හදවතින්ම අපේක්ෂා කරනකොට මොනතරම් දුෂ්කර දෙයක් වුවත් පහසුවෙන් ඉගෙන ගන්නට පුළුවන් කියන න්‍යාය ඔහු සත්‍ය කරන්නේ ළමා වියේදීමයි. අවුරුදු පහක් වයසේදී ආර්ජන්ටිනාවේදී පාපන්දු පුහුණකරුවකු වූ සිය පියා ඔහු සතු විශේෂ හැකියාවන් හඳුනාගන්ට සමත් වෙනවා. ඒ තරම් සුවිශේෂ දක්ෂතාවන් මේ පුංචි කොලු ගැටයා ප්‍රකට කරන්නේ අනාගතයේ දී අති දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක් වීමේ ලක්ෂණ පෙන්වමිනි. ඒත් මෙහිදී ඔහුගේ මිටිබව විශේෂයෙන් කැපී පෙනෙන්නට වෙනවා. ඔහුගේ සම වයසේ ළමුන් සමඟ ගත් විට වර්ධනය නොවූ දරුවෙක් වෙනවා.

කොතැන ගියත් ලයනල් මෙසී එම කණ්ඩායමේ ඉන්න මිටිම ක්‍රීඩකයා වනවා. මේ ගැන මෙසී පසුකලෙක මෙහෙම කියලා තියෙනවා. ‘මං පාසලට ගියත් ක්‍රීඩාපිටියට ගියත් හැමවිටම එතැන ඉන්න මිටිම හාදයා වෙන්නේ මායි.’ ලියෝගේ මේ මිටිබව වර්ධනය මඳකමක් ලෙස වෛද්‍යවරු විසින් සොයාගැනෙනවා. ඒ සඳහා ප්‍රතිකාර ලෙස වර්ධන හෝර්මෝන ලබාදීම ඇරඹෙනවා. එතැන් සිට සෑම රාත්‍රීයකම අවුරුදු තුනක් යනකම් ලියෝගේ කකුල්වලට ඉන්ජෙක්ෂන් කටුතුඩේ වේදනාව දරාගන්නට සිදුවෙනවා. එය අධික වියදමක් දරන්නට සිදුවන දෙයක් බවටත් පත්වෙනවා. මේ මිල ඒ පවුලට දැරීමට අසීරුම දෙය වෙනවා. ඒත් අනාගතයේදී අසහාය ක්‍රීඩකයකු වීමේ ලක්ෂණ පෙන්වන මේ කොලු ගැටයාගේ පාපන්දු තරුවක් වීමේ සිහිනය උපන්ගෙයිම මරාදමන්න ඉඩදෙන්නට මේ පවුලේ අය කැමැති වෙන්නේ නැහැ. එනිසාම එවකට මෙසී බැඳී සිටි ක්‍රීඩා සමාජයෙන් මේ වියදම දරන්නට හැකිදැයි පියා විමසනවා. ඒත් ක්‍රීඩා සමාජය එය ප්‍රතික්ෂේප කරනවා. ඒ හින්දම මේ තාත්තා තමන්ගේ පුතාවත් අරගෙන වෙනත් පාපන්දු ක්‍රීඩා සමාජ වෙත යාම අරඹනවා. ඒ තමාගේ පුතාගේ අසාමාන්‍ය දක්ෂතා පෙන්වලා ඔවුනගේ පාපන්දු ක්‍රීඩා සමාජවලට තරග කරන්නට එක්කර ගන්නයි. මෙමඟින් ලියෝගේ වෛද්‍ය වියදම් පියවාගන්නයි. මෙහිදී එක් පාපන්දු ක්‍රීඩා සමාජයක් ලියෝගේ වෛද්‍ය වියදම් දරන්නත් ඔහුව ක්‍රීඩා සමාජයට බඳවා ගන්නත් කැමැත්ත ප්‍රකාශ කරනවා. ඒ වන විට ලියෝට අවුරුදු 13 යි. පාපන්දු ක්‍රීඩා සමාජය මෙසීට ආරාධනා කළත් ඔවුන් මෙසීගේ වෛද්‍ය වියදම් දැරීමට කැමැති වුවත් තවත් දෙයක් සිදුවනවා. ඒ ආර්ජන්ටිනා ආර්ථිකය කඩා වැටී පොරොන්දු ඉටු කරන්නට ක්‍රීඩා සමාජයට නොහැකි වීමයි. ඒත් එක් විස්මයජනක දෙයක් සිදුවනවා.

 

ලබන සතියට..