රන් සපත්තුව පස් වරක් දිනූ ලොව එකම පාපන්දු ක්‍රීඩකයා

අප්‍රේල් 10, 2019

තරු පිරි අහස්ගැබ විශ්වයම ලස්සන කරයි. මහ පොළොව මත උපන් සමහර මිනිසුන් ස්ව උත්සාහයෙන් තාරකා බවට පත්වී මිහිමව හැඩ කරයි.

මේ එවැනි තරුවකගේ කතාවයි. තමන් උපන්නේ පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන්ම යැයි ළමා වියේදීම අවබෝධ කරගත් මේ තරුව ලයනල් මෙසීය. පාපන්දුවට ඇති ආශාව හා ආදරය මතින් ජීවිතයේ සියලු සාර්ථකත්වයන් අත්කරගත් ඔහු ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායකයායි. පසුගිය සතියේ අපි ඔහුගේ සාර්ථකත්වයේ රහස් කියැවීම ඇරැඹුවෙමු. අද අපි ඔහුගේ ජීවිතයේ ඉතිරි පෙළගැස්ම කියවමු.

ආර්ථික ප්‍රශ්න නිසා අවශ්‍ය එන්නත් ලබා ගැනීම ලියෝගේ පවුලට ගැටලුවක් වුණා. ඒත් ඒ අතර එක් විස්මය ජනක දෙයක් සිදු වූ බව පසුගිය සතියේ මම ඔබට කිව්වා. ඒ තමයි අවුරුදු 13 වන වියේදී ලියෝ ස්පාඤ්ඤයට පැමිණීම. එහෙම ආවෙ ස්පාඤ්ඤයේ බාසිලෝනා ක්‍රීඩා සමාජයෙන් ලැබුණු ආරාධනාවකටයි. එය ඔහුට ස්වර්ණමය අවස්ථාවක් වනවා. ඔවුන් ඔහුගේ වෛද්‍ය වියදම් දැරීමට ද එකඟ වෙනවා. බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජය කියන්නේ කෙනකුට ලේසියෙන් ඇතුළු විය නොහැකි ඇතුළු වීම ගැන හිතන්නවත් බැරි ක්‍රීඩා සමාජයක්. ඒ මොකද කියනවා නම් ඔවුන් නිරන්තරවම තම ක්‍රීඩා සමාජයට බඳවා ගන්නේ සුපිරි දක්ෂතා තියෙන අය විතරයි. ඇත්තම කිව්වොත් මේ ක්‍රීඩා සමාජයේ ඉන්නේ ලොව ප්‍රධාන පෙළේ අන්තර්ජාතික ක්‍රීඩකයොයි. ඉතින් එහෙම තැනකට පුංචි කොලු ගැටයෙක් ඇතුළත් කරගන්නවා කියන්නේ විස්මයක් නොවේද? ඒ වගේම ඒ වෙනකොටත් කැපවීම මතින් ලියෝ මොනතරම් නම් දක්ෂතාවක් පෙන්වන්න ඇතිද?

ලියෝගේ පවුලේ අයත් මිල මුදල්වත් රැකියාත් නැතිවුණත් තම පුතා සමඟ ස්පාඤ්ඤයට පැමිණෙනවා. පවුලේ හැමෝගෙම බලාපොරොත්තුව ලියෝ සහ ලියෝගේ අසාමාන්‍ය දක්ෂතායි. මේ බාසිලෝනා කණ්ඩායමේ හිටිය වයසින් අඩුම ක්‍රීඩකයත් ඔහුයි. ඒත් ඔහුගේ දක්ෂකම් අනෙක් හැම ක්‍රීඩකයෙක්ගේ හැකියාවක්ම පරදවන සුලුයි. වයස අවුරුදු 17 ක් වනවිට ඔහු ගෝල් එකක් වාර්තා කළ බාසිලෝනා කණ්ඩායමේ හිටිය ළාබාලතම ක්‍රීඩකයා ලෙසින් අලුතින් වාර්තාවක් තබනවා. මේ නිසාම ලියෝ ලකුණු රැස්කිරීමේ යන්ත්‍රයක් ලෙස හඳුන්වන්නත් සමහරු පසුබට වෙන්නේ නැහැ. ඒ තමයි ඔහුගේ ක්‍රීඩාවට තිබුණු නොසංසිඳෙන ඇල්ම. පාපන්දුවටම හිත ගිය ලියෝ ස්ව උත්සාහයෙන්ම අනෙකුත් ගැටලු පරාද කරන්නට සමත් වෙනවා. ඒ ඔහු ගේ මිටි බව පාපන්දු සෙල්ලම් කිරීමට ගැටලුවක් නොකර ගන්නට ලියෝ තුළ වූ සහජ දක්ෂතාව නිසාමයි. දිනෙන් දින කැපී පෙනෙන දක්ෂතාවන් පෙන්වන්නට වන ලියෝ ගැන පාපන්දු ලෝකයේ හැමෝම කතාකරන්නට පටන් ගන්නවා. ඔහු සුපිරි තරුවක් වනවා.

ඒ අතර ආර්ජන්ටිනාවෙන් බිහිවූ සුපිරි තරුව වූ දියාගෝ මැරඩෝනා ද වනවා. ක්‍රීඩාවෙන් සමු අරන් සිටි මැරඩෝනා බීබීසී ක්‍රීඩා පුවත්වලට ප්‍රකාශකර සිටියේ මෙවැන්නක්. ‘මම ඔහුව දකින්නේ බොහෝ සෙයින්ම මට සමාන වූවෙක් ලෙසින්. ලස්සන පාපන්දු ක්‍රීඩාවට හොඳ පාඩම් කියාදෙන නායකයෙක් ඔහු. ලෝකයේ සිටින අනෙකුත් පාපන්දු ක්‍රීඩකයන්ගෙන් බොහොම වෙනස් ලක්ෂණ රැසක් ඔහු වෙතින් විද්‍යාමාන වෙනවා.’

 

2019/04/10 තරුණි බලන්න