මා පළමු යොවුන් කුමරියගේ බාල දියණියයි

අප්‍රේල් 24, 2019

යොවුන් කුමරිය

චාමිනී විහේන්ද්‍රා සිරිවර්ධන

ජාතික තරුණසේවා සභාවේ මෙහෙයවීමෙන් අපේ තරුණ තරුණියෝ පසුගියදා හම්බන්තොට වීරවිලදී කඳවුරු බඳින ලදී. ඒ 2019 වසරේදී පවත්වනු ලැබූ දසවැනි යොවුන්පුරය සඳහායි. මේ යොවුන් පුරයේදී යොවුන් කුමරා හා යොවුන් කුමරිය ලෙස කිරුළු පැලැඳූ යෞවනයාත් යෞවනියත් තම ජයග්‍රහණයට ආ ගමන් මඟ පිළිබඳ මෙලෙස හෙළිදරව් කරති.

මං උපන්නේ මොනරාගල කලාවට ළැදි පවුලකයි. මට වැඩිමහල් සොයුරියන් දෙදෙනකු හා වැඩිමහල් සොයුරකු ඉන්නවා. ඔවුන් තිදෙනාම රැකියාවල නියුතුයි. මගේ තාත්තා සංගීතයට බොහොම නැඹුරු කෙනෙක්. ඔහු කලායතනයක් පවත්වාගෙන යනවා. ඒ අතරේ තාත්තාට ඔහුගේම සංගීත කණ්ඩායමකුත් තිබෙනවා

මේ පසුබිමේ හැදුණු වැඩුණු අපටත් කලා හැකියාවන් උරුම වුණා. ගායනයට විශේෂ දක්ෂතා ඇති මා මේ වන විට සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ තෙවැනි වසරේ විශේෂවේදී සංගීත උපාධිය හදාරන ශිෂ්‍යාවක්.

මීට තිස්හය වසරකට පෙර පැවැත්වූ පළමුවැනි යොවුන් පුරයේදී යොවුන් කුමරිය ලෙස කිරුළු දිනා තිබෙන්නේ මගේ අම්මියි. මේ නිසාම අම්මි අපව යෞවන සම්මාන තරගවලට යොමු කළා. ඒ අනුව සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂා තුනෙන්ම ගීත ගායනා කරලා මගේ එක් අක්කා කෙනකු සමස්ත ලංකා යෞවන සම්මාන තරගාවලියේදී පළමු ස්ථාන තුනම හිමිකරගන්න සමත් වුණා. මටත් එක්වරක් ඉංග්‍රිසි අංශයෙන් සමස්ත ලංකා යෞවන සම්මාන ගායනා තරගයෙන් දෙවැනි ස්ථානය දිනා ගන්න හැකි වුණා.

මේ නිසාම තරුණසේවා සභාවේ යෞවන සමාජය එක්ක අපේ ඇසුරක් තිබෙනවා. තරුණසේවා සභාවේ මහින්ද සර් සහ කපිල සර් යන දෙදෙනා මෙවර යෞවන කුමරිය තරගයට ඉදිරිපත්වීමට මාව උනන්දු කළා. ඒ වන විට මං මොනරාගල බක්මහ උළෙල තරගවලදී අවුරුදු කුමරිය වීමේ භාග්‍ය ලබා තිබුණා. අම්මිත් පළමු යොවුන් පුරයේ අවුරුදු කුමරිය වී තිබූ නිසා ගෙදරිනුත් මට මේ සඳහා ආශිර්වාද කළා.

අවසන් වටයට අවස්ථාව ලැබුණේ දිස්ත්‍රික් තරගවලදී පළමු ස්ථානය හිමි වූ නිසායි. ඒත් අවසන් තරගය ආසන්නයේදීම මා විශ්වවිද්‍යාලයේ විභාගවලට මුහුණ දිය යුතුව තිබුණා. විභාගවලට වෙහෙසුණු තෙහෙට්ටුව සමඟමයි මං හම්බන්තොට වීරවිල පැවති යොවුන් පුරයට ගියේ. ඕනෑකම පෙරටුව තරගයට ඉදිරිපත් වුණු නිසා මං තරගයට මුහුණ දුන්නේ මේ වෙහෙස අමතක කරමිනුයි. ඇත්තටම ඒ මොහොතේ මට මතක් වුණේ කිසිම සූදානමක් නැතිව පළමු යොවුන් කුමරිය තරගයට මුහුණ දුන් මගේ අම්මාවයි. ඈ යොවුන්පුරයට සහභාගි වී තිබුණේ ඇගේ සොයුරියක් සමඟයි. මාත් සමඟ යොවුන්පුරයට සහභාගි වූ මගේ පොඩි අක්කා මාව සූදානම් කරවන්න පෙර සූදානමකින් හිටියා.

පළමු වටයේදී පෞරුෂත්වයට, බාහිර පෙනුමට, ඇඳුමට ලකුණු ලැබුණා. දෙවැනි වටයේදී මා විශේෂ හැකියාවක් පෙන්විය යුතු වුණා. ඒ සඳහා මං ගිටාරයක් වාදනය කරමින් සිංහල, දෙමළ, ඉංග්‍රීසි, හින්දි යන භාෂා හතරින්ම ගීත ගායනා කළා. අවසානයේදී දසවැනි යොවුන්පුරයේ යොවුන් කුමරිය ලෙස මගේ නම කියැවුණා. ඒ අවස්ථාවේ මගේ සිතට ආවේ අම්මි දිනූ කිරුළ මටත් ලැබුණු සතුටයි.

සංගීතයට පමණක් නොවෙයි මං රංගනයටත් කැමැත්තක් දක්වනවා. උසස් පෙළ විභාගයට සූදානමින් සිටියදී මට රංගනයට අවස්ථා ලැබුණා. ඒත් ඒ වෙද්දී මගේ මූලික අරමුණ වුණේ විශ්වවිද්‍යාල සිහිනය සැබෑකර ගැනීමයි. ඒ නිසා එදා මා රංගනයට යොමුවුණේ නැහැ. ඒත් දැන් අවස්ථාවක් ලැබුණෝතින් හොඳ නිර්මාණයකට රංගනයෙන් දායක වෙනවා.

ලිපිනය

අංක 208/ඒ, හෙළසිරි, උසාවිය ඉදිරිපිට, වැල්ලවාය පාර, මොනරාගල.

-------------

තරගයේ ස්වභාවය පිළිබඳ අවබෝධයෙන් ඉදිරිපත් වුණා

යොවුන් කුමරා

ජනිඳු මධුවන්ත දිසානායක

පිරිමි දරුවන්ම තිදෙනෙක් ඉන්න අපේ පවුලේ ලොකු පුතා මමයි. මං උපන්නේ අවිස්සාවේල්ල පුවක්පිටියේයි. ඒත් අපේ පවුලේ අය දැන් පදිංචි වී සිටින්නේ පාදුක්කේ මීපේයි.

මගේ තාත්තා රජයේ ආරක්ෂක අංශයේ රැකියාවක් කරනවා. අම්මා නිවෙසේ රැඳී සිටින්නේ පුතුන් තිදෙනකු ඉන්න පවුල වෙනුවෙන් ඇප කැප වෙන්නයි. දිනිදු - නෙලිදු මල්ලිලා තවම පාසල් අධ්‍යාපනය ලබනවා.

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මා 2017 වසරේදී වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගයට මුහුණ දුන්නා.

මේ වන විට මා පසු වන්නේ විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමේ අපේක්ෂාවෙනුයි. ඒ අතරේම වරලත් ගණකාධිකාරී ආයතනයේ වරලත් ගණකාධිකාරී පාඨමාලාවක් හා ඉංග්‍රීසි පාඨමාලාවක් හැදෑරීමේ කටයුතුවලත් යෙදී සිටිනවා.

මං බාල කාලයේ සිටම සමාජ කටයුතුවලට බොහොම ළැදියි. මීපේ "සන්රයිස්" නමින් තිබූ ක්‍රීඩා සමාජය "සන්රයිස්" යෞවන සමාජය බවට පත් කරන්න මා නායකත්වය දුන්නේත් මේ ළැදියාව නිසායි.

ඒ සමඟම අපේ ප්‍රදේශයට පත්ව ආ තරුණ සේවා නිලධාරී චතුර මහත්තයාගෙන් අපේ යෞවන සමාජයේ වගේම අපේ ඉදිරියටත් අත හිත ලැබුණා. ඒ අනුව මට අපේ යෞවන සමාජ සභාපති මෙන්ම පාදුක්ක කොට්ඨාසයේ ක්‍රීඩා කාර්යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබුණා.

අද සමාජයේ විෂමාචාර වැඩියි. කණ්ඩායම් ගැහෙන තරුණ කොටස් මැදටත් විෂමාචාර රිංගනවා. ඒත් තරුණ සේවා සභාවේ මැදිහත්වීමෙන් ගොඩ නංවන යෞවන සමාජ තරුණ අපේ සැබෑම සංවර්ධනයක් වෙනුවෙන්මයි.

විෂමාචාරවලට ගොදුරු වී සමාජයෙන් කොන්වන තරුණයකුට පවා යළිත් සුචරිතවත්ව ගොඩ නැඟෙන්නට යෞවන සමාජයකින් ලැබෙන පිටිබලය අනුපමේයයි. යෞවන සමාජය තුළ අත්දැකීම් ඇති සහෝදර සහෝදරියන් ඊළඟ පරම්පරාවට බොහොම සහෝදරත්වයෙන් නැඟී සිටින්න උදව් කරනවා.

පසුගිය වසර හතරේ පැවැති යොවුන්පුර හතරකදීම යොවුන් කුමාරයා කිරුළ කොළඹ දිස්ත්‍රික්කයට අරගෙන එන්න අපේ අයියලා තුන් දෙනකු සමත් වී තිබුණා.

මේ තරගය සඳහා ඉදිරිපත් වීමට මට මඟ පෙන් වූයේ 2017 වසරේ පැවැති යොවුන් පුරයේදී යොවුන් කුමාරයා වූ කුෂාන් ඉරෝෂන් අයියායි.

ඇත්තටම මේ තරගයට මං හොඳ පූර්ව සූදානමකින් ඉදිරිපත් වුණා. ඒත් බොහෝ දෙනා මා තරගයට ඉදිරිපත් වන බවවත් දැනගෙන හිටියේ නැහැ. මට ඕනෑ වුණේ ජයග්‍රහණය කරලාම ඒ බව කාටත් කියන්නයි. දස වැනි යොවුන් පුරයේ යොවුන් කුමරා කිරුළ මට හිමිවෙද්දී මගේ අධිෂ්ඨානය මල්ඵල දැරූ සතුට දනුණා.

සමාජයට වැඩි යමක් කළ හැකි දේශපාලන ක්ෂේත්‍රයට එකතුවීමේ හීනයක් මා තුළ තිබෙනවා. පාසල් කාලයේදී මං ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කළා. පාසල් වාණිජ්‍ය සංගමයේ සභාපති වූයේත් මමයි. මට ඉදිරියේදී යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාවක් උදා වේවි යැයි හිතනවා.

උපතින්ම කලා හැකියාවකුත් මට උරුමයි. මා පසුගියදා "සංසාරියේ" නමින් ඕඩියෝ සීඩී එකක් කළා. එහිදී ගීත ගායනයට ඇති මගේ හැකියාව උරගා බැලුවා.

මේ ගීතයේ පද රචනය මා හා මිතුරු සංජය ලක්මාල් විසින් සිදු කෙරුණා. මේ දිනවල එහි රූප රචනය සඳහා සූදානමින් ඉන්නේ. ඉන් පසුව මම තවත් අලුත්ම සිංදුවක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ටෙලි නාට්‍යක - චිත්‍රපටයක රඟපෑම සඳහා අවස්ථාව ලැබුණොත් මං රංගනයටත් පිවිසෙනවා.

ජනිඳුගේ ලිපිනය - 137/17 ඒ, ප්‍රින්ස්ටින් පාර්ක්, ගලගෙදර, පාදුක්ක.

සේයාරූ - ටෙනිසන් එදිරිසිංහ

හැඩගැන්වීම - සමන්ත/ජොනී ගුණසේකර

Salon Moods