පරාජයේ දී ත් සතුටින් හිඳින්නා පරාජය කරන්න කාටවත් බැහැ

මැයි 1, 2019

අපට ජීවිතයක් ලැබී තිබේ. දැන් අපි මේ ජීවිතයෙන් ප්‍රයෝජන ගත යුතුයි. ඒ අපට මෙන්ම අන් අයට ද යහපතක් වන ලෙසය.

ජයග්‍රහණය අපේ සිහිනයයි. ඒ සාර්ථක ජීවිතයක් උරුම කරගන්නටය. සාර්ථකත්වය යනු නිකම්ම ඉඳීමෙන් ලැබෙන දෙයක් නොවේ. එය බන්දේසියක තබා අප වෙත එන්නේත් නැත. අපි ජයග්‍රහණය වෙනුවෙන් අරමුණු ඇති කරගෙන ඒ අරමුණු ඉටුකරගන්නට උත්සාහ කළ යුතුයි.

එලෙස උත්සාහ කර ජීවිතය ජයගත් ලෝ ප්‍රකට පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී ඔබේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් ඔහු ලද අත්දැකීම් අනුව කියන පාඩම් පෙළේ අවසානයයි මේ. ඔබට ලයනල් මෙසී කෙනකු වන්නට උවමනා නැත. අප කියන්නේ මේ කරුණු සිතට ගෙන මේවා ක්‍රියාවේ යොදවා ඔබ ඔබම වන්න. සමහරවිට ඔබ ලයනල් මෙසීට වඩා දක්ෂයකු වීමට පුළුවන. එමෙන්ම ඔහුටත් වඩා ලොවම කතා කරන පුද්ගලයකු වීමට ඔබට හැකියාව ඇත. ඒ සඳහා පළමුව ඔබ ඔබව හඳුනා ගන්න.

මුදල් පසුපස ලුහුබඳින්න එපා

ඔබ මුදල් පසුපස ලුහුබඳින්නෙක් ද? ඔබේ අරමුණ මුදල් ඉපැයීමම පමණක් ද? ඔබ ජීවත් වන්නේ මුදල් මතම ද? මුදල්වලින් තොර ලොවක් ඔබට නැද්ද? මුදල් තිබූ පමණින් ඔබ සාර්ථක පුද්ගලයෙක් යැයි පැවසිය නො හැකියි. අද ඔබ සතු මුදල් හෙට නැතිවී යා හැකියි. ඔබ මුදල් මතම ක්‍රියා කළ අයෙක් නම් මුදල් නැති දිනක කිසිවකුත් ඔබ සමඟ නැත. එහෙත් ඔබ එයින් බැහර වූ අයෙක් නම් ඔබ කඩා වැටුණු දිනක අඩුම තරමේ එක් අයකුවත් ඔබ සමඟ හිඳී. එමෙන්ම එවැනි පුද්ගලයන් කඩා වැටුණ ද නැවතත් ඉක්මනින් හිස ඔසවයි. මන්ද ඔවුන් ලද සාර්ථකත්වය අඩු තක්සේරු කළ නොහැකි බැවිනි.

ඔබගේ සිහිනය යථාර්ථයක් වූ කළ ඔබට ලැබෙන ලකුණු වනුයේ මුදල්ය. එනම් මුදල් ඔබේ ජයග්‍රහණවල අතුරුඵලයකි. සැබෑම ජයග්‍රහණය අප සතුවන්නේ අපේ සාර්ථකත්වයෙන්. ඒ බව කිසිවිටෙකත් අමතක කරන්න එපා. දිනෙන් දින හැකියාවන් ඔපමට්ටම් කරගනිමින් ඉදිරියට යන්නේ නම් ඔබ, ඔබේ අරමුණු වෙත ළඟාවෙනවා. ඒක වළක්වන්න කාටවත් බැහැ. ඒ නිසා දවසකින් දෙකකින් කිසිම දෙයක් අත්හැර දමන්න එපා. දිගුකාලීනව ඔබේ හැකියාව දියුණු කරගනිමින් අරමුණූු ඉටුකරගන්න, සාර්ථකත්වය අත්පත් කරගන්න කැපවෙන්න. තවත් දෙයක් වන්නේ බොහෝ අය තමන් අන් අය හා සැසඳීමට යාමයි. එය ඔබ වහා අත්හල යුතු දෙයකි. ඔබ කිසිම විටෙකත් ඔබව අන් අය සමඟ සසඳන්නට යන්න එපා. ඔබ, ඔබම වන්න. ඔබ කළ යුතු දේ කරන්න. ලයනල් මෙසී මේ පිළිබඳ මෙහෙම කියනවා. “මුදල් කියන්නේ අභිප්‍රේරණ සාධකයක් නෙමෙයි. මට හොඳින් ක්‍රීඩා කිරීමට මුදල් බලපෑමක් කළේ නැහැ. මම වඩ වඩාත් හොඳින් ක්‍රීඩා කළේ ඒක මට සතුටක් ගෙනෙන නිසා. ඒ නිසා මම මුදල් ලැබෙනවට වඩා මගේ පාදය ළඟ තිබෙන බෝලයෙන් සතුටක් ලැබුවා. මුදල් කියන්නේ ධනවත්ව ජීවත්වීමට සලසන මාර්ගයක් මිසක් හැමෝටම සතුට දෙන දෙයක් නෙමෙයි. මම ආදරය කරන ක්‍රීඩාව ක්‍රීඩා කිරීමෙන් තමයි මට අභිප්‍රේරණයක් ලැබුණේ. මම වෘත්තීය ෆුට්බෝල් ක්‍රීඩකයකු විදිහට හොඳින් ක්‍රීඩා කළේ නැත්නම් මට මේ විදිහට හොඳින් ගෙවීමක් ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා හැමවිටම මගේ මූලික අරමුණ හොඳින් ක්‍රීඩා කිරීමයි.”

ඔබට වඩාත් වැදගත්ම දෙය අමතක කරන්න එපා

සමහර අවස්ථාවල දී අප යම් දෙයක් ගැන විස්මයට පත් වන අතර, ජීවිතයේ වෙනත් වඩා වැදගත් දේවල් නොසලකා හරින්නෙමු. මුදල් හඹා යන අයව අපට දැකගත හැකි අතර ඔවුන්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් මුළුමනින්ම නොසලකා හැරීමට පටන් ගෙන ඇත. බොහෝ වෙලාවට සල්ලි පස්සෙම දුවන අයට මුදල් හැරෙන්න කිසිම දෙයක් කල්පනාවට එන්නෙ නැහැ. ඒ අයට තමන්ට පවුලක් තියෙනවා කියලවත් මතක නැහැ. එහෙම දුවන නිසා මේ අයට තමන්ගේ පවුලේ අයව අතහැරෙනවා. අවසානයේ දි හැරිලා බැලුවම මුදල් ඇරෙන්න වෙන කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. දැන් ඉතින් පවුලක් නැතුව මුදල් කන්න ද? දරුවෝ විනාශ වෙලා. බිරිය වෙනතක ගහින්. බිරිය නම් මුදල් පස්සේ දිව්වේ සැමියා වෙනතක ගිහින්. මේ දේවල් තමන්ට කවදාවත් වෙන්න දෙන්න එපා. ඒ නිසා තමන්ට ජීවිතයේ වඩාත් වැදගත්ම දේ මොකක්ද කියලා තීරණය කරලා ඒ දේ රඳවගෙනම අනෙක් දේවල් ළංකරගන්න.

ජයග්‍රහණය කිරීම වැදගත් තමයි. නමුත් ඔබට හැමවෙලේම දිනන්න බැහැ. ඒ වගේම තමයි දිනීම විතරක් නෙමේ ජීවිතය කියන්නේ. අපි හැමෝටම පවුල කියන දේ බිරිය, සැමියා දරුවන්, මවුපියන් හරිම වටිනවා. මුදල් පසුපස ම යන්න ගත් විට මේ සියල්ල ඔබෙන් ඈත් වෙන්නේ ඔබටත් නොදැනීමයි. ඒ නිසා ජීවත් වෙන්න ජයග්‍රහණයම විතරක් මදි කියලාත් ඔබ තේරුම්ගත යුතුයි.

ලයනල් මේ ගැන මෙහෙම කියනවා. “තරගයක් ජයග්‍රහණය කිරීම හෝ පැරදීමට වඩා තවත් බොහෝ වැදගත් දේ ජීවිතයේ තියෙනවා.”

මතක් කරන්න ඔබ පමණක් නොවේ

කණ්ඩායමක් විදිහට ජයග්‍රහණය අත්පත් කරගන්න නම් ඔබ ගැනම පමණක් සිතීම සාධාරණ නැහැ. ඒ වගේම ඔබේ අරමුණු වැදගත් වෙන්නේ නැහැ. මෙතැනදී වැගදත් වන්නේ කණ්ඩායමේ අරමුණයි. ඒ නිසා සාමූහිකව කණ්ඩායම පිළිබඳ ම අවධානය යොමුකර තීරණ ගත යුතුයි. වන් මෑන් ෂෝ එකක් විදිහට හිතලා ජයග්‍රහණය හඹා යාමට වඩා කණ්ඩායමක් විදිහට හිතලා ජයග්‍රහණය හඹා යාමෙන් තමයි සමාගමක් වුවත් සාර්ථක වන්නේ. ක්‍රීඩා කණ්ඩායමක ජයග්‍රහණය වුණත් රඳාපවතින්නේ සාමූහිකව කණ්ඩායමක් ලෙස සිතීමෙනුයි. ඒ නිසා හැම විටම ඔබේ අරමුණට වඩා කණ්ඩායමේ අරමුණට මූලිකත්වය දෙන්න. එමඟින් කණ්ඩායම් හැඟීම වැඩිවන අතර සේවකයන් හොඳින් වැඩ කිරීමට පෙලඹේ. ක්‍රීඩකයන් වඩාත් හොඳින් ක්‍රීඩා කිරීමට පෙලඹේ. පසුපසට වෙනුවට ඉදිරියටම යන්න හිතයි. ඒ නිසා ඔබේ කණ්ඩායම ගැන හැමවිටම හිතන්න. ඒ කණ්ඩායමේ සහය නැතුව ඔබට තනිවම ඉදිරියට යාම ද කළ නොහැකියි. මෙසී තම කණ්ඩායම සම්බන්ධයෙන් මේ පිළිබඳ අදහස් දක්වා තිබෙනවා. “අවුරුද්ද ආරම්භ කරන විට අපේ මූලිකම අරමුණ වන්නේ කණ්ඩායමක් විදිහට ජයග්‍රහණය කිරීමයි. අප එක්ව ජයග්‍රහණය අත්පත් කරගන්නේ කොහොමද කියන දේ තමයි ප්‍රධාන වෙන්නේ. අපේ පුද්ගලික වාර්තා දෙවැනි තැනට යනවා. ඒ ගැන අපි හිතන්නේ දෙවනුවයි. කෙසේ වෙතත් පුද්ගලික වාර්තාවලට වඩා වැදගත්ම දේ වන්නේ අපේ ටීම් එකේ සාර්ථකත්වයයි. ජයග්‍රහණයයි.”

හැමවිටම ඔබව විශ්වාස කරන්න

ඔබට ඔබ ගැන විශ්වාසයක් තියෙනවා. ඔබ ඔබේ සිහින විශ්වාස කරනවා. ඒත් ඔබ සැක සහිතවන විට ඔබට ඔබ ගැන 100% ක විශ්වාසයක් නැතිව යයි. බොහෝ වෙලාවට සිහින සැබෑ කරගන්නේ තමන් දැකි සිහන 100% ක්ම විශ්වාස කරන පුද්ගලයන්. සිහින පිළිබඳ අවිශ්වාස කරන අයට තම සිහින සාර්ථක කරගන්න අවස්ථාව අහිමි වෙනවා. ඒ නිසා තමන් පිළිබඳ හැමවිටම 100%ක් විශ්වාසය ඇතුව කටයුතු කරන්න. මෙලෙස තමන් පිළිබඳ විශ්වාසයක් අති අයට තමන්ගේ සිහින සැබෑකරගන්නේ කෙලෙස ද යන්න අවබෝධ කරගන්නවා. ඒ සඳහා තමන් කුමක් කළ යුතුදැයි අවබෝධ වෙනවා. ඒ නිසා ඔවුන් 100%ක උපරිම උත්සාහයක් දරණවා තමන්ගේ සිහින සැබෑ කරගන්න. ඔබත් 100% ක් ඔබ ඔබ ගැන විශ්වාසය තියා උපරිම උත්සාහයෙන් කටයුතු කරන්නෙක් ද? එහෙම නම් ඔබේ ජයග්‍රහණය වැඩි ඈතක නොවේ. ඒත් විශ්වාසයක් නැත්නම් මේ කිසි දෙයක් වෙන්නේ නැහැ.

ලයනල් මෙසී මේ පිළිබඳ කියන්නේ මෙවැන්නක්.

“කිසිම සැකයක් නැහැ. මට 100%ක්ම මාව විශ්වාසයි.”

පරාජය පිළිගැනීමට පුරුදු වෙන්න

කිසිම කෙනෙක්ට හැමවෙලාවෙම ජය‍්‍රහණය අත්පත් කරගන්න බැහැ. සමහරවිට ඔබට හොඳ ප්‍රගතියක් තියෙනවා. ඒත් ඒ අතරම පරාද වෙන්නත් පුළුවන්. ඒ නිසා අසමත්වීමේ අත්දැකීම් ද ලබාගන්න. ඒ දේවල් පිළිගන්න පුරුදු වෙන්න. දුර්වලතාවන් දරාගන්න. ඒවා පිළිගන්න. ඔබ අසමත්වෙන විට දෙගෙඩියාවක් දුකක් ඇතිකරගන් එපා. ඒක මේ ගමනේ කොටසක්. අපි දිනනවා. ඒ වගේම පරදිනවා. ඔබට බැහැ හැමදාමක් දීප්තිමත් හිරු වෙන්න. දීප්තිමත් හිරු කිරණක් වෙන්න. සමහරවිට ඒක වැස්සක් වෙන්න පුළුවන්. සමහරවිට වලාකුළු පිරුණු අහස වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් දරාගන්න බැරි විදිහට පායන හිරු වෙන්නත් පුළුවන්. මේ විදිහට සොබා දහම වෙනස් වෙනවා වගේ අපේ ජීවිතත් වෙනස් වෙනවා.

මේක හරියට චක්‍රයක් වගේ. මේ චක්‍රය නවත්වන්න බැහැ. ඒ නිසා අපි මේ චක්‍රයට අනුගත වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ජයග්‍රහණයක් ලබලා සතුටු වෙන්නේ කෙහොමද? අපි පරාද වෙන වෙලාවටත් එය සතුටු සිතින් දරාගන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වෙලාවට අපට පුළුවන් වෙන්න ඕනේ ජයග්‍රහණය ලබාපු අය පිළිබඳ සතුටට පත්වෙන්න. ඒ නිසා හැම මොහොතෙම සතුටින් ඉන්න. සතුට ඉවත දමන්න එපා. සතුට රඳව ගන්න. සතුට හා සිනහව කවදාවත් ඔබ වෙතින් ඈත් කරන්න එපා. මොනතරම් පරාද වුණත් මොනතරම් දේ අහිමි වුණත් ඔබ සිනහවකින් ඉන්නවා නම් කිසිම කෙනකුට ඔබව පරාද කරන්න බැහැ. ඒ හින්දා මේ ලෝකයේ තියෙන, සිදුවෙන දේවල් සමඟ අපේ ජීවිතත් සතුටින් ඉදිරියට ඇදෙන්න ඕනෙ. ඒ නිසා ඔබට හැමවිට දිනන්න බැහැ කියන දෙයත් ඔබ යන ගමනේ දී මතක තබාගන්න පුරුදු වෙන්න. ඒ වගේම ඒ පරාජයේ දී ත් සතුටින් හිඳින්න.