අපේ විවාහය ලියාපදිංචි කරන අවස්ථාවට සහභාගි වුණේ මගේ පවුලේ අය විතරයි

සැප්තැම්බර් 2, 2020

අහසෙන් බැසගත් තරු මේ මහ පොළොවේදී අපට හමුවන්නේ කලාතුරකිනි. දමිතා අබේරත්න එසේ කලාතුරකින් හමුවන දුර්ලභ ගණයේ තරුවක් ලෙස හැඳින්වුවහොත් නිවැරැදිය.

ඇය එවන් විශේෂත්වයක් දරණ තරුවක් වන්නේ ඇගේ දක්ෂතාව, රූපය සහ රංගන හැකියාව නිසා පමණක් නොව, එවන් වටිනාකම් රැසක් දරාගෙන සාමාන්‍ය මිනිසුන් අතර ජීවත්වන නිහතමානී ගැහැනියක වීම නිසාය. අහසේ රැඳෙන්නට වරම් ඇතත් මහපොළොවේ ජීවත්වෙන දමිතා විවාහ දිවියට පත්වූ පුවත මේ දිනවල බොහෝ දෙනකුගේ කතා බහට ලක්වෙන පුවතක් වෙලා. තරුණී පාඨක ඔබ වෙනුවෙන් ඇය සිය නවතම ජිවන තතු හෙළිකරනු ලැබුවා.

ඔබ කව්ද?

මම සේධාලි මුදියන්සේලාගේ දමිතා බුද්ධිනී අබේරත්න. මම ඉපදුණේ පැපිළියානේ .මගේ අම්මා අයිරාංගනී අබේරත්න. අය්යා සංජය අබේරත්න. මගේ සැමියා ලෙන්ලි ජොන්සන්.

දමිතාගේ පාසල් වියේ මතකයන් අතරට යමුද?

ළමාවිය ඇත්තට ම හරිම සුන්දරයි. අපි හැමෝම ජිවිතයේ ප්‍රියකරන අවධිය ළමාවිය. මටත් එහෙමයි. ආයේ යන්න පුළුවන්නම් මමත් ළමාවියට ආපසු යනවා. අපේ අම්මා දෙකේ තුනේ පන්තියට යනකම් මාව පාසලට ඇරලුවා. ඊට පස්සෙ මම මගේ පුංචි අම්මගෙ දුවල එක්ක ඉස්කෝලෙ යන්න පුරුදු වුණා. මොකද මගේ අම්මා රැකියාවක් කළ නිසා මාව පාසලට ඇරලවන්න, පාසලෙන් ගන්න එන්න කෙනෙක් හිටියෙ නැහැ. මම කවදාවත් පාසල් වෑන් රථයක පාසල් ගිහින් නැහැ. පයින් හරි බස් එකේ හරි තමයි මම ඉස්කෝලෙ ගියේ. මම සමුද්‍රදේවි බාලිකාවට යන කාලෙ සාමාන්‍ය පෙළ පන්තියේදී ඉස්කෝලෙ ඉඳලා ඇල්ෆා පන්තියට යන්නෙත් පයින්. එතැන ඉඳල ආපහු පැපිළියානෙ අපේ ගෙදරට ආවෙත් පයින් .කිලෝමීටර් හතරක විතර දුරක් මම ඔය විදිහට පයින් ආව ගියා.

පාසල් වියේම නිළියක් වූ දමිතාට ආදර ආරාධනා එහෙමත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඇතිනෙ.

නාට්‍ය වල රඟපාන නිසා හැමෝම මාව දන්නවනෙ. ඒ නිසා මට යාළුවො ගොඩක් හිටියා. ඒ අතර ආදර සම්බන්ධතා වලටත් ගොඩක් අහල තිබුණා.

සාමාන්‍ය පෙළ කරන අවුරුද්දෙ මගේ හොඳම යාළුව වෙලා හිටිය පිරිමි ළමයෙක් එක්ක මම ප්‍රේම සම්බන්ධයක් පටන් ගත්තා. හැබැයි විභාගයෙන් පස්සෙ අපි ඒ ආදර කතාව නතර කළා.

ඔබේ කලා දිවියේ මුල් පොත කොතැනද?

ඉස්කොලෙදි මම කලා කටයුතු වගේම සංගීතය හා නැටුම් යන අංශ වලින් පාසලට කිර්තියක් අත්කර දුන්නා. ඉස්කෝලෙදි නන්දා ටිචර්, පද්මිණී ගල්හේන ටිටර්ල තමයි මට නැටුම් හා සංගීතය ඉගැන්නවේ. මම අවුරැදු තුනේදි ඉඳන් සිංදු කියනව. ඒ දක්ෂතාව දැකල මට වයස අවු 6 දී අම්මා මාව කලාභුමියට ඇතුළත් කළා. කලාභුමියෙදි මම සංගීතය හා උඩරට, පහතරට, භරත නර්ථන සම්ප්‍රදායයන් ප්‍රගුණ කළා. මාලා ගනේගොඩ, එඩ්වඩ් ගුරුන්නාන්සෙ, සචි දෞපදි රතන්කාර, බියට්‍රිස් විරසිංහ, ආනන්ද වීරසිරි, ලක්ෂමන් විජේසේකර යන මහත්ම මහත්මින් තමයි මට කලා භූමියෙදි ගුරුවරුන් වුණේ.

 

 

ඡායාරූප -  ප්‍රියංක රත්නායක

හැඩගැන්වීම  - ලක්ඛිත උක්වත්ත

ඇඳුම් නිර්මාණය - ප්‍රණීත් රණවීර

 

 

2020/09/02 තරුණි බලන්න