සසර කින්නරාවී කඩවසම් හාදයා ලී මින් හෝ අසාර්ථකවීම් ජවයක් කරගත් තරුණයෙක්

සැප්තැම්බර් 23, 2020

 

සුන්දර නිළියක්, කඩවසම් නළුවෙක් දුටු විට බොහෝ අය සිතන්නේ ඔවුන්ගේ ජීවිතත් මුල් කාලයේ ඉඳන්ම සුන්දරයි කියලා. ඒත් යථාර්ථය ඊට හාත්පසින් ම වෙනස්. ඒ අය අද ඉන්න තත්ත්වයට පත්වෙන්න සෑහෙන කැප කිරීමක් කරලා තියෙනවා. කියන්න බැරි තරම් දුක් විඳලා තියෙනවා.

ඒ වගේම විවිධාකාර කරදරවලට මුහුණ දීලා තියෙනවා. අද දවසේ ඔවුන් ඔබ ඉදිරියේ සිනහා වෙලා හිටියත් ඔබට නො පෙනෙන, ඔබ නොදකින ගැටලු ඔවුන් ට අදත් තියෙන්න පුළුවන්. ඒත් මේ බොහොමයක් දෙනා අද දවසේ ලෝකයම පිළිගන්න, මුළු ලෝකයම ආදරේ කරන පුද්ගලයන් බවට පත්වෙලා. මහා ධනස්කන්ධයක හිමිකරුවන් වෙලා. 'ලී මින් හෝ' කියන්නේ එවැනි කඩවසම් නළුවෙක්. ලෝකයම ආදරයෙන් වැලඳගත් නළුවෙක්.

ආසියාවේ විතරක් නෙමෙයි අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, ඉතාලිය, ප්‍රංශය, කැනඩාව, ස්පාඤ්ඤය ආදී බටහිර රටවලත් ඔහු බොහොම ජනප්‍රියයි. අපේ රටෙත් රූපවාහිනිය නරඹන, අන්තර්ජාලයෙන් ටෙලිනාට්‍ය හා සිනමා සිත්තම් නරඹන බාල, තරුණ, මහලු කොයි කවූරුත් ආදරේ කරන චරිතයක්.

මේ චරිතයෙන් ඔබේ ජීවිතය ට ගන්න තියෙන පාඩම් බොහොමයි. ඔබ ඔහුගේ රුවට, රඟපෑමට, කට හඬට වශී වුණු අයෙක් නම් සැබෑවටම ඔහු ජීවිතය දිනූ මාර්ගය අවබෝධ කරගෙන ඔබේ ජීවිතයත් සාර්ථක කරගන්න.

'බෝයිස් ඕවර් ෆ්ලවර්ස්' හරහා ලංකාවෙ ප්‍රේක්ෂකයන් ආදරෙන් වැලඳගත් 'ගු ජුන් පියෝ' නම් සිංහාවෝ හි මහා ධනස්කන්ධයකට උරුමකම් කියූ තරුණයා ඔහුයි. කඩවසම් රුවක් හිමි ලී තමන්ගේ උපන් රට වන දකුණු කොරියාවේ වගේම ලෝකය පුරාත් ජනප්‍රිය වුණේ මේ චරිතෙන්. මේ දිනවල ජාතික රූපවාහිනීයේ විකාශනය වන 'සසර කින්නරාවී' එහෙමත් නැත්නම් 'ඹ්ඥඨඥදඤ ධට බඩඥ ඡතභඥ ඵඥච' කතා මාලාවේ ප්‍රධාන චරිතය වන 'ජියෝ ජූන් ජේ' ලෙස රඟපාන නළුවා ඔහුයි.

'සීක්‍රට් කැම්පස්' කතාවෙන් රංගනයට පිවිසෙන ලී 'මැකරල් රන්', 'පර්සනල් ටේස්ට්', 'සිටී හන්ටර්', 'ද එයර්ස්', 'ෆේත්', 'සෙවන් ෆස්ට් කිසස්', 'ද කිං, ඉටර්නල් මොනාච්' වැනි කතා මාලාවලින් බෙහෙවින් ජනප්‍රිය විය. සිනමා නළුවෙක් ලෙසින් 'බවුන්ටි හන්ටර්ස්', 'ගැන්ග්නම් බ්ලූස්', 'බිලීවර්', ආදියේ දී දැකගත හැකියි. එපමණක් නොව ඔහු ගායකයෙකි. නිරූපණ ශිල්පියෙකි. මැඩම් ටූසාඩ් ඉටි පිළිරූ අතරට ගිය ප්‍රථම කොරියන් නළුවා වන්නේ ද ලී මින් හෝ ය.

1987 ජුනි 22 වැනිදා දකුණු කොරියාවේ සෝල් නුවර දී උපන් ලී මින් හෝ අඩි 6 යි අඟල් එකහමාරක් උසැති නළුවෙකි. කිලෝග්‍රෑම් 70 ක් පමණ බරැති මින් ලස්සන දෑසකට උරුමකම් කියයි. ඔහුගේ සිනහවට වශී වී ඇත්තේ කෙල්ලන් පමණක් නොව මැදි වියේ ගැහැනුන් හා වයසක කාන්තාවන් ද ඒ අතර වෙති. කුඩා දරුවන් මින් ට දක්වන්නේ අසීමිත ආදරයකි. ජනප්‍රිය සමාජ සේවකයෙක් වන මින් පසුගියදා කෝවිඩ් 19 අරමුදල වෙනුවෙන් ද වොන් මිලියන ගණනක මුදලක් පරිත්‍යාග කළේය. විවිධ සම්මානයන්ට පාත්‍ර වී ඇති මින් ලබා තිබෙන සම්මාන ගණන 26 කට වඩා වැඩිය. සිය ජීවිතයේ 33 වැනි උපන්දිනය සැමරූ ඔහු තම ජීවිතය ගලා ආ ආකාරය ප්‍රස්තාර සටහනක් අඳිමින් විග්‍රහ කළේය. එපමණක් නොව ඔහු තම වෘත්තියට බෙහෙවින්ම ආදරය කරයි. ජීවිතයේ ගැටලුවලට මුහුණ දෙන්නට සිය වෘත්තියෙන් ලැබෙන්නෙ අගනා දායකත්වයකැයි ඔහු කියයි.

ළමා වියේ දී අපිට වගේම හීන ඔහුටත් තිබුණා. වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙක් වෙන්න ‍තිබුණු හීනෙ මිය ගියේ ක්‍රීඩා කරමින් සිටිය දී තුවාල වුණු නිසා. එලෙස අනතුරට පත්වීම නිසා තමන් ප්‍රිය කළ, නොකඩවා පුහුණු වීම් කළ, තමන් හීන දැකි පාපන්දු ක්‍රීඩාව අත්හරින්න වෙනවා. ඊළඟ නැවතුම වෙන්නේ රංගනයයි. උසස් අධ්‍යාපනය සඳහා කොන් කුක් විශ්වවිද්‍යාලට ඇතුළත්වන ඔහු සිනමාව හා කලාව පිළිබඳ උපාධියක් සම්පූර්ණ කරනවා. එතැනින් රංගනයට පිවිසෙන ලී 2003 වසරේ දී 'සීක්‍රට් කැම්පස්' හරහා සිය රංගන දිවිය ආරම්භ කළත් 2006 වසරේ දී හරියටම අවුරුදු 20 දී ඉතා දරුණු රිය අනතුරකට මුහුණ දෙනවා. මේ රිය අනතුරෙන් ඔහුගේ දකුණු උරහිස බිඳෙන අතර වළලුකර ළඟින් පාදය කැඩෙනවා. මේ හේතුවෙන් වසරකට වැඩි කාලයක් ඇඳටම සීමා වී ඉන්නට සිදුවෙනවා. මේ කාලයේ තරුණ අවධියේ තමන්ගේ ජීවිතයේ හොඳම කාලයයි. ඒ නිසා ඔහු තමන්ගේ ජීවිතය පිළිබඳ ඍණාත්මක ආකල්ප ඇතිකර ගනිමින් ජීවිතය පිළිබඳ අතෘප්තියට පත්වීම අරඹනවා.

 

අන්තර්ජාලයෙනි

 

2020/09/23 තරුණි බලන්න.