ඩ්‍රීම් ස්ටාර් . . .

සැප්තැම්බර් 30, 2020

මේ දවස්වල කලා ලෝකයට පායන තරුවලින් අඩුවක් නැත. ඒ තරු මැද දිළෙන සුපිරිම තාරකාවක් වීම මහත් භාග්‍යකි. දෙනෝ දහක් රසික රසිකාවන් මැද ගීතයක් ගායනා කිරීම නවක ගායක ගායිකාවන්ගේ සොඳුරුතම පැතුමයි. එවැනි බලාපොරොත්තු මල්ඵල ගන්වන්නට අපූරු වේදිකාවක් ගොඩනැඟුණි. ඒ දෙරණ නාළිකාව ආරම්භ කළ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහනයි. එහි අදියර 8ක් දිග හැරුණේ නව ගායක පරපුරක් ක්ෂේත්‍රයට දායාද කරමිනි.

පසුගියදා ඩ්‍රීම් ස්ටාර් 9 වැනි අදියරේ අවසන් මහා තරගය ද ඉතාම උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ තරගකරුවන් ත්‍රිත්වයෙන් ප්‍රථම ස්ථානය ෆැලන් ඇන්ඩ්‍රියාටත්, දෙවැනි ස්ථානය නුවන්ධිකා සේනාරත්ටත්, තෙවැනි ස්ථානය ගිහාන් බණ්ඩාරටත් හිමිවිය.

ඩ්‍රීම් ස්ටාර් තරගාවලිය හරහා රටම හඳුනන ඔවුහු අතිශය ජනප්‍රියය තරු බවට පත්ව සිටිති. මේ කතා බහ කරන්නේ ඔවුන් සමඟයි.

.ළමා කාලයේ සිට සංගීතයට ආදරය කළා

කිරුළ දිනූ ෆැලන් ඇන්ඩ්‍රියා

ඩ්‍රීම් ස්ටාර් කිරුළ දිනාගත්තේ ඔබයි.... මොකද හිතෙන්නේ ජයග්‍රහණය ගැන

කියාගන්න බැරි තරමේ සතුටක් තියෙන්නේ. මේ තරගයට සහභාගි වෙද්දී හිතුණේ නැහැ 55 ටවත් එන්න ලැබෙයි කියලා. මූලික පරීක්ෂණය තිබුණේ මොරටුව රන්දිය හොටෙල් එකේ. එදා ඒ ප්‍රදේශය වැහෙන්න තරගකරුවෝ ඇවිත් හිටියා. මෙතැනින් තෝරා ගන්නේ 55 යි කියල කිව්වම මම අදහස අත්හැරියා. ආපු එකේ සහභාගි වෙනවා කියලා හිතාගෙනයි ඉදිරිපත් වුණේ. ඒ වගේ පිරිසක් අතරින් කිරුළ දිනා ගන්න ලැබීම විශාල ජයග්‍රහණයක්.

ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන සතුටු ද?

ප්‍රේක්ෂක මනාප නිසයි මම මේ ජයග්‍රහණය ලබා ගත්තේ. මා ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. අවසන් තරගකරුවන් තිදෙනාට තේරුණු මොහොතේ සිට මාව හොයාගෙන බොහෝ පිරිසක් පැමිණෙනවා. ජයග්‍රහණයෙන් පසු ඔවුන්ගේ ආදරය තවත් වැඩිවෙලා.

ඒ වගේ දහස් ගණන් සුබ පැතුම් අතර මඩ ප්‍රචාරත් නැතුව නෙවෙයි. ඒ එක එක්කෙනාගේ කැමැත්ත. හැමෝගෙම කැමැත්ත එකම කෙනාට ලැබෙන්නේ නැහැ. එක එක්කෙනාගේ කැමැත්ත විවිධාකාරයි. මං ඒ දේවල් සුබවාදීව දකින කෙනෙක්.

වත්මන් රියැලිටි ෂෝ අතරින් ඩ්‍රීම් ස්ටාර් වේදිකාවම තෝර ගත්තේ විශේෂ හේතුවක් නිසාද?

අද වෙද්දී ලංකාවේ විවිධ මාධ්‍ය නාළිකා හරහා විවිධාකාර රියැලිටි තරග පවත්වනවා. ඒත් දෙරණ නාළිකාවේ ඩ්‍රීම් ස්ටාර් තරගාවලිය හරහා බිහිවෙන ගායකයන්ට සමාජය තුළ තිබෙන්නේ පුදුමාකාර කැමැත්තක්. ඒකට හේතුවක් ලෙස මම දකින්නේ දෙරණෙන් බිහිකරන්නේ දක්ෂයන්ම පමණක් වීමයි. ඒ හේතුව නිසාම මම දෙරණ සිහින වේදිකාව ගැන විශ්වාස කරලා අයැදුම් කළා. ඉතින් මේ තරගාවලිය ගැන වගේම දෙරණ මාධ්‍ය නාළිකාව ගැන තබන විශ්වාසය තමයි මේ තරගයට මම අයැදුම් කරන්න හේතුවුණු පළමුවැනිම කාරණාව.

මීට පෙර වෙනත් තරගාවලි සඳහා අයැදුම් කර තිබෙනවාද?

මේ තමයි මම මුලින්ම අයැදුම් කළ රියැලිටි වැඩසටහන. ඩ්‍රීම් ස්ටාර් වැඩසටහනේ අයැදුම්පත් භාර ගන්නවා කියලා දැක්කම මට අයැදුම් කරන්නම හිතුණා. පොඩි කාලයේ ඉඳන් හීනයක් තිබුණා ගායිකාවක් වෙන එක ගැන. මට හිතුණා ඒ හීනයට යන්න පුළුවන් විශ්වසනීයම මාර්ගය දෙරණ නාළිකාව කියලා. ඒක නිසා කිසිම චකිතයක් නැතිව තරගයට අයැදුම් කළා.

 

2020/09/30 තරුණි පුවපත බලන්න