දියණියක් ඉන්න හැම මවක්ම ඇයට මිතුරියක් වෙන්න ඕනෙ

ඔක්තෝබර් 28, 2020

යොවුන් වයසේදීම සිනමාවට ගොඩ වු ‘කාංචනා‘ ඇයයි. ඉන් නොනැවතුණු ඇය ‘බැද්දේගම‘ හීන් හාමි වූවාය. ඉන්පසු ඇගේ රංගන ප්‍රතිභාව විදහා දැක්වූයේ යසෝමා තුළිනි. ‘චංචල රේඛා‘ හි දං චූටි තවමත් අපගේ හදවතේ ජීවමානය. ඒ තරමටම අපි දං චූටිට ආදරය කළෙමු. සිනමාව නමැති දැවැන්ත පියගැට පෙළේ ඉහළම පඩියට නැග අදත් ඉහළම රසික ආදරය ලබන ඇය නදීකා ගුණසේකර ය. රටම ආදරය කරන ඒ නිහතමානී රංගන ශිල්පිනිය යහපත් බිරියක් මෙන්ම ආදරණීය මවක්. මෙවර තරුණී කවරය සරසනුයේ ඇයගේත් ඇගේ දියණිය තෙනුකිගේත් රුවෙනි.

නදීකා දැන් නිර්මාණවල දකින්න ලැබෙන්නේ නැත්තේ ඇයි?

හරවත් නිර්මාණ දැන් දකින්න ලැබෙන්නේ නැහැ. හොඳ පිටපතක් කියලා සම්බන්ධ වුණු නිර්මාණ එකක් දෙකක් තිබුණා. නිර්මාණය එළිදක්වනකොට හොඳ දර්ශන සංස්කරණය වෙලා නිර්මාණයෙන් ඉවත් කරලා ආවේ. වර්තමානයේදී මට ගැලපෙන නිර්මාණයකට එහෙම ආරාධනා ලැබිලත් නැහැ. මොකද ලැබෙන හැම නිර්මාණයකටම දායක වෙනවා කියන තැන දැන් මම නැහැ. එහෙම නිර්මාණවලට දායක වෙලා පසුතැවෙන්න බැහැ. ඒ නිසා නිහඬව ඉන්නවා.

නමුත් මා බොහෝ කාලයකට පස්සේ චන්න පෙරේරාගේ යුගාත්‍රා කියන චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එය වෙනස්ම චරිතයක්. බොහෝ විට ලබන අවුරුද්දේ මුල දී එය තිරගත වෙයි.

 

නදීකා කියන චරිතය සිනමා කාචය ඉදිරියට ආවේ පාසල් යන කාලේ. ඒ ගැන මතක් කළොත්...

මම මුලින්ම රඟපාන්න එන්නේ 77 වර්ෂයේදී කාංචනා චිත්‍රපටයට රංගනයෙන් සම්බන්ධ වෙලා. එතකොට මට උසස්පෙළ විභාගයට මාස තුනයි තිබ්බේ.

මම පාසල් කිහිපයකින්ම අධ්‍යාපනය ලැබුවා. ගම්පොළ උඩුහේන්පුර සේනාධිලංකාර විද්‍යාලය, බණ්ඩාරවල විශාකා බාලිකාව, නුවර පුෂ්පදාන බාලිකාව සහ නුවර මහමායා බාලිකාවෙත් ඉගෙන ගත්තා.

ඊට පස්සේ මම කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. මම සම්බන්ධ වුණු පළමු චිත්‍රපටය තිරගත වෙනකොට මම චිත්‍රපටි 10කට සම්බන්ධ වෙලා හිටියා. අද වගේ නෙවෙයි ඒ කාලේ. ප්‍රධාන චරිතයකට ගන්න දක්ෂ නිළියෝ ගොඩක් හිටියා. ඒ අය අතර මමත් හිටියා. යහළු යෙහෙළියෝ, බැද්දේගම, වජිරා වගේ හොඳම නිර්මාණ වලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා.

ඔබේ ගම් පළාත නුවර. එහෙම නේද?

ඔව්. මගේ උපන් ගම නුවර. මගේ තාත්තා සේවය කළේ තැපැල් දෙපාර්තමේන්තුවේ. තාත්තාගේ නම ස්ටැන්ලි ගුණසේකර. මගේ අම්මා තලතා ගුණසේකර. ඇය ගුරුවරියක් වගේම රංගන ශිල්පිනියක්. අම්මා සිනමාවට සම්බන්ධ වෙලා හිටපු නිසා අම්මා හිටියේ කොළඹ. හැබැයි තාත්තා එක්ක අපි ගොඩක් වෙලාවට එයා යන පළාත්වලට යනවා. ඒ නිසා තමයි පාසල් කිහිපයකම අධ්‍යාපනය හදාරන්න සිදුවුණේ.

අම්මා සිනමාවට සම්බන්ධ නිසයි මටත් සිනමාවට එන්න අවස්ථාව ලැබුණේ. කාංචනා චිත්‍රපටයට සම්බන්ධ වුණේ ඒ විදිහට.

ඔබ සිනමාවෙත් ටෙලි නාට්‍ය කලාවෙත් ඇගැයුමට ලක් වූ වාර බොහෝයි...

'බැද්දේගම' හීන් හාමි මගේ සිනමා දිවියට වාසනාව ගෙනාවා. 1981 ජනාධිපති සම්මාන උලෙළේ හොඳම සහාය නිළිය සම්මානය හිමිවූයේ බැද්දේගම හීන්හාමිගේ චරිතයට. ඉන්පසුව නැගී එන නිළිය, නවක නිළිය ආදි සම්මාන කිහිමයක්ම කිහිප අවස්ථාකදීම ලැබුණා. එදා මෙදා තුර චිත්‍රපට 50කට වැඩි සංඛ්‍යාවක රඟපෑවා.

'හිමි අහිමි' ටෙලි නාට්‍යයේ කළ රංගනයට හොඳම නිළියට හිමි සම්මානය ද ලැබුණා. ඉන්පසුවනම් වැඩිය ටෙලි නාට්‍ය රංගනයට යොමු වුණේ නැහැ.

 

2020/10/28 තරුණි පුවත්පත බලන්න.

 

ඡායා -  ටෙනිසන් එදිරිසිංහ