පාලම යටදී මම කාපු ගුටිය ජීවිතේට අමතක වෙන්නෙ නැහැ

කෝපි කඩේ දයාවතී ලෙසින් රසික ආදරය දිනූ ප්‍රවීණ රංගන ශිල්පිනිය සුසිලාදේවි කෝට්ටගේ
නොවැම්බර් 18, 2020

හීන අතරින් නැගී සිටින අයට වඩා දුක දිනා ජීවිතය ජයගන්නා ගැහැනුන්ගේ හා මිනිසුන්ගේ සිනහවෙහි වටිනාකම අපමණය. සුසිලාදේවි කෝට්ටගේ නම් සුප්‍රසිද්ධ කාන්තාවගේ සිනහව ඔබට, මට, මේ රටට මුතු මැණික් වලටත් වඩා වටින්නේ එබැවිණි.

ඇය ඒ සිනහව සොයාගෙන ඇත්තේ කඳුළු ගඟ පතුලෙන් වීම එම විශේෂත්වයයි. අද තරුණී ‘මතක මංපෙත‘ තුළින් දිග හැරෙන්නේ කඳුළු ගඟෙහි සැරි සරා ජීවිතය ජයගත් සැබෑ ගැහැනියකගේ ජීවන ගීතයයි.

සුසිලා ඔබ රසිකයාට දෙන සිනහව හැමවිටම ඔබගේ ජීවිතය තුළත් පවතිනව ද?

අපිට තියෙන ජීවිත ප්‍රශ්න එක්ක හැම වෙලාවෙම හිනහ වෙලා ඉන්න අමාරුයි. ඒත් මට ලොකු බලාපොරොත්තු නැති නිසා සැහැල්ලුවෙන් තමයි ඉන්නෙ. මනුස්ස ජීවිතයේ ප්‍රශ්නයක් නැත්නම්, ප්‍රශ්නයක් හදාගන්න එක මනුස්සයන්ගේ හැටි. ඒ වගේ දේවල් වලින් මමත් අනන්ත විඳවනවා. හැබැයි අපිට මොන ප්‍රශ්න තිබුණත් අපේ සහෘදයන් බලාපොරොත්තු වෙන්නෙ අපි හිනාවෙලා ප්‍රීතියෙන් ඉන්නව දකින්නයි. එයාලට අපේ ප්‍රශ්න වලින් වැඩක් නැහැ. තාත්වික රංගනයෙන් සතුටු වෙන පිරිසක් ඉන්නව. සැහැල්ලු සරල දේ විඳීන්න කැමැති පිරිසකුත් ඉන්නව. ජීවිතයේ ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්න ඒ අය තවත් ප්‍රශ්න දකින්න කැමැති නැහැ. මම කියන්නෙ නැහැ ඒක නිවැරැදිම දෙයක් කියල. නමුත් ජනතාවට විනෝදාස්වාදය සපයන කලාකාරිනියක් විදිහට මම ඔවුන්ට සතුට සැහැල්ලුව ලබාදෙන්න හැමවිටම උත්සාහ කරනවා.

ඔබ දරන ඒ වගකීමට නිසි වටිනාකමක් ලැබිල තියෙනව ද?

ඒක කතා කරන්න ගියොත් පත්තරේ පිටු ගාණත් මදි. මං හිතනව ඒක තමයි ඔය ප්‍රශ්නයට එකම උතතරය.

ඔබ කලාවට එන්නෙ පාලම යටින් ද?

මම කලාවට එන්නෙ යූ.ඩී. සේනාරත්නයන්ගෙ ‘නූපන් දරුවො‘ වේදිකා නාට්‍යයෙන්. ඒකෙ මට තිබුණෙ තත්පර පහක රංගනයක්. මට තත්පර පහකට වඩා වේදිකාවේ ඉන්න දෙන්නෙ නැහැ අඬගහනවා. ඇයි අප්පා ඒ තරම්ම තාත්වික විදිහට මම අඬනව වැළපෙනව. ඊට පස්සෙ මට ලැබුණෙ කොට උඩ නාට්‍ය. කොට උඩ නාට්‍ය කියන්නෙ පොල් කොටන් උඩ හදන වේදිකා මත පෙන්වන නාට්‍ය. වෙසක් නාට්‍ය තමයි මේ විදිහට පෙන්වන්නෙ. ඒ නාට්‍ය බලන්න සූ ගාල සෙනග පිරෙනවා. ඔළුගොඩ විතරයි පේන්නෙ.

ඔය අතරෙ තමයි මට පාලම යට චිත්‍රපටය හම්බවෙන්නෙ. ඒකත් මට ලැබුණේ මහ ලොකු රූප සෝබාවක් නිසා නොවෙයි.

මම ඒ කාලෙ හරිම කැහැටු කෙල්ලක්. පාලම යටදි මම කාපු ගුටිය ජීවිතේට අමතක වෙන්නෙ නැහැ. එහි නිෂ්පාදකවරිය ගීතා කුමාරසිංහ මහත්මිය මට අපූරුවට සැලකුවා. හේතුව කියන්න මම දන්නෙ නැහැ. ඇය මගේ හොඳ හිතවතියක්. ඒක මගේ ජීවිතයේ ලබා උපන් හැටි වෙන්නැති. මම හැම ජයග්‍රහණයක්ම ලබන්නෙ ලොකු පහර වැදීමකින් පස්සෙයි. එහෙම දරුණු රිදුමක් එල්ලවෙන වාරයක් වාරයක් පාසා මම එයින් පන්නරය ලැබුවා. ඒකනෙ පාලම යටින් පටන් ගත්ත මම අද පාලම උඩ වගේ ඉන්නෙ.

සුසිලා කෝට්ටගේ කිව්වහම දයාවතී කියන නමත් ගහට පොත්ත වගෙයි නේද?

ඔව්. කෝපිකඩේ දයාවතී කියන්නෙ මගේ දෙවැනි ඉපදීම. ඔය චරිතයට මට හෙට කතාකළත් මම යනවා. මට අඬ ගැහැව්වෙ නැත්තෙත් නැහැ. දැන් කෝපිකඩේ යම්කිසි කඩාවැටීමක් තියෙනවනෙ. ඒ ගිලෙන නැවට ගොඩවෙන්න මම ආසයි. හැබැයි මට නීති රීති ටිකක් තියෙනවා. අර පරණ දයාවතී විදිහට මට පෙනී ඉන්න බැහැ. ඒ චරිතය වියපත් වෙන්න ඕන.

සුසිලා කෝපිකඩේ දාලගියේ ඇයි?

ඒ දුරස්වීම ඇතිවුණේ කළකිරීමක් නිසයි. මම කෝපිකඩේ ඉන්න අතරෙ මට තව තව වැඩ ලැබුණා. ඉතින් මම ඒවටත් යන්න පටන් ගත්තා. ආයතනය පැත්තෙන් මට ඒ වැඩවලට යන්න ලොකු සහයකුත් ලැබුණා. නමුත් ළංවෙලා හිටිය අනිත් අයගෙන් ලොකු බලපෑම් ආවා. මම එහෙම ගිහින් එනවට ඒ අය කැමැති නැහැ. තර්ජන ගර්ජන එද්දී මට හිතුණා ඇයි මම තවදුරටත් ඉන්නෙ කියල.

පස්සෙ මේකට දේශපාලනයත් ගාව ගත්තා. දරාගන්න බැරි තරමට පීඩා දෙනකොට මට යන්න පාරක් හැදිල තියෙද්දි හැරයාම හැර මට ගන්න වෙන තීරණයක් තිබුණෙ නැහැ.

සුසිලාගේ ඔය හිනාව යටින් ගලාගිය අතීත දුක් ගංගාවක් තිබෙන බව අප අසා තිබෙනවා.

මම හැදුණේ අම්මා අහිමිවුණු දැරියක් විදිහටයි. මම වරදක් කළත් නොකළත් මගේ අත්පා වල පාරවල් හිටිනතුරු කුඩම්මා පහර දුන්නා. එක වතාවක කුඩම්මා මට දෙන වද වේදනා බලාගෙන ඉන්න බැරි තැන තාත්ත ඇගේ අතට කුස්සියෙ තියෙන මන්න පිහිය ගෙනත් දීල ටික ටික මරන්නෙ නැතිව එක පාර ඉවරයක් කරපං කිව්වා. කුඩම්මාගේ මේ කුරිරු කම නිසා මමයි මගේ තාත්තයි

හිතාගන්න බැරි තරමට අසරණ වුණා. ඉවසන්න බැරි ම තැන මමයි තාත්තයි ගෙදරින් එළියට බැස්සා. මගේ අධ්‍යාපනයත් බිඳවැටුණා. අපි කොළඹට ඇවිත් දුකසේ ජීවත් වුණා. ඔය අතර තාත්තත් මියයනවා. කොටින්ම මං යන එන මං නැති තැනකට පත්වෙනවා. මගේ පෙර පිනකට දමිතා සළුවඩන මහත්මිය මුණගැහුණා. ඇය මට රැකවරණය දුන්නා.

 

 

2020/11/18 තරුණි පුවත්පත බලන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.