දෙරණෙන් ගෙනෙන අලුත්ම ටෙලිනාට්‍ය අත්දැකීම

'පොදු'
දෙසැම්බර් 2, 2020

හැමවිටම අලුත්ම දේවල් ප්‍රේක්ෂකයන්ට තිළිණ කරන දෙරණ නාළිකාව තවත් අලුත්ම ටෙලි අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට ලබාදෙන්න සූදානම් වනවා. එලෙස දෙරණ ආයතනය මඟින් නිෂ්පාදනය කරනු ලබන නවතම ටෙලිනාට්‍යය වන 'පොදු' පසුගිය 28 වැනිදා සිට සෑම සති අන්තයකම රාත්‍රී 8.30 ටීවී දෙරණ නාළිකාවේ විකාශය වීම ඇරැඹුණා.

දෙරණ නාළිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂිකා ශර්මිලා ධර්මරාසා ෆොන්සේකා 'පොදු' ටෙලි වෘත්තාන්තයට අධ්‍යක්ෂණයෙන් දායක වෙයි. 2015 වසරේ සිට දෙරණ නාළිකාවේ වැඩසටහන් ගණනාවක් අධ්‍යක්ෂණය කළ ශර්මිලාගේ පළමු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය මෙයයි. ලංකාවේ දැනට සිටින එකම වැඩසටහන් අධ්‍යක්ෂකවරිය ඇය වීම විශේෂත්වයක්. 'පොදු' ටෙලි නාට්‍යයේ පිටපත ධම්මික එස්. විජේවික්‍රම සහ සුදේශ් උදයකුමාර රචනා කර ඇත. මෙහි කැමරා අධ්‍යක්ෂණය නිලන්ත කුමාරගෙනි.

ජනක කුඹුකගේ, කලණ ගුණසේකර, අනුරුද්ධිකා පාදුක්කගේ, ගයනි ගිසන්තිකා, කුමාර ජයකාන්ත, හයිසින්ත් විජේරත්න, රසාදරී පීරිස්, ප්‍රියන්ත සිරිකුමාර, සම්පත් චමින්ද ජයවීර, රන්දික ගුණතිලක, ලහිරුණි සල්වතුර, මනෝජා ෆර්නැන්ඩෝ, හර්ෂ ප්‍රභාත්, ලක්රංග හේවාවිතාරණ, දෙව්නක පොරගේ, තනූජා ජයවර්ධන යන රංගන ශිල්පී ශිල්පිනියෝ 'පොදු' ටෙලි නිර්මාණය සඳහා රංගනයෙන් දායක වෙති.

මෙය විශ්වවිද්‍යාල ජීවිත තුළ ගොඩනැගෙන අපූරු යොවුන් ආදර කතාවකි. නිලූ අලගියවන්න සහ කෞෂි විජේතුංග හොඳම මිතුරියන්. කෞෂිගේ සහෝදරයා ආදිත්‍ය විජේතුංග. මොවුන් යොවුන්වියේ සිටම එකට ජීවත් වූ අය වන අතර පාසල් අවධියේ සහ විශ්වවිද්‍යාල අවධියේදී විවිධ සිදුවීම් ඔස්සේ ඔවුන්ගේ සබඳතා වැඩී වර්ධනය වෙයි. ආදිත්‍ය විජේතුංග සැමවිටම පොදු ගැටලුවලට විසඳුම් සෙවීමට පෙළඹෙන, පෘතුල ලෙස සිතනපතන ප්‍රගතිශීලි අයෙක්. ඒ අතරතුර නිලූගේත් ආදිගේත් ආදරය ඔවුන්ගේ සිත්තුළ ලියලයි. නමුත් විශ්වවිද්‍යාල ජීවිතයෙන් පසු ආදි, සේවය කරන්නේ කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍ය මහසෙන් ගුණරත්නගේ මාධ්‍ය ලේකම් ලෙසය. නිලූ සහ ආදි විවාහ වෙන්නට තීරණය කරයි. නිලූගෙත් ආදිගේත් නම් ප්‍රසිද්ධ කිරීමේ දිනයේදී ආදිගේ වාහනය අනතුරට ලක්වෙයි. ඉන් ආදි මතකය අමතක වීමේ රෝගයට ගොදුරුවෙයි. තාරුණ්‍ය, විශ්වවිද්‍යාල ආදරය සහ අනෙකුත් මානුෂීය සම්බන්ධතා අතරේ දිවෙන ආදිගේ මතකය නැවත ඔහුට ලැබෙයිද? 'පොදු' ඒ වටා ගෙතුණු වෙනස්ම ආදරණීය ටෙලි කතාවකි.

සීමිත කොටස් ගණනක් සහිත 'පොදු' ඔබට අලුත්ම අත්දැකීමක් ගෙන ඒවි.