ව්‍යාපාර කළත් මුල් තැන දෙන්නේ කලා කටයුතු වලටයි

රංගන ශිල්පිනී සචිනි අයේන්ද්‍රා
දෙසැම්බර් 16, 2020

වස්සාන සිහිනය චිත්‍රපටය හරහා රංගනයට පැමිණි සචිනි අයේන්ද්‍රා වසර ගණනාවක් පුරා කලා ක්ෂේත්‍රයේ රැඳෙමින් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන රංගන ශිල්පිනියක්. ඇය ටෙලි නාට්‍ය, සිනමාව හරහා ලබපු ජයග්‍රහණ වගේම ආදරණීය බිරියක් සහ මවක්. පසුගියදා ඇය අලුත් වැඩකට මුල පිරූ බව දැනගන්න ලැබුණා.

ඒ ඇයගේම රූපලාවණ්‍ය නිෂ්්පාදනයක් හඳුන්වාදීමයි. ඒ ගැන දැනගන්නත් එක්කම ඇයව කතා බහකට එකතුකර ගත්තා.

ඔබ ව්‍යාපාර කටයුත්තකට මුල පිරුවා කියලා දැන්න ලැබුණා...

ඔව්. මම පසුගියදා මගේම රූපලාවණ්‍ය නිෂ්පාදනයක් හඳුන්වා දුන්නා. බොරලැස්ගමුව සැලෝන් නැචුරල්ස් හිදී තමයි නිෂ්පාදනය හඳුන්වා දුන්නේ. මේ අවස්ථාවට ප්‍රවීණ රංගන ශිල්පීන්, කලාකරුවන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගි වුණා. කෝවිඩ් තත්ත්වය නිසා සෞඛ්‍යාරක්ෂිත විධි විධානවලට අනුකූලව තමයි ඒ කටයුතු සිදු කළේ. Ezthara hair miracle  යන මේ නිෂ්පාදනය මගේ ප්‍රථම රූපලාවණ්‍ය නිෂ්පාදනයි. මට එයට මරීනා සැලෝන්හි මරීනා පෙරේරා, නැචුරල්ස් සැලෝන්හි හසිනි ගුණසේකර වැනි ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනියන්ගෙන් විශාල සහයක් ලැබුණා. EVENTS  තමයි එදින මුළු වැඩසටහනම සංවිධානය කළේ. එහි සිඩ්නි ප්‍රනාන්දුව මතක් කළ යුතුයි. ඒ අවස්ථාව SF Flora  ආයතනය විසින් ලස්සනට හැඩ කර තිබුණා. ඒ වගේම අසීනා සුලෙයිමාන්, Elly Creations සහ Orancy Cake  මතක් කළ යුතුයි. ඉදිරියේදීත් මෙවැනි නිෂ්පාදන කිහිපයක්ම කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.

මෙවැනි නිෂ්පාදනයක් හඳුන්වා දෙන්න හිතුවේ ඇයි?

අවුරුදු තුන හතරකට කලින් මම හිසකෙස් පිළිබඳ ගැටලු රැසකට මුහුණ දුන්නා. හිසකෙස් ගැලවී යන්න පටන් ගත්තා. මෙය ඕනෑම කාන්තාවකට හිසරදයක්. ඇත්තෙන්ම රුව ගැන වැඩි සැලකිල්ලක් දක්වන කාන්තාවකට නම් මෙය බරපතළ ප්‍රශ්නයක්. මගේ හිස කෙස් ගැටලුවලට මම විවිධ නිෂ්පාදන පාවිච්චි කළා. නමුත් හොඳ ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. ඒ නිසා මං කෙස් කලඹට සුදුසු සංයෝග පිළිබඳ අත්හදා බැලීම් කළා. එහිදී එක් අත්හදා බැලීමක් ඉතා සාර්ථක වුණා. එහි ගුණය නිසා මගේ කෙස් කලඹ සීග්‍රයෙන් වැඩෙන්න පටන් ගත්තා. මේ සංයෝගයන් තමයි එස්තරා හෙයා මිරකල් නිෂ්පාදනයට මං යොදා ගත්තේ.

හිසකෙස් සම්බන්ධ ගැටලුවලින් පීඩා විඳීන තරුණියන්, කාන්තාවන් ඕනෑ තරම් ඉන්නවා. ඔවුන්ට ගුණාත්මක නිෂ්පාදනයක් තෝරා ගැනීමට මඟපෙන්වීම අවශ්‍ය දෙයක්.

මේ දිනවල කලාවට ඔබෙන් ලැබෙන දායකත්වය කොහොම ද?

අලුත් ටෙලි නාට්‍යයක රූගත කිරීම්වලට මේ දිනවල සහභාගි වනවා. එය හර්ෂ උඩකන්දගේ අධ්‍යක්ෂණයක්. කෝවිඩ් තත්ත්වය නිසා දුෂ්කරතා මැද එහි රූගත කිරීම් කටයුතු කරන්නේ. මං සාමාන්‍යයෙන් පුංචි තිරයේ නිර්මාණවලට දායක වෙනවා අඩුයි. නමුත් මේ පිටපත කියෙව්වාම මට හිතුණා හොඳ නිර්මාණයක් කියලා. මං වැඩි දායකත්වයක් ලබා දෙන්නේ සිනමාවට. මා රංගනයෙන් දායක වූ චිත්‍රපට 5ක් පමණ තිරගත වීමට නියමිතයි. ඒ අතරින් මා රඟපෑ හොඳම චිත්‍රපටය ගර්භාෂය චිත්‍රපටය. එය තිරගත වෙනකම් තමයි ඇඟිලි ගැන ගැන ඉන්නේ. කොරෝනා නිසා චිත්‍රපටවල තිරගත වීම් කල්ගියා.

 

ගර්භාෂය චිත්‍රපටය වෙනුවෙන් ලොකු කැප කිරීමක් කළා කියලා දැනගන්න ලැබුණා?

ඔව්. මට රඟපාන්න ලැබුණු චරිතය සාමාන්‍ය ජීවිතයට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. කොටි කාන්තාවක ගේ චරිතයක් තමයි මම රඟපෑවේ. ඒ වෙනුවෙන් මට දෙමළ භාෂාව පවා මට ඉගෙන ගන්න සිද්ධ වුණා. තව කොටි කාන්තාවක් විදිහට ආයුධ පාවිච්චි කරන හැටි පවා ඉගෙන ගන්න සිද්ධ වුණා. හැබැයි මම ඒ හැම දේම කළේ හරිම ආසාවෙන්.

 

ව්‍යාපාර කටයුතු සහ කලා කටයුතුත් එක්ක නිවෙසේ වැඩ කටයුතුවලට කාලය තිබෙනවා ද?

මට ඉන්නේ දියණියන් දෙදෙනෙක් නිසා මං නිතරම කාර්යබහුලයි. ලොකු දුව අලිශ්කා. එයාට අවුරුදු 9යි. පොඩි දුව එශාර්යා. එයාට අවුරුදු 6යි. ඒ දෙන්නම අධ්‍යාපනය ලබන්නේ මියුසියස් විද්‍යාලයේ. ඉතිං මේ දවස්වල එයාලගේ අධ්‍යපන කටයුතු සිදුවන්නේ ඔන්ලයින් ක්‍රමයට. ඉතිං ඒ වෙලාවට මම ළඟ ඉන්න ඕනේ. මගේ සැමියා ඒ කටයුතුවලට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඔහු ඉෂාංග මහීපාල. ව්‍යාපාරිකයෙක්. මට මොන වැඩකටයුතු තිබුණත් පවුල තමයි අංක එක කියලා හිතන්නේ.

 

 

ඡායා -  සමන් රත්නායක