කවුද මේ කල්පනා චව්ලා?

ජනවාරි 6, 2021

බබලන නිල්වන් අහස්ගැබ සිසාර යන්නට, අරුමැසි විශ්වයේ රහස් සොයා පියාඹන්න කෙල්ලකුට හිතෙනවා. 1960 ගණන්වල දී සංසකෘතික බැඳීම්වලින් පිරුණු රටක කෙල්ලකුට එහෙම හිතීමත් අරුම පුදුම දෙයකි.

කාන්තාවන් මුළු ගැන්වුණු ඉන්දියාවේ කෙල්ලෙක්ට එහෙම හිතුණත් එය සැබෑකර ගැනීම මොනතරම් අසීරුද? ලෝකයේම අතළොස්සක් වූ පිරිසකට හිමි වෙන මේ අරුමැසි වෘත්තිය පිළිබඳ ළදරු වියේ දී හීන මවා ඒ හීනය සැබෑකරන්නට හැකිවීම ම පුදුමයකි. කල්පනා චව්ලා නම් වූ ඇය සිහින සැබෑකර ගනිමින් අභ්‍යවකාශයට ගිය පළමු ඉන්දියානු කාන්තාවයි.

මේ දිනවල කතාබහට ලක්වෙන නයිවල ප්‍රදේශයේ ජීවත්වන කුඩා දරුවකුගේ කතාවත් සමඟ 'කල්පනා චව්ලා' මතකය නැවත කරළියට ඇවිත්. මතකය අවදි කරනු පිණිස අපි ඈ කවුදැයි මෙලෙස සටහන් කරන්නෙමු.

1963 දී ප්‍රථම වරට රුසියානු ජාතික වැලන්ටිනා තෙරෙස්කෝවා අභ්‍යාවකාශගත වීමත් සමඟ පසුකාලීනව කාන්තාවන් අභ්‍යාවකාශගත වීමට යොමු විය. 1962 මාර්තු 17 වැනි දා ඉන්දියාවේ හර්යානාහි කර්නාල්වල දී මෙලොව එළිය දුටු කල්පනා ඒ මඟ යන්නට සිහින දැකි දැරිවියයි. ඈ උපත ලැබුවේ 1962 මාර්තු 17 වන දා වුණත් ඇගේ උපන්දිනය 1961 ජූලි 1 වැනි දා ලෙස වෙනස් කරනවා. ඒ අඩු වයසින් විභාගයට වාඩිවීමට තරම් දැනුමක් ලැබුවත් විභාගයට වාඩිවීමට ඇගේ වයස හරස්වන නිසායි. ඒ නිසා වයස වැඩිකරමින් සාදා ඇය මෙට්‍රික් විභාගයට මුහුණ දෙනවා. කුඩා කාලයේ දී ගුවන් යානා සහ පියාසර කිරීම කෙරෙහි ඇල්මක් දැක්වූ ඇය සිය පියා සමඟ දේශීය පියාසර සමාජවලට ගොස් ගුවන් යානා නැරැඹුවාය. දරුවන් හතර දෙනකුගෙන් යුතු මධ්‍යම පාන්තික පවුලක බාලම දියණිය ලෙස ස්යෝංගිතා චව්ලාට සහ බනාර්සි ලාල් චව්ලාට දාව කල්පනා උපත ලබනවා. තම මූලික අධ්‍යාපනය තාගෝර් බාල් නිකේතන් පාසලෙන් ලබාගත් ඇය පසුව ගගන ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ උපාධිය පන්ජාබ් ඉංජිනේරු විද්‍යාලයෙන් ලබා ගන්නවා.

ඉන්පසු ඇය 1982 දී එක්සත් ජනපදයට ගොස් 1983 දී ඇය ජීන් පියරේ හැරිසන් සමඟ විවාහ වෙනවා.1984 දී ආර්ලිංටන්හි ටෙක්සාස් විශ්ව විද්‍යාලයෙන් ගුවන් අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත්තාය. 1986 දී දෙවැනි ශාස්ත්‍රපති උපාධිය සහ 1988 දී කොලරාඩෝ බෝල්ඩර් විශ්ව විද්‍යාලයෙන් අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගත්තාය. එම වසරේම නාසා ආයතනයේ ඇමේස් පර්යේෂණ මධ්‍යස්ථානයේ රැකියාව අරඹන්නේ ඇගේ කුඩාකල සිට තිබූ සිහිනයක් ඉටු කර ගනිමිනි.

ඇගේ සිහිනය යථාර්ථයක් වෙමින් පළමු අභ්‍යවකාශ මෙහෙයුම 1997 නොවැම්බර් 19 වැනි දින ආරම්භ වූයේ අභ්‍යවකාශ ෂටල් කොලොම්බියා ඉඊඉ-87 ගුවන් යානයෙන්. ඒ එහි පියාසර කළ ගගනගාමී හය දෙනකුගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකාවක් ලෙසයි. ගගනගාමියෙක් හා ඉංජිනේරුවරියක් වූ කල්පනා එම යානයෙන් ගුවනට පියාසර කළේ මෙහෙයුම් විශේෂඥවරියක් සහ ප්‍රාථමික රොබෝ අවි මෙහෙයුම්කරුවකු ලෙස ය. එදින ඉන්දියාවට සුවිශේෂී දවසක්. ඒ අභ්‍යවකාශගත වූ පළමු ඉන්දියානු කාන්තාව ලෙසත් රකේශ් ශර්මාට පසුව අභ්‍යාවකාශගත වූ දෙවැනි ඉන්දියානු ජාතිකයා ලෙසත් කල්පනා චව්ලා ඉතිහාසයට එක් වීමයි.

එලෙස ගුවන්ගත කළ මෙම ෂටලය තාක්ෂණික කාර්යයන් රැසක් සිදුකිරීමේ අරමුණින් අභ්‍යාවකාශගත වූ අතර ස්පාර්ටන් චන්ද්‍රිකාව කක්ෂගත කිරීම ද ඊට අයත් වුණා. පළමු අභ්‍යාවකාශ ගමනේ දී කල්පනා සැතපුම් මිලියන 10.4ක් සම්පූර්ණ කරමින් දින 15කුත් පැය 12 ක් උඩු ගුවනේ රැඳී සිටිනවා.

2000 වසරේ දී කල්පනා චව්ලා, ඇයගේ දෙවැනි අභ්‍යාවකාශ ගමන සඳහා තෝරා ගනු ලැබූ අතර ඉඊඉ – 107 මෙහෙයුමේ සාමාජිකාවක් බවට පතවිය. කෙසේ වුවත් විවිධ හේතූන් නිසා මේ මෙහෙයුම 18 වරක් ප්‍රමාද වූ අතර 2003 වසරේ දී එය නැවතත් ක්‍රියාත්මක කරන්නට විය. ඊට සහභාගී වීමට සූදානමින් සිටි ගගනගාමී කණ්ඩායම පුහුණු පරීක්ෂණ 80කට පමණ මුහුණ දුන්නා. මෙහෙයුමට සම්බන්ධ ගගනගාමී කණ්ඩායම සාමාජිකයන් සත් දෙනකුගෙන් සමන්විත වූ අතර, එහි කාන්තාවන් දෙදෙනෙක් විය. ඒ කල්පනා චව්ලා සහ වෛද්‍ය ලෝරල් බී. ක්ලාක් නම් එක්සත් ජනපද නාවික කපිතාන්වරියයි.

කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් 2003 ජනවාරි 16 වැනි දා පිටත් වූ ෂටලය, පෙබරවාරි පළමුවැනි දා තම මෙහෙයුම අවසන් කිරීමෙන් පසුව ආපසු කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානය බලා ගමන් කිරීම ආරම්භ කළා. ජනවාරි 16 දින යානය දියත් කිරීමේ දී බාහිර ටැංකියෙන් ගැලවී ඉවත් වුණු කුඩා කොටසක් යානයේ වම් තටුවේ තාප පරිවාරක පැනලවල ගැටී ඒවාට හානි වී තිබුණා. එනිසා යානය ආපසු පැමිණීමේ දී පෘථිවි වායු ගෝලයට ඇතුළු වූ විට ගිනි ගැනීමට ලක් වුණා. මේ දරුණූු අනතුරින් කල්පනා චව්ලා ද ඇතුළුව කොලොම්බියා ශටලයේ සියලුම සාමාජිකයන් ඉතා අවාසනාවන්ත ලෙස පණ පිටින් පිලිස්සී මරණයට පත් වුණා.

යානයේත්, එහි ගමන් කළ අභ්‍යාවකාශගාමීන්ගේත් සුන්බුන් ටෙක්සාස් සහ ලුවිසියානා ප්‍රාන්තවලින් පසුව සොයා ගත් අතර, 1986 දී සිදු වූ චැලෙන්ජර් ශටලයේ පිපිරුමට පසුව සිදු වූ විශාලතම අභ්‍යවකාශ අනතුර ලෙස මෙය හඳුන්වනු ලබනවා.

2002 වසරේ සැප්තැම්බර් 1 වැනි දා ඉන්දියාව විසින් කක්ෂගත කළ ර්ඥබඵචබ – 1 චන්ද්‍රිකාව කල්පනා චව්ලා මිය යෑමෙන් පසුව ඈට ගෞරවයක් ලෙස “කල්පනා -1“ ලෙස නැවත නම් කිරීමට 2003 වසරේ දී එවකට සිටි ඉන්දියානු අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි යෝජනා කරනවා. එසේම කර්නාටක ප්‍රාන්ත රජය විද්‍යා ක්ෂේත්‍රයට අනුපමේය සේවයක් ඉටු කරන කාන්තාවන් ඇගැයීම සදහා 2004 වසරේ දී 'කල්පනා චව්ලා සම්මානය' පිරිනැමීම ද ආරම්භ කරනවා.

2003 වසරේ දී ගුවන්ගත කළ ස්පේස් ෂටල් කොලොම්බියා (ර්‍ණඍ-102) යානයේ සිදුවූ අනතුරෙන් මියගිය කාර්ය මණ්ඩල සාමාජිකයන් හත් දෙනාගෙන් එක් අයෙක් වන්නේත් ඇයයි. ඇගේ මරණින් පසු 2004 වසරේ දී අමෙරිකා එක්සත් ජනපදයේ, අභ්‍යාවකාශ විද්‍යා ක්ෂේත්‍රයට කළ සේවය අගයමින් කල්පනා චව්ලාට අමෙරිකන් කොන්ග්‍රසය විසින් අභ්‍යවකාශගාමින්ට පිරිනමන කොන්ග්‍රස් අභ්‍යවකාශ ගෞරව පදක්කම ප්‍රදානය කරනවා. ඒ වන විට එය පිරිනමා තිබුණේ අභ්‍යාවකාශගාමින් 28 දෙනකුට පමණ යි. ඊට අමතරව නාසා ආයතනය විසින් ද ව්චඵච අභ්‍යවකාශ පියාසර පදක්කමෙන් සහ අතිවිශිෂ්ට සේවය සඳහා වන ව්ඒඉඒ පදක්කමෙන් කල්පනා ගෞරවයට පාත්‍ර කෙරෙනවා.

කල්පනා අධ්‍යාපනය ලැබූ ටෙක්සාස් විශ්ව විද්‍යාලය ද තමන් බිහි කළ වීරවරිය ඇගැයීමට අමතක නොකළ අතර 2004 වසරේ දී එහි නේවාසිකාගාරයක් 'කල්පනා චව්ලා ශාලාව' ලෙස නම් කෙරුණි. නැවත 2010 වසරේ දී එම විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයේ තවත් ස්මාරකයක් ඇය වෙනුවෙන් ඉදි කරනු ලැබුවා.

එසේම නාසා ආයතනය විසින් අඟහරු ග්‍රහයා අධ්‍යයනය සඳහා දියත් කළ රෝවර් මෙහෙයුමේ දී අඟහරු ග්‍රහයා මත සොයාගත් මුදුන් 7 ක් සහිත කඳු පන්තියේ එම මුදුන් 7 කොලොම්බියා ෂටලයේ දී ජීවිතක්ෂයට පත් වූ කල්පනා චව්ලා ඇතුළු අභ්‍යාවකාශගාමින් 7 දෙනාට ගෞරවයක් ලෙස ඔවුන්ගේ නම්වලින් නම් කෙරිණි.

අද ඇය ලොවට වටිනා මතකයක් ඉතිරි කළ නිර්භය කාන්තාවකි. ඉන්දියාවට ජාතික වීරවරියකි.

අන්තර්ජාලය ඇසුරිණි