“මම ගෙවල්වල උයලා තමයි ඇය මේ තරම් දුරක් ගෙනාවේ”

ජනවාරි 27, 2021

ශුක්රාගේ ආදරණීය මව ෆාතිමා හෙළි කළ රහස් 

ශුක්රා මුනව්වර්
 

අපේ රටේ පමණක් නොව ලොව පුරා සිටින ශ්‍රී ලාංකිකයින් අතර එක රැයකින් තරුවක් බවට පත්වූ යුවතිය ඇයයි.

රුවින්, දැනුමින් මෙන්ම කටකාර බවින් යුතු ඇය මේ තරම් ජනප්‍රිය වීමේ රහස කුමක්ද?

ශුක්රා සිරස ලක්ෂපති වැඩසටහනට එන්නේ දරිද්‍රතාවයෙන් පෙළමින් ඉදිරියට යන්නට වෙරදරන දිරිය යුවතියක් ලෙස ලැප්ටොප් යන්ත්‍රයක් මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගන්නටය.

එහෙත් අවසානයේ ඇය මිලියන දෙකක මුදලක් ජයග්‍රහණය කරන්නේ ඒ සඳහා ගත කළ පැය කිහිපය තුළ සිය දැනුම, සිය දැක්ම, සිය නිර්භීත බව මොනවට ප්‍රදර්ශනය කරමිනි.

ඇය අපේ රටේ සමස්ථ සමාජයටම පණිවුඩ ගණනාවක්ම ලබා දෙන්නේ විස්මිත ලෙසිනි. මුස්ලිම් ජාතික යුවතියක්ව ඉපදුණත් ඇය සිංහල භාෂාව, සාහිත්‍යය ගැන පමණක් නොව එවැනි යුවතියක එතරම් දැනුමක් ග්‍රහණය කර ගනිතැයි කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකි අති විශිෂ්ට දැනුමකින් සන්නද්ධව සිටියාය. එසේම ඇගේ සමාජයේ පමණක් නොව සමස්ථ සමාජයේම කාන්තාව මුහුණ දෙන ගැටලු වෙනුවෙන් හඬක් නඟන්නට නායකත්වය දෙන්නට සූදානම් බව ප්‍රකාශ කළාය.

එසේම උත්සාහය, අධිෂ්ඨානය තිබේනම් ජීවිතයේ කළ නොහැක්කක් නොමැති බව ඉඟි කරමින් ඇය සමස්ථ දූදරු පරපුරටම පාඩමක් කියා දෙන්නීය.

ජාතික කාන්තා පුවත්පත ලෙස ඇගේ කතාව තරුණී තුළින් ගෙන එන්නේ ඒ නිසාය.

මේ ධෛර්යවන්ත දියණියගේ හදේ ශ්‍රී ලාංකේය අපේකම උතුරා ගලනවා. සිංහල සාහිත්‍ය, සංස්කෘතිය, භාෂාව, ඉතිහාසය, හෙළ චිත්‍ර කලාව, දේශීය කර්මාන්තය, සිනමාව, වේදිකාව මේ සියලු දේ එකට කැටි කර ඇය සිරස ලක්ෂපති වේදිකාව මත හරිම සැහැල්ලුවෙන් විශ්වාසයෙන් දිග හරිනවා. ඇත්තෙන්ම මෙවන් වූ සාහිත්‍ය දැනුමක්, සිංහල භාෂණය පිළිබඳ හැකියාවක් මෙවන් මුස්ලිම් පවුල් පසුබිමකින් පැමිණි දියණියක් තම විඥානයට ගොනුකර ගත්තේ කෙලෙසද? ඇය තම දැනුම ග්‍රහණය කර ගත්තේ කෙලෙසදැයි දැන ගැනීම සමස්ථ ලාංකේය දරු පරපුරටම තවමත් ආදර්ශයක්. ඇය පියවර තබන්න හදන ඒ දිගු මාවත ගැන ශුක්රා මහත් අධිෂ්ඨානයෙන් හා විශ්වාසයෙන් යුතුව තම හඬ අවදි කළේ මහත් සැහැල්ලුවෙන්.

“ඇත්තටම මම සිරස ලක්ෂපති වැඩසටහනට සහභාගි වෙන්න කලින් එක පොතක්වත් ඇල්ලුවේ නෑ. මේ සියලු දේ මම ජීවිතය පුරා එකතු කරගත්තු දැනුම. මම හුඟක් දේ දැනගත්තේ ඇහුන්කන්දීමෙන්. මගේ අක්කා, මල්ලි, අම්මා, තාත්තා.... අපේ පවුලේ සැමදෙනාම මට හුඟක් දේ කියා දීලා තියෙනවා. ඕනෑම කෙනෙකුට ඇහුන්කන් දුන්නොත් තමයි ඒ පුද්ගලයා කියන්නේ මොනවාද කියලා අවබෝධ කර ගන්න අවස්ථාව ලැබෙන්නේ. මගේ පවුලේ තිබුණු අඟහිගකම් නිසයි මම මේ තැනට ආවේ. අපේ පවුලේ හැම දෙනාම මාව මෝටිවේෂන් කළා. ඒ නිසයි මට මේ තරගය ජය ගන්න හැකි වුණේ.

මට අක්කලා දෙන්නෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. අපට තිබුණු අඟහිගකම් නිසා අක්කලාට හොඳට ඉගෙන ගන්න බැරි වුණා. එක අක්කා කෙනෙක් මැහුම් ශිල්පිනියක්. ඇය ඒ වැඩේ හොඳට කරනවා. අනෙක් අක්කා ඡායාරුප ශිල්පිය හදාරනවා. මල්ලි තවම පාසල් යනවා. මගේ පියා ලිපිකරුවකු ලෙස සේවය කළා. නමුත් ඔහු දියවැඩියා රෝගය නිසා මට අවුරුදු 12 දී රෝගාතුර වුණා. දැන් ඔහුට ඇවිදින්න අපහසුයි. දැන් මගේ වයස අවුරුදු 17 යි. 2022 වසරේදී උසස් පෙළට වානිජ අංශයෙන් පෙනී සිටිනවා.

මම පළමු ශ්‍රේණියේ පටන්ම ඉගෙනුම ලැබුවේ ගාල්ල ගා/සුධර්මා මහා විද්‍යාලයේ. මගේ පාසල බෞද්ධ පාසලක්. පොඩි කාලේ පටන්ම මගේ මව්පියන් මුස්ලිම් පාසලකට දාන්න හිතුවේ නැහැ. අපේ පාසල තියෙන්නේ ගේ ළඟමයි. ඇත්තටම මගේ මව්පියන්ට පහසු නිසයි ගේ ළඟම පාසලට යැව්වේ. මට ශිෂ්‍යත්ව විභාගයට තිබුණේ ලකුණු 98 යි. ඉස්කෝලෙන් මම හුඟක් දේ ඉගෙන ගත්තා. බෞද්ධ, ක්‍රිස්තියානි, දෙමළ, මුස්ලිම් හැම ළමයෙක්ම අපේ පාසලේ ඉන්නවා. ඒ හැම ළමයෙක් එක්කම මම කතා කරනවා. සහජීවනයෙන් ඉන්න මම ඉගෙන ගත්තේ ඒ නිසයි. ඒ වගේම අපේ පාසලේ තිබෙන ශිෂ්‍ය භට කණ්ඩායම, බාලදක්ෂ ආදී හැම කණ්ඩායමකම කටයුතු කරනවා. ඒ හැම දෙයකටම එක්වී සහජීවනයෙන් කටයුතු කිරීමෙන් මම බොහෝ දේ ඉගෙන ගත්තා.”

මෙලෙසින් ඇයගේ පෞද්ගලික තොරතුරු ගැන සඳහන් කරන අතර ඇයගේ සිංහල සාහිත්‍ය පිළිබඳ වූ හැකියාව ලබා ගත් ආකාරය ගැනත් සඳහන් කළේ මහත් අභිමානයෙන්.

“මම සිංහල භාෂාව රස වින්දනයට හරිම කැමැතියි. ඇත්තටම සිංහල භාෂා ශෛලිය හසුරුවන ආකාරය හරිම ලස්සනයි. අපේ සිංහල සාහිත්‍ය කිව්වාට ඒ සාහිත්‍ය ගොඩනැඟෙන්නේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ නිර්මාණවල එකතුවකින්. සැළලිහිනි සංදේශය, ගිරා සංදේශය, මයුර සංදේශය, ගුත්තිල කාව්‍ය, සද්ධර්ම රතනාවලිය, සිංහබාහු නාට්‍ය ඒ වගේ නිර්මාණ අපේ රටේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් රචනා කළ දේවල්. ඇත්තටම ඒ අය අතීතයේ ඒ දේවල් රචනා කළේ මතු පරපුරට දායාද කරන්න. දැන් ඒවා අප අතට ලැබිලා තියෙනවා. දැන් අපි රසවිඳින්න ඕනේ.... ඒ අයව අගය කළ යුතුයි. මම සිංහල සාහිත්‍යයේ හුඟක් දේ ගැන සොයා බලනවා. පන්සියපනස් ජාතකය, ත්‍රිපිටකය වගේ දේ ගැනත් අධ්‍යයනය කරනවා. ඇත්තටම සිංහල සාහිත්‍යයේ මම හුඟක් කැමැති රසවින්දනයට. ඒ ගැන විශ්ලේෂණය කරනකොට තමයි මට හුඟක් දේ හම්බවුණේ. මම මේ එක දෙයක්වත් කට පාඩම් කළේ නෑ. විභාගයකට යනකොටවත් මම කිසි දෙයක් කට පාඩම් කරන්නේ නැහැ. ඇත්තටම මට ඇහුණු, දැකපු දේවල් තමයි ග්‍රහණය කර ගන්නේ, මතකයේ තබා ගන්නේ.
 


 

ශුක්රා පවුලේ අය සමඟ

මම කිසිම ෆෝන් එකක් පාවිච්චි කරන්නේ නැහැ. ඒත් දැන් මම ර්‍ණටටඪජඪචත ර්‍ථචඨඥ එකක් ර්‍ණනඥද කරලා තියෙනවා. ඒකේ 99% ක් මිනිස්සු කතා කරලා කියලා තිබුණේ මුනව්වර් ඔයා දක්ෂයි. ඔයාට මේ රට වෙනස් කරන්න පුළුවන් කියලා. නමුත් 1% ක් විතර මම වෙනත් ජාතියක කෙනෙක් විදිහට තමයි අදහස් දක්වලා තිබුණ්. ඒ විදිහට මම ගැන වැරැදි චිත්‍රයක් මවාගෙන ඉන්නේ එක්කෙනෙක් දෙන්නෙක් විතරයි. මම හිතනවා ඒ සුළු පිරිස මට බාධාවක් වෙන එකක් නැහැ. මට ආත්ම විශ්වාසය තියෙනවා. ඒ අය අභියෝගයක් නෙවෙයි කියලා.”ඇය පෙරමඟ බලා සිටින්නේ දිගු ගමනකටය. ඒ ගමනට ආගමික පසුබිමෙන් ඇතිවිය හැකි අභියෝග පිළිබඳ සඳහන් කළේ මහත් විශ්වාසයෙනි.

“ඇත්තටම මම හුඟක්ම ඉස්ලාම් ආගමට ළැදියි. ඒක තමයි මගේ ආගම. ඒත් ඕනෑම ආගමක, සමාජයට යහපතක් කිරීම තමයි උගන්වන්නේ. මේ ගමන යන්නට මගේ ආගම බාධාවක් වෙයි කියලා මම හිතන්නේ නෑ. මම හැම ආගමකටම ගරු කරනවා. උදාහරණයක් ලෙස මම බෞද්ධයෙක් හැටියට ඉඳලා ෂෝල් එකක් දාගෙන හිටියා නම් මිනිස්සු හිතන්නේ මම මුස්ලිම් කියලා. නමුත් ඇත්තම චරිතය බෞද්ධනෙ. අන්න ඒ බලන දෘෂ්ටිය තමයි වෙනස් කරන්න ඕනේ.

මම හිතනවා මාව දැකලා ඉදිරියෙදී සාක්ෂරතාව අතින් මුස්ලිම් කාන්තාවන් ඉදිරියට එන්න උනන්දු වෙයි කියලා. ඒ වගේම ඉදිරියේදී මගේ අපේක්ෂාව සමාජයේ දැවෙන සෑම ප්‍රශ්නයක්ම කතා කිරීමයි. මට අවශ්‍ය වුණේ මගේ අධ්‍යාපනයත් සම්පූර්ණ කරගෙන කාන්තා නියෝජනයක් කරමින් ස්ත්‍රී පුරුෂ කියන දුරස්ථභාවය නැතිකරන්න. ඒ සියල්ල සුණු විසුණු කර දැමීම තමයි මගේ අපේක්ෂාව.”

මේ කතාවේදී ඇය වඩා සංවේදී වූයේ ඇගේ මව ගැන කතා කරන මොහොතේදීය. සියලුම හැකියාවන් හා සෘජුව කතා කිරීමේ ශක්තිය ඇයට හිමි වූ ඇයට ඉගැන්වූයේ ඇයගේ මවය. ඒ ගැන ද ඇය සදහන් කළේ මහත් අභිමානයෙන්.

එවන් වූ අභිමානවත් වූ ගමනක් එන්නට දිරිය දුන් ශුක්රාගේ ආදරණීය මව ද මේ කතාවට අප එක්කර ගත්තේ එය සැබැවින්ම ඔබ දැනගත යුතුම නිසාවෙනි. එම්. අයි. වයි. ෆාතිමා... ශුක්රාගේ ආදරණීය අම්මා ඇයගේ ගමනට ශක්තියක් වූ අයුරු අව්‍යාජ ලෙසින්ම පැවසුවේ මෙලෙසිනි.

“අපේ දුව පුංචි කාලේ පටන්ම දක්ෂ වුණත් ශිෂ්‍යත්ව පංතියකටවත් යවන්න වත්කමක් අපට තිබුණේ නැහැ. ඉස්කෝලේ පංතියට විතරයි ගියේ. මගේ සැමියා රෝගී වුණා. මට තනියෙන්ම විශාල බරක් අදින්න සිද්ධ වුණා. මම ගෙවල් ගානේ ගිහින් උයලා තමයි මගේ දරුවා මේ තරම් දුරක් ගෙනාවේ. ඒ දුක මගේ දරුවාට තේරෙනවා. දැනෙනවා. තාත්තා ලෙඩ. මම මහන්සි වෙනවා. එයාට ඉගෙන ගන්න ලැප්ටොප් එකක් ඕනේ වුණා. ඒත් අපේ කිසිම කෙනෙක් ඒකට උදව් කළේ නැහැ. උදව්වට ආවේත් නෑ.

අපේ ගෙදර පොඩි පුතයි සුක්රා දුවයි හැමදාම ලක්ෂපති තරගය බලනවා. ඒ ප්‍රශ්නවලට උත්තර කියන්න කලින් හැමදාම මේ දෙන්නා උත්තර දෙනවා. මම කිව්වා හැමදාම දෙන්නම ඕක බල බලා උත්තර දිදී ඉන්නේ ඔය තරගයට යන්නකෝ කියලා. රුපියල් 10000ක් හරි හම්බවෙයිනේ කියලා. ඊට පස්සේ තමයි එයා ට්‍රයි එකක් දීලා බැලුවේ. එයාට තරගයට යන්න ඉක්මනට අවස්ථාව ලැබුණා. අපි තරගයට ගියේ රුපියල් 15000ක් විතර ණයට ඉල්ලාගෙන. ඒත් එයාට ඩ්ධබ ඉඥචබ එකේ ඉඳගන්න බැරි වුණා. නමුත් එදා අනෙක් අය තරග කරනවා දැකලා සතුටු වෙලා ගෙදර ආවා. එතැන සීට් එකේ හරි වාඩිවෙන්නත් වාසනාව ලැබුණා කියලා අපි හිත හදා ගත්තා. නමුත් දුව හරිම කනගාටු වුණා. මගේ අම්මාට මම ණය වුණානේ. අම්මා ණයට ගත් සල්ලි අරගෙන ගියේ කියලා දුව හරියට ඇඬුවා. මම කිව්වා ඔයාට ඉගෙන ගන්න මෙච්චර මම වියදම කරලා තියෙනවා. ඕක මොකක්ද කියලා.

ඇත්තටම එයා බස් එකේ ඉස්කෝලේ යන්නේ නැහැ. ඒ නිසා මම ලයිසන් එකක් අරගෙන ෆිනෑන්ස් කරලා බයිසිකලයක් ගත්තා. අවුරුදු 4කින් ගෙවන්න. ඇත්තටම මට මාසෙකට ගෙවන්න පුළුවන් රුපියල් 7000යි. මේ මගේ දුක මේ දරුවාට දැනෙනවා. අපි කිව්වා බය වෙන්න එපා සිරසෙන් ආයිත් ඔයාට කතා කරයි කියලා. දවසක් රෑ කෝල් එකක් ආවා.

ශුක්රා ඔයාව තෝරා ගත්තා ඔයා උදේට එන්න කියලා. අපි එදා ගොඩක් සතුටු වුණා. එදා තරගයට ගිය දවසේ හැමෝම එයාව ධෛර්යමත් කළා. ඒ ධෛර්යෙන් එයා ඩ්ධබ ඉඥචබ එකට ගියා. මම දන්නවා මගේ දුව පුටුවේ ඉඳ ගත්තොත් 100% දිනනවා කියලා. එයා දිනුවාට පස්සේ එයා කියපු දේවල් ඇහැව්වාම මටත් හිතා ගන්න බැරි වුණා මගේ දුව ඒ තරම් දක්ෂයිද කියලා.අපට මේ දරුවා තරගයෙන් දිනුවාට ප්‍රශ්න ගොඩක් තියෙනවා. වහිනකොට අපේ ගේ සම්පූර්ණයෙන්ම තෙමෙනවා. නමුත් අපි කාගෙන්වත් ඉල්ලන්න යන්න හිතුවේ නැහැ. අපිම නැගිටිමු කියන අධිෂ්ඨානය තිබුණා. දැන් අපට සල්ලි ගැන හිතන්නේ නෑ. සල්ලි ලැබුණත් නැතත් අපේ දුව සිංහල, මුස්ලිම්, දෙමළ, බර්ගර් හැම කෙනෙක් වෙනුවෙන්ම කතා කරලා කියපු දේ හරි වටිනවා. එය මුදල් වලට වඩා හුඟාක් වටිනවා.

ඇත්තටම අම්මා හැටියට මටත් හිතාගන්න බැහැ මගේ දුව මෙච්චර කතන්දර දන්නේ කොහොමද කියලා.

එයා හුඟක් වෙලාවට හොරෙන් මේ කවි සිංදු පාඩම් කරගන්න ඇති. මගේ ප්‍රාර්ථනාව මගේ දරුවා වගේම සෑම ජාතියකම දූ දරුවන්ට වාසනාව ලැබෙන්න කියලයි.”

 

***********************************************************************

 

ශුක්රා පොත පතට පමණක් සීමා වුණු දරුවෙක් නොවේ
 
 
ගා/සුදර්මා  විද්‍යාලයේ විදුහල්පති සරත් ලියනගමගේ මහතා
 
“ශුක්රා කියන්නේ පොතට පමණක් සීමා වුණු දරුවෙක් නොවෙයි. මේ දරුවා පාසලේ සෑම බාහිර ක්‍රියාකාරකමකටම එකතු වෙනවා. ඇය පාසලේ කැඩෙට් කණ්ඩායම නියෝජනය කරමින් රන්ටැඹේ පුහුණු කඳවුරේ  පවා පුහුණුව ලැබුවා. ඊට  අමතරව ඇය පුංචි කාලේ පටන්ම  භාෂා තුනෙන්ම පාසලේ නිවේදන කටයුතු කළා. ඇත්තටම ඇයගේ ඒ හැකියාව නිසා මුළු පාසලේම හරිම ජනප්‍රියයි. ඒ වගේම සුහදශීලීව හැම කෙනෙක් සමඟම කතාබහ කරනවා.
ඇය මුස්ලිම්  දැරිවියක් වුණාට  සාම්ප්‍රදායික රාමුවකට කොටු වුණු චරිතයක්  නොවෙයි.
 
ඇයට ඉඩ ලැබෙන හැම මොහොතකම අමතර  පොත පත කියවනවා. ඒ වගේම ඇයගේ වඩාත්ම ප්‍රියකරන  තැන වුණේ පාසල් පුස්තකාලයයි.
ඇත්තටම  දරුවෝ පොත් පත් කියවීමෙන්  ඈත් වෙන කාලයක ඇය  හැම විටම පොත් කියවනවා. සමහර වෙලාවට  පාඩම්  වැඩ කියාදෙන වෙලාවේදී ඩෙස්ක් එක යට තියාගෙන පොත් කියවලා ගුරුවරුන්ගෙන් ඇය ගුටි කාලා පවා තියෙනවා. මේ දැරිවිගේ ජයග්‍රහණයෙන්  සමස්ථ ලාංකීය සමාජයට  සමාජගත කළ යුතු හොඳම පාඩම වෙන්නේ පාසල් විෂය රාමුවට කොටු නොවී අමතර පොතපත කියවීම තුළින් අපට විශාල දැනුමක් ලැබීමට හැකි බවයි. එය මේ වැඩසටහනින්  රටටම පෙන්නුවා.  ගමේ පාසලකින් මේ තරම් දක්ෂයකු බිහිවීමේ අභිමානය අප පාසලේ හැමදෙනාටම තිබෙනවා. ඇයට ජීවිතයේ දිගු ගමනක් යන්න අපි හද පතුලෙන්ම  සුබපතනවා.”

 

 

සටහන

දුමින්ද කාරියවසම්

ඡායා - ද ශාන් රූපස්සර