ඉදිරි නිර්මාණවලදි රංගනය පැත්තෙන් අලුත් දෙයක් දකින්න ලැබේවි

වින්ඩිගේ ආදරය ගැන විස්තර පසුව කියන්නම්
මාර්තු 10, 2021

නව පරපුරේ මේ හැඩකාර තරුණයාට විවිධ නම්වලින් ආමන්ත්‍රණය කරනවා. යෞවනයේ සිහින කුමාරයා කියලා සමහරු කියද්දී තවත් අය කියන්නේ චාඕ මල්ලි කියලා. සරාගයේ, සංසාර සිහිනයේ, අවසන් සටන සහ චාඕ මල්ලි වැනි ගීතවලින් යෞවන යෞවනියන් අතර අතිශය ජනප්‍රිය වූ ඔහු වෙන කවුරුත් නෙවෙයි සංගීත් වික්‍රමිසිංහගේ පුත් සනුක වික්‍රමසිංහ. මේ ඔහු සමඟ කළ කතා බහයි.

ඉතිං කොහොමද සනුක?

හොඳින් ඉන්නවා.

මේ දවස්වල සනුකගේ අලුත්ම තොරතුරු මොනව ද?

අලුත් නිර්මාණ කීපයක් සඳහා සූදානම් වෙනවා.

යෞවනයේ සිහින කුමාරයා විදිහටයි ඔබව හඳුන්වන්නේ. ඒ ගැන මොකද හිතන්නේ?

එක එක නම්වලින් මාව හඳුන්වනවා. ගොඩක්ම ප්‍රසංග වේදිකාවල නිවේදන කටයුතු කරන පිරිස. එහෙම නමක් තමයි යෞවනයේ සිහින කුමාරයා. මං හිතන්නේ ඒ නම එන්න ඇත්තේ සංසාර සිහිනයේ කියන ගීතයත් එක්ක. චාඕ මල්ලි කියන නමත් මගේ ගීතයක් නිසා හැදුණු නමක්නේ.

ඔබේ පරපුරේ අයගේ ගීත එනවා යනවා. හැබැයි ඔබේ ගීත කවදත් හිට්. මොකක්ද රහස?

එහෙම රහසක් නැහැ. මට තේරෙන විදිහට මම නිර්මාණයක් ලේසියෙන් එළියට දාන්නේ නැහැ. ඒක වෙනුවෙන් සෑහෙන මහන්සි වෙනවා. මොකක් හරි හේතුවකට මගේ ගීතවලට රසිකයෝ එකතුවෙලා ඉන්නවා. ආදරය කරනවා. මගේ මුල්ම ගීතවලට පවා මගේ යූටියුබ් චැනලයට තවමත් හොඳ ප්‍රතිචාර ගලාගෙන එනවා. මම හිතනවා ඉදිරියටත් රසිකයින් ඉදිරියටත් මගේ ගීත ආදරයෙන් වැළඳගනීවි කියලා.

ඒ වගේම ගොඩක් අය කියනවා ඔබේ පියා සංගීත් වික්‍රමසිංහට වඩා සනුක වික්‍රමසිංහ හිට් කියලා.

ඒක සසඳන්නේ කොහොමද කියන්න මට අමාරුයි. නමුත් මට සතුටුයි මගේ තාත්තා සංගීත ක්ෂේත්‍රයට කරපු දේවලින් කොටසක් හරි මට ලැබෙනවට. සමහරු කියනවා තාත්තා වගේම පුතත් හොඳ තැනක ඉන්නවා කියලා. තවත් අය කියනවා තාත්තට වඩා පුතා ජනප්‍රිය වුණා කියලා. කෙසේ වෙතත් මේ වගේ කතා සමාජයේ ගොඩ නැගෙන්නේ මම සංගීතයට යමක් කරපු නිසා කියලයි මං හිතන්නේ.

තාත්තා ඔබ ගැන මොකද කියන්නේ?

මම අද යම් තැනක ඉන්න එක ගැන තාත්තට ඇත්තටම ආඩම්බරයි. රූපවාහිනී වැඩසටහනකදී හෝ කෙනෙක් ඔහුගේ ඒ ගැන විමසුවම ඔහු ඒ ගැන ආඩම්බරෙන් කතා කරනවා. ඒක දකින මට ඊටත් වඩා සතුටුයි.

ප්‍රසංග වේදිකාවේ මේ දවස්වල තිබෙන්නේ මොනවගේ ඉල්ලුමක්ද?

ඇති වී තිබෙන කොවිඩ් තත්ත්වයත් එක්ක ප්‍රසංග බොහොමයක් වගේ නැවතුණා. ඒ නිසා කලා ක්ෂේත්‍රයේදී වැඩිම බලපෑමක් ඇතිවෙලා තියෙන්නේ ගායක ගායිකාවන්ට. නමුත් යූටියුබ් වැනි ක්‍රම මේ කොවිඩ් වසංගතයට යම්තාක් දුරට පිළියමක් කරගන්න පුළුවන්. මොකද වින්ඩ් ගුණතිලක සමඟ මම ගායනා කරන ‘අපි දෙන්නා’ ගීතය එළිදැක්වූයෙත් පසුගිය නත්තලේදී. ඒකට හොඳ ප්‍රතිචාර ලැබුණා.

හොඳම දේ තමයි මේ කොවිඩ් තත්ත්වයත් එක්ක අපිට පවුලේ අයත් එක්ක නිදහසේ ඉන්න කාලය ලැබුණා. ඒ ලැබුණු නිදහස තමයි මගේ ගීත නිර්මාණය සඳහා යොදා ගත්තෙත්. මම සංගීත අධ්‍යක්ෂණය පැත්තටත් ලොකු කැමැත්තක් දක්වනවා. සංගීත අධ්‍යක්ෂණය සම්බන්ධයෙනුත් වැඩි වැඩ කොටසක් කළේ මේ කාලයේදී ඒ වගේම වොයිස් ටීන් වලට මගේ කණ්ඩායමේ ළමයි එක්ක අලුත් වැඩ ටිකක් කරන්න ඉන්නේ. ඒ දේවලුත් කරගෙන යනවා. හොඳ මඟපෙන්වීමක් ලබා දුන්නොත් දක්ෂයින් බිහි කරන්න පුළුවන්.

ආදරය ගැන මොකද හිතන්නේ?

ආදරය ඉතිං සුන්දරයි. හැමෝටම ආදරය ලැබෙන්න ඕනේ. එතකොටයි ජීවිතය සුන්දර වෙන්නේ.

වින්ඩි ඔබේ ආදරයේ හිමිකාරියද?

රූකාන්ත ගුණතිලකගේත් චන්ද්‍රලේකා පෙරේරාගෙත් බාල දියණිය වින්ඩි ගුණතිලක මා බොහෝ කල් සිටම අඳුරනවා. මොකද අපේ පවුල් දෙකේම තියෙන්නේ සංගීත පසුබිමක්.

පසුගිය දවස්වල මම වින්ඩි සමඟ ඉන්න ඡායාරූප කිහිපයක් මගේ ෆේස්බුක් ගිණුමේ පළ කළා. මං හිතන්නේ ඒ නිසා ගොඩ දෙනෙක් ඒ ගැන කතා බහ කළා. ඉතිං වින්ඩිගේ ආදරය ගැන විස්තර පසුවට කියන්නම්.

ගායනයට ඇවිත් ජනප්‍රිය වෙලා රංගනයට යොමු වූ අය ඉන්නවා. තමන්ගේ ගීත රූප රචනාවලදී සනුකගේ ඉදිරිපත් කිරීම් දිහා බැලුවම පෙනෙනවා නළුකමටත් සුදුසුයි කියලා.ටෙලිනාට්‍ය කිහිපයක රඟපාන්න මට කතා කළා. ඒත් මම ගියේ නැහැ. රඟපෑම ගැන කිසිම හැදෑරීමක් නැතුව ඊට යොමුවෙන්න මම කැමැති නැහැ. අනික මේ කාර්යබහුලකමත් එක්ක රඟපෑමට කාලය හොයාගන්න අමාරුයි. නමුත් ඉදිරියේදී මගේ ගීත නිර්මාණවලදී රංගනය පැත්තෙනුත් අලුත් දෙයක් මගේ රසිකයින්ට දකින්න ලැබේවි.

ඉදිරියේදී එන්න තියෙන ගීත නිර්මාණය ගැන ඉඟියක් දුන්නොත්....

මම කලිනුත් කිව්වා වගේ, නිර්මාණයක් කළත් එකපාරටම එළියට දාන්නේ නැහැ. රසිකයින්ට කුතුහලය ඇති කරන්න මං හරි කැමැතියි. ගොඩක් වෙලාවට මගේ ෆේස් බුක් ගිණුමේ සති කිහිපයක්ම කුතුහලය ඇතිකරලා තමයි නිර්මාණය එළියට දාන්නේ. ඉදිරියේදී නිර්මාණ කිහිපයක්ම එන්න තියෙනවා.