ලයනල් මෙසී මෙන් සුපිරි තරුවක් වීමට සිහින මවන ප්‍රවීණා

මාර්තු 24, 2021

 

* ජාතික කණ්ඩායම වෙනුවෙන් වැඩිම ගෝල ලබාගත් ක්‍රීඩිකාව මමයි

* අම්මාට ඕන වුණේ මාව ගුරුවරියක් කරන්න

* අම්මා අකැමැති නිසා කාලයක් ක්‍රීඩාව අතහැරියා

* යළිත් ආවේ පළමු පුහුණුකරු විරාජ් සර්ගේ බලකිරීම නිසයි

* නොකඩවා වසර 9 ක් ජාතික සංචිතවල සිටියා

අද තරුණී කවරය සරසන සුරූපී යුවතිය වර්තමාන ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම පාපන්දු ක්‍රීඩිකාවන් අතරේ සිටින දක්ෂතම ක්‍රීඩිකාවක්. ඇය ප්‍රවීණා පෙරේරා. වසර 9 ක කාලයක් තිස්සේ ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කරන ප්‍රවීණා, කාන්තා පාපන්දු කණ්ඩායම වෙනුවෙන් වැඩිම ගෝල ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩිකාවද වෙනවා. ඇගේ ක්‍රීඩා දිවියේ තොරතුරු ගැන කතා බහකට තරුණී සමඟින් එකතු වුණා.

 

ජාතික කණ්ඩායමට තෝරා ගත්ත හැටි මතක ද?

මගේ මුල් පාසල වුණේ වැලිවේරිය මද්දුම බණ්ඩාර මහා විද්‍යාලය. පාසලේ පාපන්දු පුහුණු කරනවා. මාත් සහභාගි වුණා. එතකොට මට වයස අවුරුදු 11 යි. පාසලේ පාපන්දු කණ්ඩායම සම්බන්ධවෙලා කොට්ටාස, පළාත්, සමස්ත ලංකා 2009, 2010 චැම්පියන් වුණා. එහෙම ආපු ගමන තමයි මේ. ඊට පස්සේ මං ගියේ ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට. එහි පාපන්දු තිබුණේ නැහැ.

එතකොට වැලිවේරිය ඩයිනමික් පාපන්දු කණ්ඩායමට මම ක්‍රීඩා කළා. එහිදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරින් පිරිසක් මගේ දක්ෂතා අඳුනගෙන මාව ජාතික සංචිතයට කැඳෙව්වා. මාව ඔවුන් කෙළින්ම සම්බන්ධ කළේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට. ඒ 2012 වසරේදී. එතැන් සිට අද දක්වාම මම නොකඩවා ජාතික සංචිතයේ ඉන්නවා.

 

දැනට ජාත්‍යන්තර තරග කොපමණ ප්‍රමාණයකට සහභාගි වෙලා තියෙනවද?

2012 වසරේ සිට මම ජාතික පාපන්දු කණ්ඩායමේ සාමාජිකාවක් විදිහට අඛණ්ඩවම ක්‍රීඩා කරලා තියෙනවා. ලංකාවේ වගේම මම විදෙස් රටවල් රැසකදීම ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වී තිබෙනවා. දැනට ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායම වෙනුවෙන් වැඩිම ගෝල ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩිකාව වන්නේ ද මමයි.

 

පාපන්දු ක්‍රීඩාවට පමණද යොමු වුණේ?

නැහැ. මම ක්‍රීඩාවට ගොඩක් කැමැතියි. මලල ක්‍රීඩා, වොලිබෝල්, එල්ලේ, ක්‍රිකට් වැනි ක්‍රීඩාවලටත් මම යොමු වුණා. නමුත් පාපන්දු ක්‍රීඩාවට මූලික අවධානය යොමු කළ නිසා අනෙකුත් ක්‍රීඩා අත්හැරියා.

 

ක්‍රීඩාව තෝරා ගනිද්දී පවුලේ අය විරුද්ධ වුණේ නැතිද?

පිරිමි ළමයකුට වඩා ගැහැනු ළමයෙක් ක්‍රීඩාවක් තෝර ගනිද්දී ටිකක් වෙනස්. මව්පියෝ ඒ ගැන ගොඩක් හිතනවා. මගේ අම්මා කැමැති වුණේම නැහැ. එයාට ඕන වුණේ මාව ගුරුවරියක් කරන්න. තාත්තට තමයි උනන්දුවක් තිබ්බෙ ක්‍රීඩාව ගැන. මං තරගාවලින් දිනලා පදක්කම්, සහතික ගෙදර ගෙනත් පෙන්නුවාම තාත්තට ගොඩක් සතුටුයි. තාත්තා කිව්වේ චූටි දුව ඔයා දවසක ජාතික කණ්ඩායමට යන්න ඕන කියලා. තාත්තා රිඩ්ලි පෙරේරා. තාත්තා නැති වෙලා අවුරුදු දෙකක් වෙනවා. අම්මා අනුලා පෙරේරා. මට මල්ලි කෙනෙක් ඉන්නවා. එයා ප්‍රවීණ් පෙරේරා. එයාලා මට ගොඩක් උදව් කළා.

 

මෙවැනි ගමනක් තනියම යන්න පහසු දෙයක් නෙවෙයි....

ඔව් ඇත්තටම අද මම මේ තැන ඉන්නේ මට ගොඩක් අය සහයෝගය දුන් නිසා. මම කාලයක් ක්‍රීඩාව නවත්තලා තිබුණා. අම්මා අකමැති නිසා. මගේ පුහුණුකරු වෙලා හිටියේ වැලිවේරියේ විරාජ් ප්‍රනාන්දු සර්. ඔහු තමයි මගේ පළමු පුහුණුකරු. සර් අම්මට කතා කරලා මාව එවන්න කිව්වා. සර්ගේ බල කිරීමට තමයි අම්මා ආයෙත් මාව යැව්වේ. අම්මගේ අකැමැත්තට මම මගේ ආසාව අතහැරියනම් අද මම මෙතැන නෙවෙයි. සර් තමයි මාව මෙතැනට ගෙනාවේ. ඒ වගේම මද්දුම බණ්ඩාර විද්‍යාලයේ හොඳ පාපන්දු කණ්ඩායමක් හිටියා. ජාතික කණ්ඩායමේ මගේ පළමු පුහුණුකරු මහින්ද ගලගෙදර සර්ගේ ඉඳලා හිටපු සෑම පුහුණුකරුවෙක්ම මට උදව් කළා. මම දැනට ක්‍රීඩා කරන ක්ලබ් එකේ අතුකෝරල සර්, ක්‍රීඩා සාමාජයේ හැමෝමත් නැෂනල් ටීම් ස්කොඩ් එකේ හැමෝමත් මම මතක් කරන්න ඕනේ.

 

 

ක්‍රීඩිකාවක් විදිිහට අද ඔබ ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා.

ඔව්, මම දකින්නේ එය මගේ කැපවීමේ ප්‍රතිඵලයක් විදිහට. නොකඩවා වසර 9 ක කාලයක් ජාතික සංචිතවල හිටියා. ගොඩක් වෙලාවට මගේ කාලය වැය වුණේ තරගවලටයි. පුහුණුවටයි. හැබැයි මම හිතනවා මම ගොඩක් වාසනාවන්තයි කියලා. මොකද ඕනෑම කෙනෙකුගේ හීනය ජාතික කණ්ඩායමකට එන එක. ඒ ආවත් බොහෝ දෙනකුට කණ්ඩායම තුළ රැඳෙන්න අමාරුයි. නමුත් මම 2012 සිට මේ වෙනතුරුත් ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවක් විදිහට කටයුතු කරනවා.

 

අනාගත සැලසුම් මොනවාද?

අද මම ඉන්න තැන ගැන මට ගොඩක් සතුටුයි. නමුත් මම මෙතැනින් නවතින්නේ නැහැ. මේ සීමාවෙනුත් එහාට යන්න තමයි මම උත්සහ කරන්නේ. මම අනුගමනය කරන්නේ ලෝක ප්‍රකට පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීව. ඔහුව පාපන්දු ක්‍රීඩාව තුළ යායුතු ඉහළම තැනට ගිය කෙනෙක්. ඔහුට හැමෝම ආදරය කරන්නේ ඔහුගේ ක්‍රීඩා ජීවිතය ගැන විතරක් හිතලා නෙවෙයි. ඔහු සැබෑ ජීවිතය තුළත් මහත්මා ගති ඇති නිහතමානී පුද්ගලයකු නිසයි. ඔහු වගේ වෙන එක මගේ හීනයක්.

 

ඡායාරූප – ශාන් රූපස්සර