කුලුනු සමඟ ගැටෙනා යකඩ ගැහැනිය

අමිලා සුරංගි ගුණවර්ධන
මැයි 12, 2021

 

ගැහැනිය සැබැවින්ම සියුමැලිය. මෘදු, මොළොක් අතපය සේම ලාලිතයෙන් හෙබි සිරුර නිසාවෙන්දෝ ඇයගේ වැඩ කටයුතු තුළ ගැබ්ව ඇත්තේ අමුතුම රටාවකි. ලතාවකි.

 

නමුත් මේ සියුමැලි ගැහැනු ශරීරය තුළ ජීවත්වන කාන්තාවකගේ සිත මොනතරම් ශක්තිමත් ද? ඈ සතු දරාගැනීමේ හැකියාව විටෙක පුදුමාකාරය. දරුවකු කුස දරා සිටීම, මහත් වෙහෙසක් ගෙන බිහි කිරීම, අනතුරුව ලෙය කිරිකර පෙවීම කළ හැක්කේ කාන්තාවකට පමණය.

එවන් ඈ පිරිමින් සමඟ උරෙන් උර ගැටෙමින් කටයුතු කරනවා යැයි පැවසීම ඇතැම්විට ඔබට පුදුමයක් නොවේවි. නමුදු කාන්තාවකට උපතින්ම උරුම ලජ්ජාශීලී බියමුසුකම පසෙකලා බොහෝවිට පිරිමින් පමණක්ම රැඳෙන අහස සිඹින උස් කුලුනු සමඟ ගැටෙමින් සේවයේ යෙදෙන කාන්තාවක ගැන පැවසුවහොත් එය ඔබට තරමක් පුදුමයක් ම වේවි. බොහෝ දෙනකු ඇය හඳුන්වන්නේ යකඩ ගැහැනිය නමිනි. සියුමැලි, ළද බොළඳ, රූමත් කාන්තාවක් යකඩ ගැහැනිය යැයි හැඳින්වීමට සුවිශේෂී හේතුවක් තිබිය යුතුය. කුඩා කාලයේ සිටම සිය පියාගෙන් ලද පන්නරය නිසාම ඕ අද දවසේ තමන්ගේම විදුලි සන්නිවේදන පද්ධති සවිකිරීමේ ව්‍යාපාරයක නිරතව සිටින්නීය. ඉතින් කාන්තාවන් එතරම් නොගැවසෙනා ඉසව්වක සුවිශේෂී කටයුත්තක යෙදෙන

ඇය කවුදැයි අපි සොයා බලමු.

 

ඔබ කවුද?

"මම අමිලා සුරංගි ගුණවර්ධන"

මොනවද කරන්නෙ?

"විදුලි සන්නිවේදන ප්‍රේෂණ පද්ධති සවිකිරීම තමයි මගේ වෘත්තිය. ඔබ ගෝල්ෆේස් එකට ගිහින් මුහුදට පිටුපාලා මේ රට දිහා මොහොතක් හැරිලා බලන්න. ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, ලංකා බැංකු ගොඩනැගිල්ල, ෂැංග්‍රිලා, වන් ගෝල්ෆේස්,

ටාජ් සමුද්‍රා වාගේ උස් ගොඩනැගිලි සමූහයක් දකින්න පුළුවනි. ඒවායේ විදුලි සන්නිවේදන ප්‍රේෂණ පද්ධති සවිකරලා තියෙන්නෙ මගේ ආයතනයෙන්."

එහෙමනම් ඔබ සුවිශේෂි කාන්තාවක්. මේ දක්වා පැමිණි ගමන් මඟ ගැන කියන්න බොහෝ දේවල් ඇති. ඒ නිසා අපි මුලින්ම ඔබගේ කුඩා කාලය ගැන කතා කරමු.

"මම ඉපදුණේ ගාල්ලෙ. අධ්‍යාපනය හැදෑරුවේ ගම්පහ සිරිකුරුස විද්‍යාලයෙන්."

ගාල්ලෙ ඉපදුණු ඔබ ගම්පහ පාසලකට ඇතුළත් වුණේ ඇයි?

"මගේ පියා ඉස්සර ඒකල පිහිටුවා තිබුණු ගුවන් විදුලි සංස්ථාවේ ඉංජිනේරුවරයෙක් විදිහට කටයුතු කළා. ඉතින් ඔහුගේ රැකියාව නිසා අපි ගම්පහ ප්‍රදේශයට පැමිණියා."

ඔබේ පවුලේ අනෙක් සාමාජිකයන් ගැනත් සඳහන් කළොත්?

"අම්මයි, තාත්තයි, මමයි, නංගියි, මල්ලියි."

තාත්තාගේ ආභාෂය නිසා නේද ඔබ මෙවැනි වෘත්තියක නියැළීමට පෙළඹුණේ?

"ඇත්තටම ඔව්. ඉංජිනේරුවරයෙක් වුණු මගේ පියා රැකියාවට අමතරව විදුලි සන්නිවේදන ප්‍රේෂණ පද්ධති සවි කරන්නෙක් විදිහට තමන්ගේම ව්‍යාපාරයක් කළා. අපේ නිවෙසේ ඉදිරි කාමරය තුළ තමයි ඔහුගේ මේ වැඩ කටයුතු කළේ. ඉතින් මම, නංගි, මල්ලි විතරක් නෙවෙයි අම්මත් පුළුවන් හැටියට ඔහුගේ වැඩවලට උදවු කළා."

 

ඒ කියන්නෙ පුංචි කාලයේ ඉඳන්ම තමයි මේ වැඩ කටයුතුවලට යොමු වෙලා තිබෙන්නෙ.

"අපොයි ඔව්. මට අවුරුදු පහක් වාගේ වයසේ ඉඳන්ම තාත්තා පුංචි පුංචි වැඩ පවරනවා. ඒ වෙනකොටත් මම ඔය වැඩවලට පාවිච්චි කරන ආයුධ

එහෙම හොඳට අඳුනනවා. ඒ දවස්වල තාත්තාගේ ඇසිස්ටන්ට් විදිහටයි මට සැලකුවේ."

 

අම්මත් කැමැති වුණාද මේ වැඩවලට?

"තාත්තාට උදවු කරනවාට අකැමැති වුණේ නම් නෑ. ඒත් අම්මාගේ ආසාව වුණේ මම වෛද්‍ය විද්‍යාව හදාරලා වෛද්‍යවරියක් වෙනවට. ඇයගේ

කැමැත්ත නිසාම මම උසස් පෙළට හැදෑරුවේ ජීව විද්‍යාව. ඒත් ටික කාලයකින් වාණිජ විෂයයට මාරු වුණා. අන්තිමට මම කැලණිය විශ්ව විද්‍යාලයෙන් පිටවුණේ අලෙවිකරණය පිළිබඳ විශේෂවේදී උපාධියක් හිමිකරගෙන."

 

විශ්ව විද්‍යාල කාලය තුළදී ඔබේ ජීවිතයේ සුවිශේෂි සිදුවීම් ගණනාවක් සිදුවෙනවා.

 

"විශ්ව විද්‍යාල ජීවිතයේ පළමු වසරේදීම මම විවාහ වුණා. දෙවැනි වසරේ දී මගේ ලොකු පුතා ලැබුණා. අවසන් වසරේ දී දියණිය ලැබුණා. හැබැයි ඔය සියල්ලම අතරේ මගේ ඉගෙනීම් කටයුතුත් කරගෙන තාත්තාගේ වැඩවලටත් උදවු වෙන්න පුළුවන් වුණා."

 

මේ විදිහට වැඩ කිහිපයක්ම එකවර කරන්න හැකියාව ලැබුණෙත් ඔබේ පියාගෙන් වෙන්න ඇති?

 

"මගේ තාත්තා මට ප්‍රායෝගිකව හිතන්න පුරුදු කළා. ඔහු හැමදාමත් කිව්වෙ ඔයා කැමැති දේ කරන්න. ඒ හරහා ජිවිතය

විඳින්න කියලයි. ඉතින් මගේ ලෝකයේ වීරයා තමයි ඔහු. පුංචි කාලේ ඉඳන්ම ඔහු වැඩකරන හැටි බලාගෙන ඉඳලා ඒ ආදර්ශයන් අපි ලබාගත්තා."

 

අදටත් ඔහු ඔබට අවශ්‍ය උපදෙස් සපයනවා.

 

"මගේ පියා විදෙස් විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරයෙක් විදිහට මේ වනවිටත් කටයුතු කරනවා. ඒ නිසා එයාගේ දැනුම නිතරම යාවත්කාලීනයි. තව අදටත් මට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දෙන්නේ ඔහුයි."

 

බොහෝ වෙලාවට කාන්තාවන් කැමැති කාර්යාලයකට වෙලා නිදහසේ රැකියාව කරන්න. නමුත් ඔබ අව්ව,වැස්ස නොබලා උස් කුලුනු හා හැපෙමින් එළිමහනේ වැඩ.

 

"මගේ නිවෙස ඇතුළත මමත් හොඳ කාන්තාවක්. උයනවා, පිහිනවා, රෙදි සෝදනවා. හැබැයි රැකියාවේ දී මම පිරිමි වේශයක් මවාගත්තු කාන්තාවක්. පිරිමින් කරන වැඩ ඔවුන් සමඟ හරි හරියට කරන්න මට හොඳ ආත්ම ශක්තියක් තියෙනවා. විදෙස්ගතව කටයුතු කළ නිසාත් මට හොඳ අත්දැකීමක් ලැබුණා. මොකද විදෙස් රටවල ගැහැනු, පිරිමි භේදයක් නෑ."

 

ඒ කියන්නේ වෘත්තියේ දී ගැහැනු, පිරිමි වෙනසක් නැහැ.

 

"හිතන්නකෝ අපේ රටේ ජීවත්වන පිරිමි වාගේම ගැහැනුත් මොනතරම් දක්ෂ ද? ඉවුම් පිහුම් වැඩ, දරුවන් හැදීම, වත්ත පිටිය පිරිසුදු කිරීම, රියැදුරු කටයුත්ත මේ වාගේ වැඩ මොනතරම් ප්‍රමාණයක් කරනවාද? ඉතින් ගැහැනු පිරිමි දෙපාර්ශවයම එකිනෙකාගේ කටයුතු වලට සහයෝගය දැක්විය යුතුමයි. එවිට මේ ජීවිතය හරිම පහසුයි.

ඇත්තටම කිව්වොත් මගේ සැමියාගේ සහයෝගය මට හරියටම ලැබෙනවා. ඒ සහය කැපවීම සොයා බැලීම නිසයි මේ තරම් මට සාර්ථක වෙන්න අවස්ථාව ලැබුණේ."

 

ඉතින් ඔබේ ආදරණීය සැමියා ඇතුළු දරු පවුල ගැනත් කියමු.

 

"මගේ සැමියා රමේෂ් අලගියවන්න. ඔහු වතුපිටිවල රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙක් හැටියට කටයුතු කරනවා. දරුවන්ට, මට හරිම ආදරෙයි. මම හැමදාමත් ප්‍රාර්ථනා කළේ මගේ තාත්තා වාගේ සැමියෙක්. ඇත්තටම ඔහු ඒ වගේමයි. මට පුදුමාකාර විදිහට උදවු කරනවා. දරුවන්ගේ පාසල් වැඩ කටයුතු සොයා බලනවා. එයාලා කවදාවත් ටියුෂන් එකකට ගිහින් නැහැ. හැමදාමත් තාත්තයි, දුවයි, පුතයි එකතු වෙලා පාසල් වැඩ කරනවා. ඒ විතරක් නෙමෙයි මම නිවෙසට එන්න ප්‍රමාද නම් තුන්දෙනා එකතු වෙලා කෑමත් හදනවා. ඉතින් මගේ මේ පුංචි පවුල මට හරිම ආදරණීයයි."

 

ඔබ ජීවිතය ගැන කතා කරන්නෙ හරිම තෘප්තියකින්.

 

"මගේ ජීවිතයේ සාර්ථකත්වයේ රහස තමයි තාත්තාගේ සහ අම්මාගේ නිවැරැදි මඟපෙන්වීම. ඇත්තටම මට හිතෙනවා තාත්තලා මහමෙරක් තරමට තමන්ගෙ දියණියන්ට ආදරය කරනවා නම්, ඒ ආදරය ලෝබ නැතිව දුවලාට පෙන්වනවා නම් දූවරු කවදාවත්

නොමඟ යන්නෙ නෑ කියලා. මොකද එහෙම වුණහම දියණියන් රහසින්වත් පවක් කරන්න බයයි.

ඒවාගේම මගේ අම්මා ගැනත් යන්න ඕනෙ. මේ සමාජයේ යහපත් ගැහැනියක,බිරියක වන්නට මට ඇය කියාදුන්නෙ ආදර්ශයෙන්මයි. මම වාගේම මගේ නංගිත්, මල්ලිත් අද ඉතාමත් ආදරණීය පවුල් ජීවිත ගත කරන්නෙ ඇය තමන්ගේ පවුල තුළ කළ කී දෑ දිහා බලලයි."

 

ඊට අමතරව ඔබේ ජීවිත සාර්ථකත්වයට පිළිවෙළත් බලපෑවා නේද?

 

"සත්තකින්ම. මම හැමවිටම පිළිවෙළ අංක එක කියලා හිතන කෙනෙක්. මගේ නිවෙසේ අනවශ්‍ය බඩු භාණ්ඩ ගොඩ ගසාගෙන නෑ. සාලයේ නම් පුටු සෙටියයි, මල් බඳුනයි. කෑම කාමරයේ මේසය පුටු වලට අමතරව තව මල් බඳුනක් තියෙනවා. කොටින්ම මගේ අල්මාරියේ ඇඳුම් පවා අහුරලා තියෙන්නෙ කලර් කෝඩ් එකක් අනුවයි. මේ පිළිවෙළට අමතරව නිර්මාණශීලීත්වය සහ තැනට උචිත විදිහට කටයුතු කිරීමත් මගේ ජීවිතය සාර්ථක වීමට බලපෑවා."

 

ඉතාමත් උසස් අධ්‍යාපනයක් ලැබූ ඔබ වෙනත් කාන්තාවන් තරමක් පසුබාන වෘත්තියක් තමයි තෝරා ගත්තේ. ඒ ගැන

තෘප්තිමත් ද?

 

"අපොයි ඔව්. මම මේ වෘත්තියට හරිම කැමැතියි. මෙරට විශ්ව විද්‍යාලවලින් මෙන්ම විදෙස් රටවල්වලින් මම උපාධි

කිහිපයක්ම ලබාගත්තා. ඒවායින් මගේ දැනුම මුවහත් වුණා. මම මේ රටට හරිම ආදරෙයි. ඒ නිසයි මගෙන් මේ රටට

සේවයක් ලබා දෙන්නට හැමදාමත් හිතන්නෙ."

 

ඔබේ මේ සේවය ලබාදෙන්නෙ සෑහෙන කාලයක ඉඳන්?

 

"ඔව්. මම දැන් අවුරුදු 23 ක් වැනි කාලයක් මේ සේවාවේ නිරතවෙලා ඉන්නවා. අහස උසට උස් කුලුනු මත නැඟී ප්‍රේෂණ පද්ධති සැකසීම ඇත්තටම අමාරු කාර්යයක් තමයි. ඒත් මම මේ වැඩේට හරිම කැමැතියි. මට දක්ෂ කණ්ඩායමක් ඉන්නවා සහයෝගයට. මේ සන්නිවේදන ප්‍රේෂණ පද්ධති සවි කිරීමට අමතරව අපි සූර්ය බල ශක්ති පද්ධති සවි කිරීමත් සිදු කරනවා."

ඉතින් ජීවිතය වෙනස් විදිහට දකින, වෙනස්ම වෘත්තියක නියැලුණු ඇයගේ ජීවිතයෙන් ඔබටත් යමක් උකහා ගත හැකිනම් එයයි අපේ සතුට.

 

 

 

 ඡායාරූප - ශාන් රූපස්සර