පන්සල කියන්නෙ හිතට, ගතට, මනසට සහනය ලබාදෙන තැනයි

ප්‍රවීණ රංගන ශිල්පී රොෂාන් පිලපිටිය
ජුනි 2, 2021

 

කෝවිඩ් වසංගත තත්ත්වය නිසා කලා ලොව අපේ තාරකාවන් දවස ගත කරන්නෙ නිවෙස්වලමයි. ඒත් ඉතිං මේ කවුරු කවුරුත් වෙසක් උත්සවය වෙනුවෙන් පුංචියට හෝ සැමරීම් සහ සැරසිලි කිරීමට නම් අමතක කරල නැහැ. ඒ වගේ ලස්සනට වෙසක් සැරසිලි කළ සුන්දර කැදැල්ලක් තමයි පිලපිටිය කැදැල්ල.

 

රොෂාන් පිලපිටිය, රිද්මා පිලපිටිය, රාහුල් පිලපිටිය ඒ කැදැල්ලේ සාමාජිකයන් රාහුල් පුතුට තවම වයස අවුරුදු දෙකයි. ලස්සන හුරුබුහුටි මේ පුංචි පුතු පැටියා තවම කලා ලොවට ආගන්තුකයෙකි. ඒ වුණත් තාත්තාගෙ හැඩහුරුකම් ගති ස්වභාවයන් අංග චලනයක් උපතින්ම රැගෙන ආ මේ පුංචි පුතත් දවසක තාත්තා වගේම ප්‍රේක්ෂක සිත් සතන් තුළ ළැගුම් ගන්නා චරිතාංග නළුවකු විය හැකියි.

ඉතිං රොෂාන් වෙසක් කොහොමද?

හොඳයි. හොඳයි එළියට යන්නත් බැරි නිසා ඉතිං ගෙදරම ඉඳල වෙසක් සැමරුවා.

රොෂාන්ගෙ කූඩු හැදීමේ දස්කමට නිදසුන් සපයන්න වගේ ලස්සන ලස්සන වෙසක් කූඩු කිහිපයක් ම සුළඟට සෙලවෙනවා.

මේ කූඩු සේරම රොෂාන් හැදූ ඒවා ද?

ඔව්. සේරම මම හැදුවෙ. රිද්මා තමයි කොළ අලවලා ලස්සන කළේ.

කොහොමත් ඉතිං රොෂාන් ගෙ ජීවිතය ලස්සන කරන රිද්මයනෙ රිද්මා.

මම පුංචි කාලෙ ඉඳලම වෙසක් කුඩු හදන්න ආසයි. ඉතිං මම තවමත් ඒ පුරුද්දටත් ආසාවටත් වෙසක්වලට කූඩු කීපයක් ගෙදර හදනවාමයි. පුංචි කාලෙ නම් මුළු වෙසක් මාසයම කළේ කූඩු හදන එක තමයි. අද වගේ කූඩුවලට ඒ කාලෙ බල්බ් දාන්න බෑනෙ. ඉතිං උදේ ඉඳන් මහන්සිවෙලා හදන කූඩුව රෑට ඉටිපන්දම් ගහල පත්තු කළහම හරිම ලස්සනයි. ඒත් දවසෙන් දෙකෙන් කොළ ටික පිච්චිලා යනවා හුළං සැර නිසා. එහෙම වුණහම ඊළඟ දවසෙ අපි ආයෙත් කොළ අලවනවා. ඒ කාලෙ යාළුවොත් හරි හරියට හිටියනෙ. ඉතිං කට්ටියම වෙසක් කූඩු හදන්නෙත් එකටමයි. ඊට පස්සෙ රෑ වුණහම ගෙයින් ගෙට යනවා කුඩු බලන්න. ඊළඟට යනව තොරණ් බලන්න. ඒ ගිහින් එන්නෙ දන්සලුත් වැඳගෙනයි.

එතකොට පන්සල් විතරයි ගිහින් නැත්තෙ නේද?

අපෝ නෑ පන්සල් යනවා. වෙසක් දවසෙ පළමු ක්‍රියාව පන්සල් යන එක තමයි. තවමත් වෙසක් දවසෙ පන්සල් යෑම අනිවාර්යෙන්ම සිදු කරනවා. ඊට අමතරව අපට පුළුවන් වෙලාවට විවේක දවස්වලටත් අපි පන්සලට යනවා. පන්සල කියන්නෙ හිතට, ගතට, මනසට මේ හැමදේටම සහනය ලබාදෙන තැනක් නෙ. මේ දවස්වල නම් පන්සල් ගියෙ නෑ. යන්න බැහැනෙ. මගේ දඟයාට තවම වයස අවුරුදු දෙකයි. ඉතිං අපි වගේම දරුවත් ආරක්ෂා කරගන්න ඕනා. දරුවා තමයි දැන් අපේ ජීවිතේ අංක එක වෙලා තියෙන්නෙ. ඒ නිසා මමත් රිද්මාත් ඒ ගැන ගොඩාක් සැලකිලිමත් වෙනවා. මේ දවස්වල රූගත කිරීම් වුණත් සිදු නොවන නිසා මමත් ගෙදරමයි හිටියෙ.

ගෙදරට වෙලා කරපු විශේෂ දේවල් මොනවා ද?

කූඩු හැදුවට අමතරව හොඳ පොත් ටිකක් කියෙව්වා. ඇත්තට ම ඒක මට ඉතා කලාතුරකින් ලැබුණු අවස්ථාවක් නෙ. ඉතිං මම ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. කොහොම වුණත් ලැබෙන සුළු හරි විවේකයක දි පොතක් පතක් කියවන්න මම ආසයි.

කොරෝනා නිසා ඉතා අසීරු අමාරු කාලයක් අපි ගතකරන්නෙ. ඉතිං ඔබේ රසිකයන්ට කියන්න තියෙන්නෙ මොනවාද?

හැමෝටම කියන්න තියෙන්නෙ පරිස්සම් වෙන්න කියන එක තමයි. පරිස්සම් වෙන්න. සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න. ලෝකයේ අනෙක් රටවලට කොරෝනා කරපු විනාශය දැක්කනෙ. අපි එක එක්කෙනා ඒ ගැන හිතල ක්‍රියා කළොත්, සෞඛ්‍ය උපදෙස් පිළිපැද්දොත් අපිට මේ වසංගතයෙන් බේරෙන්නත් මේ රට බේරගන්නත් පුළුවනි.

වඩා වැදගත්ම කාරණය තමයි මේ වෙලාවෙ කායික ශක්තිය වගේම මානසික ශක්තියත් වර්ධනය කරගැනීම. මේ රෝගයට ඕනවට වඩා බය වෙන්න අවශ්‍ය නැහැ කියලයි මම හිතන්නෙ. ඒ වුණාට නිසි සෞඛ්‍ය උපදෙස් ආරක්ෂා කිරීම ඉතාම වටිනවා. මොකද තවමත් මේ රෝගයට නිසි බෙහෙතක් නැහැනෙ. "නිරෝගිකම හැර සැපතක් ලොවේ කොයින්දා?" කියල බුදු දහමෙන් කියවෙනවනෙ. ඉතිං ඒ නිසා ධනාත්මකව හැමදෙයක් පිළිබඳව හිතුවා නම් හොඳයි.

මේ වෙලාවෙ බොහෝ දෙනෙකුට රැකියා ප්‍රශ්න, ආදායම් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒත් ඒ හැමදේටම අපට මුහුණ දෙන්න වෙනවා. ඒක තමයි ජීවිතය නේද? ඒත් කරන්න දෙයක් නෑ. මේ වෙලාවෙ හැකි විදිහට ජීවත් වෙමු. වඩා වැදගත් වෙන්නෙ අපේ සහ අපේම අයගෙ ජීවිත රැකගැනීමයි. ඒ නිසා

වගකීමෙන් යුතුව කටයුතු කරමු. මම හැමෝගෙන්ම කරන ඉල්ලීම ඒක තමයි.