අහස සිඹින බුර්ජ් කලීෆා මුදුනට නැඟි එඩිතර කෙල්ල නිකොල්

සැප්තැම්බර් 1, 2021

හිත ඇත්නම් උස මොකක්ද?

It’s not a joke …

 

මොනතරම් මානව අයිතිවාසිකම් තිබුණ ද කාන්තාව කියන්නේ තවමත් බොහෝ රටවල බිම් මට්ටමේ සිටින චරිතයක්. පොළෝ මට්ටමේ සිටින ඇයට අහස අල්ලන්න හිතන්නවත් බෑ. සමහරු එහෙම හිතුවත් අහස පමණක් නොව පිට සක්වලත් කරක් ගසා පැමිණි කාන්තාවන් අප අතර සිටිනවා.

 

නිකොල් ස්මිත් - ලුඩ්වික් එවැන්නියක්. ඇය එමිරේට්ස් ගුවන් සේවා දැන්වීමක් සඳහා ලොව උසම ගොඩනැඟිල්ලට නැග්ගේ හදවතේ ගැස්ම මඳකුදු වේගවත් කර නො ගෙනයි. ලෝකයේ උසම ගොඩනැඟිල්ලක් වන බුර්ජ් කලීෆා වෙනත් අහස සූරන මැඳුරු පරයමින් නැඟී සිටින්නේ මීටර් 829.8 ක ( අඩි 2722 ක ) උසක් දරමින්. චීනයේ තායිපෙයි 101 ඉඳිවන තුරු එය ලොව උසම ගොඩනැඟිල්ල වුණා. නිකොල් බුර්ජ් කලීෆා ගොඩනැඟිල්ල මතට ගොඩ වුණේ එමිරේට්ස් - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් සේවා දැන්වීමකට පෙනී සිටින්නයි. ගුවන් සේවා නිලධාරිනියකගේ ඇඳුමෙන් සැරසුණු ඇය බුර්ජ් - කලීෆා මතට ගොඩනැඟී " අම්මේ මම ඉන්නෙ ලෝකෙ උසම තැන. " යි පැවසුවා. තට්ටු දෙකක තුනක ගොඩනැඟිල්ලක් මත සිට ගෙන බිම බැලුවත් දෙපා වෙවුලන ගැහැනුන් පමණක් නොව පිරිමින් ද සිටින ලොවක නිකොල් ගේ එඩිතරකම පුදුමයක් නො වෙයි. ඇය ලොව වටා සරන්නියක්. යෝගා උපදේශිකාවක්. ඒ වාගේම ගුවන් කිමිදෙන්නියක්. (skydiver) එනම් ගුවන් යානාවලින් පැන විවිධ ජිම්නාස්ටික් ඉරියව්වල යෙදෙන්නියක්. බොහෝ දුර ඇවිදින්නියක්. ( hiking) අභියෝගාත්මක චාරිකා ප්‍රියකරන්නියක්. ඒ නිසා බුර්ජ් - කලීෆා උස ඇයට කොහෙත්ම අභියෝගයක් නො වෙයි. සමහරු නිකොල් ගොඩනැඟිල්ල මත සිටින දැන්වීම ව්‍යාජ මවා පෑමක් කියා පැවසුව ද රූගත කිරීමේ වීඩියෝව නැරැඹූ පසු ඒ අයට කට උත්තර නැති විය. මෙය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් සේවාව ප්‍රවර්ධනය කිරීමටත් වඩා නිකොල්ගේ එඩිතර බව කියා පාන්නක් විය. තත්පර 33 ක් දීර්ග වූ ගුවන් සේවා වීඩියෝ පටයට මේ දිනවල ඉහළම ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. නිකොල්ගේ ඉන්ස්ටග්‍රෑම් සමාජ වෙබ් අඩවියේ අනුගාමිකයන් විසිඑක්දාහකට වැඩි පිරිසක් සිටිනවා. මේ දැන්වීමට පෙනී සිටි පසු ඇය සිය වෙබ් අඩවියේ මෙසේ සටහන් කර තිබුණා. " සැකයක් නෑ. මේ මං මුහුණ දුන් වඩාත්ම පුදුම සහගත සහ හිතාගන්නවත් බැරි වැඩක්."

අන්තර්ජාලයෙනි