නිවෙසක් හදනවා ද? ගන්නවා ද?

දෙසැම්බර් 26, 2018

නිවෙසක් යනු අප හැමගේම මූලික අවශ්‍යතාවක්. තමන් සතු ඉඩමක හෝ මිලදී ගත් ඉඩමක නිවෙසක් ඉදිකර ගැනීමෙන් සහ ඉදිකළ නිවෙසක් මිලදී ගැනීමෙන් තමාගේ නිවාස අවශ්‍යතාව සපුරා ගත හැකියි. මෙලෙස නිවෙසක් පිළියෙල කරගැනීමේ දී පවතින හොඳ නරක පිළිබඳ අද ලිපියෙන් කතා කරමු.

ඔබ නිවෙසක් ඉදිකරන්නට යනවා නම් නිවැරැදි ආකාරයකට, පිළිවෙළකට එය ඉදිකිරීමේ හැකියාව සහ නිදහස ඔබ සතුව පවතී. සැලසුම් අවස්ථාවේ සිට ගෘහ නිර්මාණ ශිල්පය පිළබඳ ඇති විද්‍යාවන් ගැන අවධානය යොමු කරනවා නම් එම සියලු කටයුතු සිදුවන්නේ වාස්තු විද්‍යාව හා ජ්‍යොතිෂය මුල් කරගෙනයි. ඉඩමේ ඇති වාස්තු දෝෂ ඉවත් කරගැනීම, නිවාස සැලසුම නිසි පරිදි ඔබේ අවශ්‍යතා අනුව හඳහන් ගළපා නිවැරැදිව පිළියෙල කරගැනීම, ළිඳ හා වැසිකිලි “වළ” දෝෂයක් නොවන පරිදි ඉඩමේ ස්ථානගත කරගැනීම ආදී කරුණු රාශියක් නිවැරැදිවම කරගැනීමට හැකියාව පවතිනවා. නිවෙසේ සියලුම ඉදිකිරීම් කටයුතු පවා සිදුවන්නේ හඳහනට අනුව සාදා ගත් නැකැත්වලින් හා එම නැකැත් අවස්ථාවලට ඔබේ සහභාගීත්වයත් ඇතුවයි.

තවත් විශේෂ දෙයක් තියෙනවා. අලුතෙන් නිවෙසක් හදනවා යනු ඔබ “අධිපති” වී දියත් කරනා තවත් එක් ව්‍යාපෘතියක්. නිවෙසක් ඉදිකිරීම හා සම්බන්ධ වෙන ක්ෂේත්‍ර බොහොමයක නිපුණත්වය ඇති අය සමඟ සාකච්ඡා කිරීමට, තීරණ ගැනීමට, එකට වැඩ කටයුතු කිරීමට හැකියාව පැවතීම යනු ජිවිතයේ ඔබ ලබනා සුවිශේෂී අත්දැකීමක්.

නිවෙස තැනීමේ දී අවශ්‍ය අමුද්‍රව්‍ය නිවැරැදිව තෝරා ගැනීම, ඒවායේ ඇති තරගකාරී මිල ගණන් පිළිබඳ අවබෝධය, නිවෙස සඳහා නිසි පරිදි ඒවා යොදා ගන්නා ආකාරය පිළිබඳත් ඔබ ලබන්නේ තවදුරටත් ප්‍රායෝගික අත්දැකීමක්.

පියවරින් පියවර නිවෙස ඉදිවන විට ඔබ ලබන්නේ ජයග්‍රහණයේ සිතුවිලි. කෙසේ හෝ ඉතිරි කොටස් ටිකත් අවසාන කරගන්නට ඔබට යම් ඉදිරි වැඩ පිළිවෙළක් තීරණය කිරීමට සිදුවේ. නිවෙසේ වැඩ කටයුතු අවසන් කරගෙන එහි පදිංචි වීම ගැන බලාපොරොත්තුවේ සිහින ඔබ දකියි. එය ඉටු කරගැනීමේ දින වකවානු ගැනත්, එම කාලයේ දී නිවෙසේ පදිංචි වීමට නම් දැන් සිටම ගත යුතු ක්‍රියාමාර්ග ගැන තීරණයකට ඔබ එළඹෙන්නේ පවුලේ සාමාජිකයන් හා නිවෙස ඉදිකිරීමේ දී ඔබට සහායවන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ සාකච්ඡා කිරීමෙන්.

උපරිම උත්සාහයක් දරා නියමිත කාලයේ දී නිවෙසේ වැඩ කටයුතු අවසන් වී නිවෙසේ පදිංචිවන දවස ඔබට අමතක නොවන දිනයක්. තමා අදහන ආගම අනුව එහි ශාස්තෘවරයාගේ පිළිමයක්, පැන් බඳුනක්, කිරි, ධාන්‍ය, තුනපහ, හාල්, අතුල්පතක්, ඉවුම් පිහුම් බඳුන් කීපයක් රැගෙන පවුලේ අය නිවෙසට ඇතුළුවන්නේ සුබ වේලාවකටයි. ඊළඟට පැමිණෙන සුබ වේලාවට නිවෙසේ කිරි ඉතිරවීමෙන් සියලුදෙනා අතර ජයග්‍රාහී සිතුවිලි පහළ වන්නේ සෞභාග්‍යයේ සලකුණු සමඟයි. මෙදින චාරිත්‍ර වැඩකටයුතු අවසන් වී තරමක් විවේකිව සිටින ඔබට, අදවන තුරු නිවෙස වෙනුවෙන් ඔබ සැම කැපවූ ආකාරය, මුදල් - ශ්‍රමය වැය කළ අයුරු, අදියරින් අදියර නිවෙස ඉදිවී තිබූ ආකාරය, නැකැත් කටයුතු සිදුකළ අන්දම ආදී බොහෝ දේ ඔබේ සිතට ගලා එන්නේ චිත්‍රපටයක රූප පෙළක් ලෙසින්.

2018/12/26 තරුණි පුවත්පත බලන්න