නව වසරේ ගේ හදන්න මෙහෙම හිතන්න

ජනවාරි 9, 2019

නිවෙසට පැමිණෙන විට එහි අංග මනා ගලා යාමක් සහිතව පිහිටීම අත්‍යවශ්‍ය දෙයක්. එමඟින් නිවෙසේ අලංකාරය, පිළිවෙළ වාගේම වාස්තු දෝෂ අවම වීමත් සිදුවේ.

එමෙන්ම නිසි පරිදි නිවෙසේ අංග ප්‍රයෝජනයට ගත හැකි වීම තුළින් ඉහළ වටිනාකමකුත් නිවෙසට හිමි වෙයි. අද ලිපියෙන් අප සලකා බලන්නේ ඉහත කී ක්‍රමවලින් නිවෙසේ වටිනාකම වැඩි වෙන ආකාරයට නිවෙසක් සැලසුම් කිරීම පිළිබඳ යි. මේ වසරේ නිවෙසක සිහිනය ඉටු කරගන්න බලාපොරොත්තු වන සැම දෙනාටම මෙය වැදගත් වේවි.

වැරැන්ඩාවකට තැනක් දෙන්න

ඇතැම් විට කෙනකු එතරම් වැදගත් නැති කොටසක් ලෙස වැරැන්ඩාව සැලකුවත්, මෙය නිවෙසේ අලංකාරය වැඩිකර දෙන වැදගත් ප්‍රදේශයක්. නිවෙසට එන පුද්ගලයාට මුලින්ම හමුවන්නේ මෙයයි. ගත සිත විඩාපත් වී නිවෙස වෙත එන ඕනෑම කෙනකුට අවට පරිසරය දකිමින් නිදහසේ සිටින්නට හැකි ආකාරයට මෙය පිළියෙල කරගත යුතුයි. ඉඩකඩ වැඩිවෙන තරමට එහි ප්‍රයෝජනය සහ නිදහස් බව වැඩි වෙයි. ප්‍රධාන දොරට කෙළින්ම නොපිහිටන පරිදි වැරැන්ඩාවේ කණු පිහිටිය යුතුයි. එය බාධක දුරු වීමක් වන අතර, ප්‍රධාන දොර වෙත පැමිණෙන පුද්ගලයා හට බාධක ලෙස හමු නොවන සේ මෙම කණු සියල්ල පිළියෙල කරගත යුතුයි. මහල් දෙකක නිවෙසක් නම් ඉහළින් පිහිටන වහල සමඟ සම්බන්ධ වන පරිදි උසින් වැඩි කණු (Double height columns)  යොදා ගත හැකියි. මෙහිදී කණු උස වැඩිවෙන නිසා මහත ද ඊට ගැළපෙන ආකාරයෙන් සකස් කළ යුතුයි. නිවෙසේ ගාම්භීර පෙනුම ඇති වෙන්නේ එවිටයි. විශාල තනි කණු ලෙස හෝ යුගල ලෙස මේවා යොදන්න පුළුවන්.

ප්‍රමාණවත් ලොබියක් ඉතා අගෙයි

නිවෙසේ ප්‍රධාන දොරෙන් ඇතුළුවීමේදී ඊට සම්බන්ධ කුඩා ඉඩකඩක් වෙන්කිරීමට හැකි නම් ඉතා සුදුසුයි. මෙය Sitting/Lobby Area  ලෙස හඳුන්වන්න පුළුවන්. නිවෙසට එන උදවිය එකවරම ප්‍රධාන සාලය වෙත පැමිණීම වැළක්වීමට මෙය කදිම ප්‍රදේශයක්. නිවෙසක් සැලසුම් කිරීමේ දී ප්‍රධානවම නිවැසි ඔබගේ අවශ්‍යතාවන් ගැන සිතනවා සේම, නිවෙසට පැමිණෙන අයගේ අවශ්‍යතාවන්, තරාතිරම, තමාගේ පුද්ගලිකත්වය ආදිය ගැන සිතීමත් වැදගත් දෙයක්. වැරැන්ඩාවේ සිට කතාබහ කිරීමට, ගනුදෙනු කිරීමට අවශ්‍ය අය එහිදීත්, නිවෙස තුළ මෙසේ කළ යුතු අය මා කලින් සඳහන් කල ලොබි එකේදීත්, වඩාත් ළඟින් ඇසුරු කරන නෑදෑ හිතමිතුරන් හට ප්‍රධාන සාලය පරිහරණය කිරීමට හැකිවන පරිදි නිවෙස සැලසුම් කර ඇත්නම් එහි පිළිවෙළක් ඇති බව ඔබට වැටහෙයි. මෙසේ නිවෙස තුළ යම් වෙනස්කමක් සිදු කරන්නේ මිනිසුන් බෙදා වෙන්කිරීමේ අරමුණකින් නොවේ. ඔබේ නිවෙස ඔබට පුද්ගලික ස්ථානයක් බැවින් එම පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමට කරන ලද්දක් බව සැලකිය යුතුයි.

සාලය තුළ සිටින ඔබට දකින්න සුදුසු වෙන්නේ තරමක් වෙන්ව පිහිටි රූපවාහිනිය නරඹන ස්ථානය, සාලයටම සම්බන්ධ නමුත් තරමක් වෙන්ව පිහිටන කෑම කාමරය, මැද මිදුල ආදියයි. නාන කාමරය, කාමර දොරවල්, මුළුතැන්ගේ ඇතුළත ආදිය පෙනීම සුදුසු නැහැ. කාමර දොරවල් ආදිය හැකි තරම් සාලයේ සිටින අයට නොපෙනෙන්නට තැබීම සුදුසුයි. අත්‍යවශ්‍ය බිත්ති කොටස් පමණක් තබා ගනිමින් හැකිතරම් වාතාශ්‍රය, ආලෝකය නිවෙස ඇතුළට ලබාගත යුතුයි. නිවෙස තුළ ඉඩකඩ මනාව ගළපා ඉදිකළ මෙම බිත්ති කොටස් මඟින් ගෘහ භාණ්ඩ තැබීමේ දී ඔබට ප්‍රයෝජනයට ගත හැකි ඉඩ වැඩිකර දෙයි. එම නිසා දොර ජනෙල් තැබීමේදීත් ගෘහ භාණ්ඩවලට අවශ්‍ය ඉඩකඩ ඇහිරී නොයන ආකාරයට සිදුකළ යුතුයි.

2019/01/09 තරුණි බලන්න