ජීවයෙන් පිරුණු කැදැල්ලකට Oxygen + Indoor Plant

ජනවාරි 30, 2019

මිනිසා තම සුව පහසුවට යැයි සිතා සිදුකරනා ඇතැම් ක්‍රියාදාමයන්හී අනිටු ප්‍රතිඵල මේ වනවිට ලැබෙමින් පවතී. දිනෙන් දින වැඩිවන ගෝලීය උණුසුම සමඟ ජීවත්වීමට පවා අපහසු පරිසරයක් අප වටා නිර්මාණය වේ. එබැවින් වහ වහා සුවදායි පරිසරයක් නිර්මාණය කිරීම අප සතු යුතුකමක් සේම වගකීමකි.

විශේෂයෙන් වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ නංවන ශාක පිළිබඳ වැඩි අවධානයක් යොමු කළයුතු අතර එය ඔබගෙන් ඉටුවිය යුතු ජාතික මෙහෙවරකි. එමෙන්ම එය විශ්වයේ පැවැත්ම උදෙසා සිදුවිය යුතු අත්‍යවශ්‍ය ක්‍රියාවලියකි.

කෘත්‍රිම මල් කලඹක්, පැළෑටියක් නිවෙස තුළට කැඳවා ගෘහ අලංකරණය සිදුකළද කලක් ගතවීමේ දී එය නෙතට රසඳුනක් නොවන්නේ ඒවා සජීවී බවින් තොර බැවිනි. නමුත් ඒ වෙනුවට සජීවී මල් පොකුරක්, ශාකයක් යොදා ගැනීමෙන් ඔබේ නිවෙස ජීවයෙන් පිරුණු ප්‍රබෝධවත් ස්ථානයක් බවට පත්වන්නේ නිරායාසයෙන්මයි.

ගෘහස්ථ පැළෑටි එහෙමත් නැතිනම් වැඩිදෙනකු 'ඉන්ඩෝ ප්ලාන්ට්' (ධ්දඤධධප ර්‍ථතචදබ) වශයෙන් හඳුන්වන ශාක මේ දිනවල මල් වෙළෙඳපොළේ වැඩි ඉල්ලුමකට ලක්වී ඇත්තේ මේ හේතුව නිසාමයි. නෙත පිනවන නිර්මාණයක් ලෙසින් සකසා අගය එකතු කළ නිෂ්පාදන නමින් ද මේවා නම්කර ඇති අතර එමඟින් වැඩි ආදායමක් උපයාගන්නට අපේ වර්තමාන මල් වගාකරුවන් සමත් වී තිබේ.

නිවෙසේ විසිත්ත කාමරයට, කෑම කාමරයට, මුළුතැන්ගෙය තුළ පැන්ට්‍රියට පමණක් නොව නාන කාමරයට මේ ශාක බඳුන් එකතු කළ හැකියි. ඊට අමතරව ඔබේ දවසේ කාලයේ වැඩි කාලවේලාවක් ගතවන ස්ථානය වූ කාර්යාල මේසයට ද මේ සජීවී ශාක බඳුනක් තැබීමෙන් ලැබෙන ආකර්ෂණය කෙතරම්ද?

 

2019/01/30 තරුණි බලන්න