සීමිත ඉඩ කඩකට බෝතල් ගෙවත්තක්

පෙබරවාරි 27, 2019

දරුවන් පාසලට යවන්න, රැකියාවේ පහසුවට දේවල් නිසා නාගරිකව, සීමිත ඉඩකඩක ජීවත් වන්නට ඔබට සිදුවී ඇති.

නමුත් ඒ අතින් පහසු වුවත් පුංචි මල් පැළයක්, එළවළුවක් දෙකක් හිටවගන්න තරම්වත් ඉඩකඩක් නොමැතිකම නිසා ඔබ පසුතැවෙනවා වන්නටත් පුළුවන්. උදෑසන අවදි වූ විට සුගන්දවත් මලක සුවඳ විඳගන්න ඇත්නම් ඒක මොනතරම් සතුටක්ද? නමුත් ක්‍රොන්ක්‍රිට් ගොඩනැගිලිවලින් වටවෙලා ඉන්න ඔයාලට ඒ සුවඳ විඳගන්න ලැබෙන්නෙ හරිම කලාතුරකින්.

ඉතිං එවැනි ඔයාලට ඒ සුවඳ හැමදාම විඳගන්න අලුත් ක්‍රමයක් කියලා දෙන්නයි අද අප සූදානම් වන්නෙ. බලන්න මේ පුංචි පුංචි පැළ වර්ග හිටවලා තියෙන්නෙ කොහොමද කියලා. ඒවා හිටවලා තියෙන්නෙ ඔබ ඉවත දමන වීදුරු සහ ප්ලාස්ටික් බෝතල් කපලා. ජනේලයක් උඩ එහෙමත් නැතිනම් මේසයක් උඩ වුවත් මේ පැළ තියාගන්න පුළුවන්.

දැන් අපි බලමු මේ බෝතල් හදාගන්නෙ කොහොමද කියලා. ඒ සඳහා පළමුව ඔබ පහසුවෙන් සොයා ගත හැකි වීදුරු බෝතලයක් අරගෙන වීදුරු කපන කියතක් හෝ මැෂින් එකක් ආධාරයෙන් බෝතලය දෙකට කපාගන්න ඕනෙ. ප්ලාස්ටික් බෝතලයක් නම් පහසුවෙන්ම කපාගන්න පුළුවන්නෙ. ඉන්පසුව එහි මූඩිය කොටසට සිදුරක් විදගන්න. පසුව ලේස් පටියක් අරගෙන එය බෝතල් මූඩියේ සිදුරෙන් පහළට ගෙන ඡායාරූපයේ දැක්වෙන ආකාරයට බෝතලේ කොටස් දෙක එකමත එක තබා ගන්න. පසුව එහි ඉහළ කොටසට කොම්පෝස්ට් මිශ්‍ර පස් දමා ඇට වර්ගයක් හෝ ඔබට කැමැති පැළයක් සිටුවා ගන්න. බෝතලේ යට කොටසට වතුර දමා ඔබට අවශ්‍ය තැනකින් තබා ගන්න.

මේ ක්‍රමයට පැළ හිටවගන්නවා නම් ඔබට හැමදාම වතුර දමන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගසට අවශ්‍ය ජලය නූල හරහා ලැබෙනවා. බලන්නකො මේ ක්‍රමය මල් පැළ හිටවන්න හරිම පහසු ක්‍රමයක් නේද? මේ ක්‍රමය අනුගමනය කරලා ඔයාලත් පැළ හිටවලා බලන්නකෝ.

 

2019/02/27 තරුණි බලන්න.