අලුත් අවුරුද්දට ගෘහ අභ්‍යන්තර අලංකරණයෙන් හැඩවූ නිවෙසක්

අප්‍රේල් 3, 2019

ගෘහ අභ්‍යන්තර අලංකරණය අනුව යමින් නිවෙස් හැඩවැඩ කරද්දී එහි නිමාව හරිම අපූරුයි. මේ දිනවල සෑම ගෘහණියක්ම පාහේ සිංහල අවුරුද්දට ලහිලහියේ සූදානම් වන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ඉතිං මේ පෙර සූදානම අලුතින් තීන්ත ගාලා අලුත්වැඩියා කිරීම වෙන්න පුළුවන්. නැතිනම් මකුළුදැල් කඩලා, බිත්ති සෝදලා, බිම මැදීම වෙන්නත් පුළුවන්.

අලුතින් තීන්ත ආලේප කිරීමට අදහසක් නොමැත්තේ නම් මකුළුදැල් කඩා ජනෙල්, දොරවල් පිසදා හෝ සෝදා දැමීම අත්‍යවශ්‍ය කටයුත්තක්. ගෙබිම ටයිල් පොළොවක් නම් වතුර දමා සේදීම හෝ මොප් කිරීම කළ හැකියි. බිත්ති සෝදන විට සිවිලිම සේදීමත් කළ යුතුයි. නැත්නම් වෙනසක් පෙනේවි.

මුළු නිවෙසම හෝ සාලය නිවෙසේ හතර වටය ඇතුළු කොටස් සඳහා තීන්ත ආලේප කරන්නේ නම් කල්තියාම ඒ සඳහා බරපැන වෙන්කරගත යුතුයි. අලුත්ම නිවෙසක තීන්ත ආලේප කරනවට වඩා අලුත්වැඩියා කරමින් තීන්ත ආලේප කරද්දී වටපිටාවේ බඩු භාණ්ඩවලට තීන්ත වැටීමෙන් තීන්ත විසිවීමෙන් වන හානි වළකාගත යුතුයි. ජනෙල්, දොරවල්, ගෙබිම යනාදිය පත්තර කොළවලට සෙලෝටේප් ගසා තාවකාලිකව ආවරණය කිරීම අනිවාර්යයෙන් කළ යුත්තක්. ඇතැමුන් නිවෙසින් පිටත තීන්ත ආලේප කරද්දී අවට මල් පැළ, ගස් කොළන්වලට පවා තීන්ත විසිවෙලා.

මුළු නිවෙසම හෝ කොටසක තීන්ත ආලේප කරනු වෙනුවට අලුත්බවක් ගෙන එන්නට සාලයේ නම් සෝෆා සෙටියට පිටුපා ඇති බිත්තියට වෙනත් වර්ණයක් ආලේප කිරිම කළ හැකියි. සුදු බිත්තිවලින් එක් බිත්තියක් තැඹිලි ආදි වර්ණයක් ගැල්වීමෙන් අමුතුම කලඑළියක් ලැබේවි.

සෝෆා සෙටියේ කුෂන් මේ බිත්තියේ පැහැයට ගැළපෙන අන්දමින් එක් කරන්නේ නම් මුළු විසිත්ත කාමරයටම කලඑළියක් ගෙන දේවි. මේ වෙනස කාපට් යනාදියට එක් කිරීමෙන් එය පොළව හා ගැළපේවි.

2019/04/03 තරුණි පුවත්පත බලන්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.