නිදන කාමරයට සිරියාව ගෙනෙන ඇඳ ඇතිරිලි සහ ඇඳ ආවරණ

අප්‍රේල් 24, 2019

ලස්සන විසිත්ත කාමරයක් හිමි ඔබට තිබිය යුත්තේ සිරියාවන්ත නිදන කාමරයකි. මනස තරමක් ව්‍යාකූලව පැමිණියත් ඒ මනස තව තවත් අවිවේකී කරන වටපිටාවක් නිදන කාමරය වෙතින් දිස් වන්නේ නම් නිදන කාමරයක තිබිය යුතු අත්‍යවශ්‍ය අංග ඔබ වෙතින් ගිලිහී ගොසිනි.

නිදන කාමරයේ ප්‍රධානම අංගය නිදන ඇඳයි. එය පිරිසුදුවට, පිළිවෙළට සේම නිර්මාණශීලීව සැකසීමේ වගකීම ගෘහණියගේ උරමත පැටවේ. එසේම ඇඳ ඇතිරිලි, කොට්ට උර එකිනෙක ගැළපීම ඒවා සේදීම, වේළීම මේ ආදී දේවල් පිළිබඳත් සැලකිලිමත් විය යුතුවේ.

 

ඇඳ ඇතිරිලි සඳහා මුද්‍රිත රෙදි

සාමාන්‍යයෙන් නිදන කාමරයේ බිත්ති සඳහා එක් කරනුයේ ළා වර්ණයන් ය. ඊට ගැළපෙන අන්දමින් තිරරෙදි දැමේ. එහෙත් තිරරෙදි සහ ඇඳ ඇතිරිලි එකිනෙක ගළපා ගැනීම ද අත්‍යවශ්‍ය කරුණකි. සාමාන්‍යයෙන් නිදන කාමරයේ බිත්ති, ඇඳ ඇතිරිලි, තිරරෙදි මේ කිසිවකට තද පැහැයන් එක්කර නොගනි. තිර රෙදිවලට අවශ්‍ය නම් ශියර් රෙදි දමා රාත්‍රි කාලයට පමණක් හෝ දහවලේ වුවත් නිදා ගන්නේ නම් කාමරය අඳුරුකර දැක්වීමට ටුවිල්, ක්‍රේප්, ඝනකම් සෙටින් රෙද්දෙන් තිරරෙදි දැමිය හැකියි. තිරරෙදිවල පැහැය හෝ එම පැහැයට මෝස්තර ගැන්වූ රෙදි ((Printed) ඇඳ ඇතිරිලි සඳහා යොදා ගත හැකියි. මුද්‍රිත රෙද්දෙන් නිමවූ ඇඳ ඇතිරිල්ලට තනි පැහැයෙන් යුතු කොට්ට උර එක්කරගත හැකිවේ.

ඇඳ ආවරණයේ අවශ්‍යතාව

ඇඳ ඇතිරිල්ල සහ කොට්ට මතින් ඇඳ ආවරණයක් (Bed Cover)  දැමීමට පුළුවන. බොහෝ දෙනා නිදන ඇඳ පිටස්තර පුද්ගලයන් දකිනවාට කැමැත්තක් දක්වන්නේ නැත. එසේම අමුත්තන් වුව නිදන ඇඳේ ඉඳ ගනිද්දී ඇඳ ඇතිරිල්ල මත ඉඳ ගන්නවාට වඩා ඇඳ ආවරණය මත ඉඳ ගන්නට සැලැස්වීම වඩාත් සුදුසුයි.

ඇඳ ආවරණයට අත්කම් සඳහා දෑතේ හුරුව ඇති ඔබට නොයෙකුත් මෝස්තර ගළපා ගත හැකිවේ. හෑන්ඩ් පේන්ටිං, එම්බ්‍රොයිඩරි, කතිර රටා, පැච්වර්ක්, මේ ආදී නිර්මාණ එක් කළ හැකියි.

ඇඳ ඇතිරිල්ලේ රෙද්ද පහසුව සඳහා එක්කරන්නක් නොව හුදු අලංකාරය සඳහාම එක්කරන්නක් බව අමතක කළයුතු නැත.

එහෙත් ඇඳ ඇතිරිල්ල සඳහා නම් එක් කළ යුත්තේ සියයට සියයක්ම කපු රෙද්දෙන් නිමවූ ඒවාය. අත්යන්ත්‍ර හෙවත් හෑන්ඩ්ලූම් රෙදි, අමු රෙදි ආදිය ඒ සඳහා උදාහරණ වේ. දවසේ හෝරාවන් ගණනාවක්ම වෙහෙස මහන්සි වී සිටියදී හෝරාවන් කිහිපයක් පමණ ගතකරන නින්දට සැපදායි පසුබිමක් ගෙන ආ යුතුම වේ.

උපදෙස් - ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

ශලින්ද්‍රි ආලෝකා

2019/04/24 තරුණි බලන්න