කසුරි මෙති හෙවත් උළුහාල් පත්‍ර

අගෝස්තු 26, 2020

ආහාරයට එක්කර ගන්නා එළවළු සහ පැළෑටිවල බීජවලින් හටගත් කුඩා පැළ විශේෂයක් වූ මයික්‍රෝග්‍රීන්ස් පිළිබඳ පසුගිය සතියේ අප හඳුන්වා දුන්නා ඔබට මතක ඇති. වර්තමානයේ ඉතා වේගයෙන් ජනප්‍රිය වගාවක් බවට පත්වූ මේ මයික්‍රෝග්‍රීන්ස්, වගා කිරීම, නඩත්තුව මෙන්ම අස්වැන්න නෙළීම ද ඉතා පහසුය.

වස විසෙන් තොර ආහාර පරිභෝජනයේ පළමු පියවර ලෙසින් ඔබට මේ වගාව අත්හදා බැලිය හැකියි. එමෙන්ම මේ වගාව සඳහා එතරම් මුදලක් හෝ ඉඩකඩක් වැය නොවන අතර කෙටි කාලයක් තුළ පරිභෝජනයට යොදා ගත හැකි වීමත් විශේෂත්වයකි.

උළුහාල්, අබ, රාබු, තම්පලා ආදී වශයෙන් මේ මයික්‍රෝග්‍රීන්ස් සකසා ගත හැකි අතර අද අපි එසේ සකසනා උළුහාල් බීජ පැළ පිළිබඳ දැනුවත් වෙමු.

උළුහාල් යනු අප එදිනෙදා භාවිතයට ගන්නා මුළුතැන්ගෙයි නැතුවම බැරි රසකාරකයකි. සාමාන්‍යයෙන් ලංකාවේ ඉවුම් පිහුම් කලාව තුළ බැදගත් උළුහාල් සේම නොබැදපු උළුහාල් ද භාවිත කරන නමුදු උළුහාල් පත්‍ර භාවිතය අවම මට්ටමක පවතී.

උළුහාල් පත්‍ර

උළුහාල් පත්‍ර එහෙමත් නැතිනම් උළුහාල් කොළ ‘කසුරි මෙති’ යන නමින් ද හැඳින්වේ. ඒ හින්දි භාෂාවෙනි. ඊට අමතරව ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල ව්‍යවහාර අනුව ‘මෙති සාග්, මෙන්තිය සොප්පු, මෙන්ති කෝරා’ යන නම්වලින් ද හඳුන්වයි.

උළුහාල් බීජ සේම පත්‍ර ද විවිධ කෑම වර්ග රසගැන්වීමට භාවිත කරන අතර පත්‍ර තරමක් කටුක රසයෙන් යුක්තය. එබැවින් ඕනෑම ආහාර වට්ටෝරුවකට ප්‍රමාණාත්මකව එකතු කළ යුතු වේ. රසයට අමතරව එහි පෝෂණ ගුණ ද රාශියකි.

 

උපදෙස් ආචාර්ය

සහනි ප්‍රභා චන්ද්‍රසිරි

2020/08/26 තරුණි පුවත්පත බලන්න