ගෙතුළ හැඩ කරන්න අලුත් අදහසක්

සැප්තැම්බර් 9, 2020

ඉර, හඳ, තරු, වළාකුළු, ගහකොළ, සතුන් මේ සියල්ල කැටිවූ සොබාදහමට අපි බෙහෙවින් ආදරය කරන්නෙමු. මන්ද මේ සොබාදහම ආරක්ෂාවන තාක් කල් අප ද ආරක්ෂාකාරී වන අතර එම බැඳීම ගිලිහී ගියදා ජීවයේ පැවැත්ම ද ගිලිහී යන බැවිනි.

සොබාදහමට පෙම් බඳින බොහෝදෙනකු ගහකොළට දක්වන්නේ ද දැඩි කැමැත්තකි. එබැවින් ගහකොළ ඇසුරේ වැඩි කාල වේලාවක් ගත කරන්නට සේම තම ගෙවත්තට සහ ගෙතුළට ගසක කොළයක චමත්කාරය එකතු කරගන්නට ද වැඩි උනන්දුවක් දක්වති.

සාමාන්‍යයෙන් ඉඩකඩ සහිත ගෙවත්තකට නම් විවිධාකාරයේ ශාක සහ එම ශාක ඇසුරෙන් විවිධ නිර්මාණ එකතු කරගත හැකි වේවි. නමුත් සීමිත ඉඩකඩක් තුළ ඉදිකළ බොහෝ නාගරික නිවාසයන්ට සේම නිවාස සංකීර්ණ, තට්ටු නිවාස ආදියට ගෙමිදුලක සුන්දරත්වය නම් සිහිනයක්ම පමණි.

ගෙමිදුලක් නැති වුවද ඔබ ප්‍රිය කරනා ගහකොළ කිහිපයක් ගෘහ අභ්‍යන්තරයට කැඳවිය හැකි අතර ඊට කදිම උදාහරණ කිහිපයකි මේ.

විවිධ හැඩතල අනුව සැකසූ අපූරු ලී රාක්කවල තැබූ මේ මල් බඳුන් ඔබේ ගෙතුළට මනා චමත්කාරයක් රැගෙන ඒවි. මේ සඳහා ශාක තෝරා ගැනීමේ දී එතරම් විශාලව නොවැඩෙන කුඩා ශාක තෝරා ගත යුතු අතර විචිත්‍ර පත්‍රික ශාක මෙන්ම කුඩා මල් හටගන්නා ශාක යොදා ගැනීම මඟින් වැඩි සුන්දරත්වයක් ලබාගත හැකියි.

 

සටහන - චම්පා වරුසප්පෙරුම

ඡායාරූප - අන්තර්ජාලය ඇසුරෙනි