වස විස නැති මයික්‍රෝග්‍රීන්ස් ආහාරයට ගන්නේ මෙහෙමයි

සැප්තැම්බර් 9, 2020

වස විස නැති ආහාර ටිකක් හොයා ගන්නවා කියන්නෙත් අද වනවිට කළුනික හොයනවා වාගේ තමයි. ඒ තරමටම අපේ ජනතාව කෘත්‍රිම ආහාරවලට වාගේම විවිධ කෙටි ක්‍රමවලින් ලාබ උපයන්න පුරුදු වෙලා. ඒනිසා ශරීරයට පෝෂණය වෙනුවට එකතු වන්නෙ වස විස.

මේ නිසාම තමන්ට හැකි පමණින් ගෙවත්තේ වගා කරන්නත්, ඒවාට කෘත්‍රිම දේ මුසු නොකොට ආහාරයට එකතු කරගන්නත් මේ වනවිට පෙළඹිලා. ඇත්තටම ඒකනම් හරිම සුබ පණිවිඩයක්.

වස විසෙන් තොර ආහාරයක් වූ මයික්‍රෝග්‍රීන්ස් වගාවටත් ඉහළ ප්‍රතිචාරයක් හිමිවන්නේ ඉහත කී කාරණා නිසාමයි. විශේෂයෙන්ම කෙටි කාලයක් තුළ අස්වැන්න නෙළීමට හැකිවීමත්, අඩු ඉඩකඩක පහසු වගාවක් නිසාත් මේ මයික්‍රෝග්‍රීන්ස් දැන් ජනප්‍රියයි.

මයික්‍රෝග්‍රීන්ස් වගාව වාගේම ඒවා ආහාරයට එකතු කරගන්නා ආකාරයත් ගැන දැනගන්න කැමැතියි කියලා අපට ඉල්ලීම් රැසක් ලැබුණා. ඒ නිසා මයික්‍රෝග්‍රීන්ස් යොදා සකස් කරගත හැකි ආහාර වර්ග පිළිබඳ අද අපි දැනගනිමු.

විවිධ රසයට මයික්‍රෝග්‍රීන්ස්

සාමාන්‍යයෙන් මයික්‍රෝග්‍රීන්ස් කියන්නෙ ආහාරයට ගතහැකි එළවළු සහ පැළෑටිවල බීජ පැළයි. ඉතින් මේ ළපටි බීජ පැළ කතුරෙන් කපා සෝදා දිය බේරා ආහාරයට එකතුකර ගන්නා බව ඔබ මේ වනවිට දන්නවා. එහිදී ඔබ කැමැති නම් මේවා කිසිවක් මිශ්‍ර නොකොට බත් සමඟ ආහාරයට ගත හැකියි. එසේ නොමැතිව සලාද, සම්බෝල, මැල්ලුම්, ඔම්ලට්, බැදුමක්, තෙම්පරාදුවක් ආකාරයටත් සකසා ගත හැකියි.

සලාද

නැවුම් එළවළු, පලතුරු ආහාරයට එකතු කරගන්නා හොඳම ක්‍රමය තමයි සලාද. තක්කාලි, පිපිඤ්ඤා, සලාද කොළ ආදිය සමඟ මේ මයික්‍රෝග්‍රීන්ස් මිශ්‍ර කිරීමෙන් ද ඔබට සලාදයක් සකසා ගත හැකියි. එසේත් නැතිනම් කපා සෝදාගත් මේ මයික්‍රෝග්‍රීන්ස් වලට ගම්මිරිස්, ලුණු සහ පදමට දෙහි මිශ්‍ර කිරීමෙන් ද රසවත් සලාදයක් තනා ගත හැකියි.

 

 

උපදෙස් ආචාර්ය

සහනි ප්‍රභා චන්ද්‍රසිරි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ

පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය

 

 

2020/09/09 තරුණි පුවත්පත බලන්න