පොත්පත් තියන්න හුරුබුහුටි රාක්ක

ඔක්තෝබර් 7, 2020

පොත පත බොහොමයක් දෙනාගේ ළඟම මිතුරන්. පොත් කියවන්න හුරුපුරුදු වුණූ හැමෝම ගෙවී ගිය සාහිත්‍ය මාසයේ දී මදි නොකියන්නම පොත්පත් ගත්තා. එහෙම ගත්ත පොත් ලස්සනට පිළිවෙළට තියාගෙන මේ කියවීමේ මාසෙදි කියවන්නයි සූදානම. ඒත් සමහරකුට එහෙම ලස්සනට තියන්න තැනක් නැහැ. මේසයක් උඩ ගොඩගහලා තියෙනවා.

ඒත් ඔබ ටිකක් නිර්මාණශීලී නම් අඩු වියදමින් ලස්සන, හුරුබුහුටි කුඩා පොත් රාක්කයක් හෝ රාක්ක කිහිපයක්ම නිවෙසට කඳවාගත හැකියි. ඒ සඳහා අනවශ්‍ය ලෙස නිවෙසේ ඉඩකඩ වැය වෙන්නෙත් නැහැ. හිස් බිත්ති මත මේ රාක්ක නිර්මාණය කරගන්නට හැකියි. ඒ වගේම නිවෙසේ කොන්වලට ද මේවා එක්කරගන්න පුළුවන්. විසිත්ත කාමර, නිදන කාමර, ආලින්දය, කෑම කාමරය, මුළුතැන්ගෙය, හිස් කොරිඩෝ, පියගැට පෙළ අසල වගේම වොෂ් රූම් එකෙත් මේ වගේ පොත් රාක්කයක් නිර්මාණය කරගන්නට හැකියි.

මේ සඳහා ඔබට කැමැති හැඩයක් අනුව රාක්ක නිර්මාණය කරගන්න පුළුවන්. පොත් රාක්කයේ ප්‍රමාණයත් ඔබට තීරණය කළ හැකියි. වොෂ් රූම් එකට නම් පොත් පහක් හයක් රැඳවිය හැකි කුඩා රාක්කයක් සුදුසුයි. පියගැට පෙළට නම් ඊට සමාන්තරව විහිදී යන ලෙස රාක්ක සැකසිය හැකියි.

රාක්ක සෑදීමට ලී වගේම පදම්කළ ලී වර්ගත් යොදාගත හැකියි. එය ඔබටම නිර්මාණය කරගන්නට නොහැකි නම් ඒ සඳහා වඩු කාර්මික ශිල්පියකුගේ සහාය ලබාගෙන නිර්මාණය කරගන්න. ඒ වගේම මෙවැනි රාක්ක සකසන ආකාරය අඩංගු වීඩියෝ දැන් අන්තර්ජාලයේ තියෙනවා. එවැනි වඩියෝවක් නරඹා ඔබේම අතින් සකසා ගන්නටත් හැකියි. බලන්න, මෙහි දැක්වෙන නිර්මාණාත්මක රාක්ක පෙළ ඔබේ අදහස් තව තවත් අලුත් කරාවි.

ඒ වගේම පොත් පිරුණු රාක්කයක් කියන්නේ නිවෙසට අලංකාරයක් වගේම වටිනාකමක් එකතු කරන්නක්. ඒ නිවෙසේ ඉන්නේ මොනවගේ අය ද කියන එකත් එයින් පෙන්වනවා. පොත් පොත් සමඟ හුරුබුහුටි ඕනමන්ට්, ඔබේ ඡායාරූප ආදිය ද ඒ අතර රඳවා ගෙන එහි ලස්සන තව තවත් වැඩි කරගන්නට හැකියි.

ඡායාරූප අන්තර්ජාලයෙනි